වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

අමිතාබ් බච්චන් සහ රේඛා අවුරුදු තිස් තුනකට පසු යළිත් එකට රඟපානවාලු. ඔබට සිතෙන විදියට ප්‍රතිඵලය කුමක් වේද?

සුජාතා ගුණවර්ධන – කඩවත

සුජාතා ඔබගේ ප්‍රශ්නය දුටු විට මගේ සිතට එක්වරම පිවිසෙන්නේ ‘කාගෙ ගෑනි කාට ගියත් අපේ නමට ලැබේ ළමයි’ යන කියමනයි.

මා හිතවත් අර්ජුන මහත්මයාණෙනි, යුද හමුදාවේ ඉංජිනේරු අංශයේ සේවය කරන රණවිරු රියල් ස්ටාර් යුද සෙබලියක මෙන්ම දැයට දිරිය දුන් සොඳුරු සමනලියක වන අයෝමි දර්ශිකා පෙරේරා දුවණියගේ ලිපිනය සමඟ දුරකතන අංකය කියන්න.

ඩබ්ලිව්. ඩබ්ලිව්. දිල්ලිමුණි

කඹුරුපිටිය – තුඹේ

රණවිරු තරුව වන අයෝමි දර්ශිකාගේ ලිපිනය වන්නේ අයෝමි පෙරේරා, ටී/954/41, උඩවත්ත පාර, මාලඹේ යන්නයි.

‘අහංකාර ස්ත්‍රී’ චිත්‍රපටයේ ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි . . .’ යන ජනප්‍රි‍්‍රය ගීතය ගායනා කළ ද්‍රවිඩ ගායක ඒ. එම්. රාජා තවමත් ජීවතුන් අතර සිටිනවාද?

එච්. එල්. තිලකසිරි ද සිල්වා - මීටියාගොඩ

ඔහු වසර ගණනාවකට පෙර රිය අනතුරකට ගොදුරුව මිය ගියා.

‘අංගනා’ ටෙලි නාට්‍යයයෙහි විජේපාලගේ චරිතය රඟපාන චින්තක වාස් නැසී ගිය සිනමා නළු වින්සන් වාස් ගේ පුත්‍රයෙක්ද?

එච්. ඉන්ද්‍රපාල - මුංහේන

ඔව්.

රූපවාහිනී නාලිකාවල එකේ ඉලක්කම මේ තරමටම දඟලන්නේ, පෙරලන්නේ, උඩ පනින්නේ ඇයි?

විමල් රණසිංහ - ග්‍රෑන්ඩ්පාස්

ඒ එක කියන ඉලක්කමෙන් ඉහළට යන්න බැරි නිසයි.

විජය කුමාරතුංග මිය යාමට පෙර චිත්‍රපටයක් නිෂ්පාදනය කර තිබුණි. නමුත් මගේ මතකයේ හැටියට චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ නැත. මම ඒ චිත්‍රපට ගැන විස්තර ටිකක් දැනගන්නට කැමැත්තෙමි.

ආර්. ඒ. අමරසිංහ - කැලණිය

විජය කුමාරතුංග නිෂ්පාදනය කළ චිත්‍රපටය වන්නේ ‘සමාව’යි. ‘සමාව’ චිත්‍රපටය රූගත කිරීම් අවසාන වී තිබුණත්, චිත්‍රපටයට කුමක් වූයේදැයි මම නොදනිමි. එමෙන්ම ‘මංමුලා වැල්’ චිත්‍රපටය මිල දී ගෙන තිබුණ මුත් ඊට සිදු වූයේ කුමක්දැයි ද නොදනිමි.

චිත්‍රපටයකට ගීත අවශ්‍යමද?

එල්. එම්. ප්‍රේමසේන පෙරේරා - කළුබෝවිල

චිත්‍රපටයකට අවශ්‍ය ස්ථානයකදී ගීතයක් යෙදීම අවශ්‍ය වගේම අනවශ්‍ය ස්ථානයකට ගීතයක් යෙදීමද අනවශ්‍යයයි.

අර්ජුන ඔබ නරඹන ලද සිංහල චිත්‍රපට අතරින් අසාර්ථකම චිත්‍රපට තුන මොනවාද? මම ඔබගෙන් අවංකවම පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

කරු මන්දාවල - නාත්තණ්ඩිය

මා නැරැඹූ සිංහල චිත්‍රපට අති විශාල සංඛ්‍යාවක් අතරින් පහළොවකට අඩු සංඛ්‍යාවක් ඉතා හොඳ චිත්‍රපටයි. ඒ චිත්‍රපට හැරුණු විට තවත් චිත්‍රපට විස්සක් පමණ හොඳ චිත්‍රපටයි. ඉතිරි සියල්ලම මට නම් අසාර්ථකයි.

‘බඹර කලාපෙ’ චිත්‍රපටයේ පූජකතුමාගේ චරිතය නිරූපණය කළ නළුවා කවුද?

මනහර මහින්ද - බෙලිගල

මහින්ද, පූජකතුමාගේ චරිතය රඟපෑවේ වේහැල්ලේ පියතිලකයි.

අද ගුවන් විදුලිය ජනතාවගෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත්වෙනවා නේද?

චාමර හේමනාත් - පිළියන්දල

ඇයි සිනමාහල්වලින් ජනතාව ඈත්වෙන බවක් ඔබට නොපෙනේද?

අසහාය ගායක ශිල්පී එච්. ආර්. ජෝතිපාල මහතාගේ නමට ‘ජයන්ත’ යනුවෙන් තිබේද?

පී. වයි. අනුලාවතී - අවිස්සාවේල්ල

එවැනි නමක් ඇත්තේ නැහැ.

මුල් යුගයේදී ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස සිටි නිල්මිණි සිගේරාත්, වර්තමානයේ ‘ඉඩමේදී විකිණේ’ යන වේදිකා නාට්‍යයේ රඟපාන නිල්මිණි සිගේරාත් එකම අයෙක්ද?

ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද

ඔව්. ඒ නිල්මිණි සිගේරා තමයි.

වසර ගණනකට පෙර සිනමාව ගැන උනන්දු වූ මගේ මිත්‍රයෙක් මට පැවසූයේ සත්‍යජිත් රායිගේ ‘ජල් සඝර්’ සහ ‘පරසතු මල්’ චිත්‍රපට අතර කතාව ගලායෑමේ සහ චිත්‍රපටයේ මූලික හරය අතර කිසියම් සමානත්වයක් ඇති බවයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද? (මෙය ගාමිණී ෆොන්සේකා මහතාට හෝ පී. කේ. ඩී. සෙනෙවිරත්න මහතාට අපහාසයක් වේ නම් පල නොකරන්න).

ජානක ඉලුක්කුඹුර – කඩවත

ඉන් කිසිවකුටත් අපහාස නොවේ. මේ ප්‍රශ්නයට මට කියන්නට ඇත්තේ ඔබගේ මිතුරා කවදා හෝ ‘ජල් සඝර්’ චිත්‍රපටය බලා නොමැති බවයි. එක්කෝ පරසතු මල් චිත්‍රපටය නරඹා නොමැති බවය.

ප්‍රේම් ජයන්ත් සහ ෆ්ලොරිඩා ජයලත් ප්‍රධාන චරිත රඟපෑ ‘සුජාතා’ චිත්‍රපටය සංරක්ෂණාගාරයේ තිබේද?

මැණිකේ විල්වල සහ තිලකරත්න විල්වල - කෑගල්ල

ඒ චිත්‍රපට තිබෙන්න අපට චිත්‍රපට සංරක්ෂණාගාරයක් තිබෙන්න එපායැ.

පැරැණි චිත්‍රකතා මිලදී ගත හැක්කේ කොහෙන්ද?

මලින්ත විතානගේ - රුවන්වැල්ල

සමහර විට රසිකයන් ළඟ තවම ඇති. නැතිනම් පැරැණි චිත්‍ර කතා සංසදය මඟින් පොත් ලෙස මුද්‍රණය කර ප්‍රසිද්ධ පොත් සාප්පුවල අලෙවි කිරීමට තිබේ.

‘ගෝන් වින් ද වින්ඩ්’ චිත්‍රපටය ගැන විස්තරයක් කියන්න.

අයිලීන් සෝවිස් - රාගම

‘ගෝන් වින් ද වින්ඩ්’ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ අමෙරිකානු සාහිත්‍යයේ විශිෂ්ට කෘතියක් ඇසුරෙනි. ඒ මාර්ගර් මිෂෙල්ගේ ‘ගෝන් වින් ද වින්ඩ්’ නවකතාව ඇසුරෙනි. මේ කෘතිය විශිෂ්ට කෘති සඳහා හිමිවන ‘පුලිට්සර්’ සම්මානය දිනා ගත්තේය. මේ විශිෂ්ට කෘතිය ඇසුරෙන් තැනුණු ‘ගෝන් වින්ද වින්ඩ්’ චිත්‍රපටය 1939 වසරේ නිර්මාණය වූ අතර පැය හතරකට ආසන්න කාලයක් ධාවනය වෙයි. මෙහි අධ්‍යක්ෂවරයා ලෙස සඳහන් වන්නේ වික්ටර් ෆ්ලෙමින්ග්ය. ක්ලාක් ග්ලේබල්, විවියන් ලේ, ලෙස්ලි හොවාඩ් ආදීන් චරිත මැවූ මේ චිත්‍රපටය ලෝක සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ චිත්‍රපට ගොන්නට අදත් ඇතුළත්ය. එනම් එම වසරේදී මේ චිත්‍රපටය ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන දහතුනක් සඳහා නිර්දේශ වූ අතර ඉන් හොඳම චිත්‍රපටය ඇතුළුව සම්මාන අටක් දිනා ගත්තේය. ඩේවිඩ් ඕ. සෙල්ස්නික් ‘ගෝන් වින් ද වින්ඩ්’ චිත්‍රපටයෙහි නිෂ්පාදකවරයායි. අමෙරිකානු සිවිල් යුද්ධය හා පුනරුත්ථාපන යුගය පාදක කරගෙන තැණුනු මේ චිත්‍රපටය ලෝක සිනමාවේ බිහි වූ අපූරු නිර්මාණයක් බැව් අදටත් පෙනෙන්නකි.