වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

නිදහස වෙනුවෙන් දිගු ගමනක මැන්ඩෙලා

(MANDELA Long Walk a Freedom)

ලෝ ප්‍රකට පූජිත චරිතයක් වූ නෙල්සන් මැන්ඩෙලා නිදහස වෙනුවෙන් කළ දිගු ගමන මෙයින් මනාව පෙන්වයි.

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් බොහෝ කැපවීම් කරමින් ධෛර්යමත් සේවාවක් කළ මැන්ඩෙලා දකුණු අප්‍රිකානුවන්ට පමණක් නොව මුළු ලෝකයාටම ආදර්ශවත් චරිතයක් විය.

ඔහුගේ අධ්‍යාපන කාලය, විවාහය, සිරගතව සිටි අවුරුදු 27 ක කාලය සහ ප්‍රථම වරට දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරයකු ලෙස තේරී පත් වූ කාලය දක්වා මෙම චිත්‍රපටය තුළින් කදිමට පෙන්වා දෙයි. ප්‍රශ්න විසඳීමේදී ඔහු ගත් එඩිතර පියවර පිළිබඳව ද මැන්ඩෙලා චිත්‍රපටයේ කැපී පෙනෙයි.

ඊඩ්රිස් එල්බා, නයෝමි හැරිස්, ටෝහන ජෝර්ජ්, රියාඩ් මෝසා, ලින්ඩිව් මැට්ෂිකාසා රඟන මැන්ඩෙලා ජස්ටින් චැඩ්වික් ගේ අධ්‍යක්ෂණයකි.
 

තාරුණ්‍යයේ රජු විජේ සමඟ

කත්ති (KATHTHI)

ඉන්දියාව තුළ පමණක් නොව ශ්‍රී ලංකාව තුළද විජේ කී පමණින් ඔහු වෙනුවෙන් මහත් උන්මාදයට පත් වන තරුණ රසික රසිකාවියන් පිරිස අපමණය. ඔවුන්ගේ මනදොල සපුරාලමින් විජේ රඟන නවතම චිත්‍රපටය කත්ති මේ දිනවල ශ්‍රී ලංකාවේද තිරගත වන අතර එහි ඩී වී ඩී පට දැන් නිකුත් වී ඇත.

කදිරේසන් සිරගතව සිටින්නෙකි. එහිදී දරුණු ත්‍රස්තවාදියෙක් සිරෙන් පැන යන අතර එම තැනැත්තාව අත් අඩංගුවට ගැනීමට කදිරේසන්ගේ සහාය පතයි. ඔහු එම ත්‍රස්තවාදියාව අත් අඩංගුවට පත් කර ගැනීමට සහාය වී පලා යයි.

මැරයන් පිරිසක් ජීවානන්ද නම් වූ අයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැරසුන ද කදිරේසන් ජීවානන්දව රෝහලකට භාර දී ඔහුගේ ජීවිතය බේරා ගනියි. කදිරේසන් සහ ජීවානන්ද හැඩරුවින් එක වගේය. කදිරේසන් එයින් ප්‍රයෝජන ගෙන ඔහු එතැන් සිට ජීවානන්ද සේ හැසිරෙයි. හිරෙන් පලාගිය කදිරේසන් යැයි සිතා ජිවානන්දව අත් අඩංගුවට පත් වෙයි. ජීවානන්ද ලෙස පෙනී සිටින කදිරේසන් ජීවානන්ද සහ ඔහු වටා තිබූ ප්‍රශ්න මාලාවක් නිරාකරණය කිරීමට මැදිහත් වෙයි.

නව මාදිලියේ කතා තනමින් නව මං සොයා යන ඉන්දීය සිනමාකරුවන්ගේ සාර්ථක ප්‍රයත්නයක් වන කත්ති චිත්‍රපටයේ කදිරේසන් සහ ජීවානන්ද ලෙස විජේ ද්විත්ව චරිත රඟන අතර සෙසු රංන දායකත්වය සමන්තා, නීල් නිතින්’ මුකේෂ්, සතිස් සහ විවේක් බැනර්ජිය.

සුභාම්කරන් සහ කේ. කරුණාමූර්ති නිෂ්පාදනය කළ කත්ති ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ඒ. ආර්. මුරුගදෝස් ගේ අධ්‍යක්ෂණයකි. ගජිනි, හොලිඩේ, කූපාත්ති වැනි චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ මුරුගදෝස් විසිනි.

අමුතුම ලොවකට රැගෙන යන ඩයනෝසර් අයිලන්ඩ්

(DINOSAUR ISLAND)

බාල මහළු කාටත් නරඹා රස විඳිය හැකි චිත්‍රපටයකි ඩයනෝසර් අයිලන්ඩ් චිත්‍රපටය. පුරා විනාඩි අනූවක් ඔබ අමුතුම ලෝකයකට ගෙන යෑමට සමත් වන මෙය මැට් ඩ්රූමන්ඩ් ගේ අධ්‍යක්ෂණයකි. ගුවන් යානයක් සුළි සුළඟට හසුවිමෙන් පසු අද්භූත දිවයිනකට කඩා වැටීමෙන් පසු එහි ගමන් ගන්නා දරුවා අත්විඳින අද්භූත පුවතක් මෙයට ඇතුළත් වේ.

කේට් රස්මුසන්, ජෝ බිස්ටේව්ස්, ජුලියට් ෆ්‍රෙඩ්රික්, වින්සන්ට් නවිටි, පෝල් පෙඩගස්, නිකොල් යාඩ්ලි, ඩයිනෝසර් අයිලන්ඩ් චිත්‍රපටයේ රංගනයෙන් දායක වී ඇත.

ඉරුම්බු කුදිරෙයි

(IRUMBU KUTHIRAI)

දකුණු ඉන්දීය සිනමාවේ නව පරපුරේ සිනමාකරුවන් රාශියකගේ දායකත්වයෙන් බිහි වී ඇති ඉරුම්බු කුදිරෙයි යුවරාජ් බෝස්ගේ අධ්‍යක්ෂණයකි. පීසා විකුණන තරුණයකු වූ මයිකල් වටා ගෙතුණ මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයකි.

අතර්වා, ප්‍රියා ආනන්ද්, ජොනි ට්‍රි, නුගියේන් රායි, ලක්ෂ්මි දේවදර්සන්, ජගන් මහේබාලා, අලිශා රඟන ඉරුම්බුකුතිරායි තරුණ ආදර කතාවක් වටා ගෙතුණ චිත්‍රපටයකි.

චණ්ඩ කුණාටුවෙන් ප්‍රවේශම් වන්න

ඉන් ටු ද ස්ට්‍රෝම්

(IN TO THE STURM)

මේ දිනවල අප රටේ ද පවතින අයහපත් කාලගුණ විපර්යාසයෙන් හෙම්බත් වී සිටින අපට ටොනෙඩෝ සුළි කුණාටු දැක නැතිවාට අසා ඇති වන්නට පුළුවන.

එහෙත් මෙවන් සුළි කුණාටු ඇති වුවහොත් අයත් වන ඉරණම දැක බලාගත හැකි අපූරු සිනමාපටයකි ඉන් ටු ද ස්ට්‍රෝම් චිත්‍රපටය. ටොනෙඩෝ යනු කොතරම් බියකරුදැයි ඔබට මෙයින් වටහා ගත හැකි වනු ඇත. සංචාරයක් අතරමඟදී අනපේක්ෂිත ලෙස කුණාටුවකට මුහුණ පාන ශිෂ්‍යයන් පිරිසක් වටා මේ චිත්‍රපටය පාදකව ඇත.

රිචඩ් ආර්මිටේජ්, සාරා ටේන් කාලිස්, නැතන් ක්‍රිස්, ඇලිසියා ඩෙබ්නාඩ්, මැක්ස් ඩිකෝන් සමඟ ඇලන් එස්කර්පෙටා රඟන ඉන් ටු ද ස්ට්‍රෝම් ස්ටීවන් ක්වේල්ගේ අධ්‍යක්ෂණයකි.

හොඳ යහළුවන්ගේ නරක අදහස්

වට් ඉෆ්

(WHAT IF)

වෛද්‍ය විද්‍යාලයක සිසුන් පිරිසක් වටා ගෙතුණ හාස්‍යමය කතා පුවතක් රැගත් වට් ඉෆ් මයිකල් ඩො(ව්)සේ ගේ අධ්‍යක්ෂණයකි.

ඩැනියල් රැඩ්ක්ලීෆ්, සෝ කාසන්, මෙගන් පාක්, ඇඩම් ඩ්‍රිවරි රඟන වට් ඉෆ් ඔබ සැමට නරඹා රස විඳිය හැකි හාස්‍යමය චිත්‍රපටයකි.

භීතිය හා ශෘංගාරය

හෝන්ස් (HORNS)

ජෝ හිල් විසින් ලියන ලද ජනප්‍රිය නවකතාව ආශ්‍රයෙන් තනා ඇති හෝන්ස් ඔබට ශෘංගාරය සමඟ භීතිය ගෙන දෙන චිත්‍රපටයකි. හැරී පෝටර් චිත්‍රපට මාලාවේ හැරී පෝටර් වී අතිශය ජනප්‍රිය වූ ඩැනියෙල් රැඩ්ක්ලීෆ්ගේ නවතම රංගනය මේ චිත්‍රපටයට ඇතුළත්ය.

තම පෙම්වතිය දූෂණය කර මරා දැමූ තරුණයකුගේ කතා පුවතක් මෙහි ඇතුළත්වේ. ජුසේ ටෙම්පල්, හීනර් ග්‍රැහැම්, සබ්රිනා කාර්පෙස්ටර්, කේලි ග්‍රානර්, ජේම්ස් රිමාර් ඇතුළු නළු නිළියන් රැසක් සෙසු චරිත රඟන මෙය සුප්‍රකට සිනමාකරු ඇලෙක්සැන්ඩර් අජා ගේ අධ්‍යක්ෂණයකි.

ඩී. වී. ඩී. අනුග්‍රහය

නීරෝ
සී. ඩී. හවුස්

මල්වත්ත පාර