වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




මං කාටවත් දොස් කියන්නේ නැහැ

මං කාටවත් දොස් කියන්නේ නැහැ

ග්‍රේෂන් ජයමහ අතුරුදන් වූ යුගය ගැන කතා කරයි

සුදු මීදුමට වසර 25 යි ප්‍රසංගය 28 දා කඳානේදී

‘සුදු මීදුම පීදෙන තොටිල්ලෙ

සඳ පායන කෝමල ඇසිල්ලේ

ඈතට ඈත යමු අපි පාවිලා

අප සිත් සැනසෙනවා . . .’

මේ ගීතයේ ජනප්‍රියත්වය ඔබට අමුතුවෙන් කිව යුතුª නැත. ඒ රසාලිප්ත අපූර්ව හඬක් හිමි ඔහු ගැයූ ඔබ ළඟ නැති මේ සසරේ, මා හඬවලා, කුසුම්ලතා රේණුලතා, මන බන්දනා වැනි ගීත එදා මෙන්ම අදත් අප මතකයේ සදා අනුස්මරණීයය.

ග්‍රේෂන් ජයමහ.

ඒ නමද ඔබට අමතක වන්නට විදිහක් නැත. කලක් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායන තරුවක් වූ හෙතෙම හදිසියේම නොපෙනී ගියේ ප්‍රශ්නාර්ථයන් රැසක් ඉතිරි කරමිනි. ඒ සියල්ල සඳහා පිළිතුරු මෙම මස 28 දින ලැබෙනු ඇත. විදෙස්ගත වී නිහැඬියාවකින් පසු වූ ග්‍රේෂන් යළි ලංකාවට පැමිණ තවත් මතක හිටින දෙයක් කිරීමට සූදානමිනි. මේ ග්‍රේෂන්ගේ තොරතුරු සොයා බැලීමකි.

* ග්‍රේෂන් අයියේ 28 වැනිදා වෙන්නේ මොකක්ද? ඒ ගැන තවත් විස්තර මොනවද කියලා දැනගන්න ඔබ රසික පිරිස කැමැති වේවි?

මං ගීත ගායනයට ඇවිත් වසර විසිපහයි. මේ කාලය අතරතුර මං ලද අත්දැකීම් ද බොහොමයි. වසර විසිපහක් කියලා කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. ඉතින් මට හිතුණා මගෙත් එක්ක හිටපු සහෘදයෝ එකතු කර ගනිමින් පුංචි ප්‍රසංගක් ඉදිරිපත් කරන්න. ඒකට සුදුසුම කාලේ තමයි දැන්.

* කොහෙද ප්‍රසංගය තියෙන්නේ? නමක් එහෙම තිබ්බද?

ඔව් ඒකේ නම ‘සුදු මීදුමයි, ග්‍රේෂන් ජයමහයි, විසි පහයි’ විසිඅට වැනිදා ජාඇල ගුරුගේ ප්‍රසංග ශාලවේදියි මෙය පැවැත් වෙන්නේ. ‘සුදු මීදුම’ ගීතය කියන්නේ මගේ අනන්‍යතාවය කිව්වොත් වැරැදි නැහැ. ඒක හින්දා එහි මුල් පදය නමට යොදා ගත්තා.

* ඔබ ගොඩක් ජනපි‍්‍රය කාලේ හිටි හැටියේම අතුරුදන් වූයේ ඇයි?

මෙහෙමයි. මං 2004 දී විදෙස් ගත වුණා. ඒ මෙරට පැවති යුදමය වාතාවරණය මත. අපි වෘත්තිමය ගායකයොනෙ. ඒ කාලයේ ප්‍රසංග තහනමකුත් තිබුණා. බැරිම තැනයි විදෙස් ගත වුණේ.

* එතකොට අද ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම අද ලංකාව තියෙන තත්ත්වය ගැන සතුටුයි. ඒකයි ලංකාවට ඇවිත් මෙවන් වූ කටයුත්තකට මුල පිරුවේ. මට හොඳටම විශ්වාසයි මගේ රසිකයෝ එදා මෙන්ම අදත් මට හරිම ආදරෙයි කියලා.

* ඔබ නැති අතරේ ඔබේ ‘මා හඬවලා’ ගීතය වෙනත් පිරිසක් විසින් රීමික්ස් කළා නේද?

ඔව්. මාත් ඒක ඇහැව්වා. මට කනගාටුවක් නැහැ ඒ සිද්ධ වෙච්ච දේට. මං කාටවත් දොස් කියන්නෙත් නැහැ. ඒත් මගෙන් අහලා එහෙම දෙයක් කළා නම් තවත් සතුටු වෙන්න තිබුණා.

* වසර විසිපහක් තුළදී ගීීත ගයන්නට ගොස් අනන්තවත් කටු කන්න ඇති?

මොකද නැත්තේ කටු කාපුවා නම් උපරිමයි. මං ආපු මුල් කාලේ සංගීත සන්දර්ශනයක් ඉවරවෙලා වේයන්ගොඩ ඉඳලා කඳාන වෙනකම් මහ රෑ පයින් ආවා. සමහර අතු පාරවල්වල එද්දී සපත්තුව පසාරු කරගෙන කටුත් ඇනුණා.

* ඒවා ගැන මතක් කරද්දී මොකද හිතෙන්නේ?

පුදුමාකාර විදිහට සතුටක් දැනෙනවා. ඒ සතුට තමයි 28 මං මගේ සහෘදයෝ එක්ක බෙදා ගන්නේ.

* ප්‍රසංගය ගැන තවත් යමක් සඳහන්කර මේ කතාව අවසන් කරමු?

මෙහිදි මගේ අලුත්ම ගීතයක් රසික රසිකාවන්ට ලබාදෙන ගමන්ම මගේ පැරැණි ගීත නව සංගීතයට මුසුකොට ගායනා කරනවා. ඒ වගේම මට ආදරය කරන හැමෝම එදාට එන්න කියලත් ආරාධනාවක් කරන්න කැමැතියි.