වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

කටාන කලා රසදීපනි 29 දා

කටාන කලා සංවිධානය මඟින් මෙහෙය වන ‘කටාන කලා රසදීපනී’ කලා මහෝත්සවය මේ මස 29 වැනිදා රද්දොළුව ජනිත උත්සව ශාලාවේදී පැවැත්වේ.

සංගීතය සංගීතාචාර්ය කමල් ගුණරත්නයි. මීට සමගාමීව කටාන මැතිවරණ කොට්ඨාශයේ පදිංචි පැරැණි කලාකරුවන් දස දෙනෙකුට ද ගෞරව සම්මාන පිරිනැමේ.

නන්ද වික්‍රමගේ පියා අභාවප්‍රාප්ත වේ

රංගන ශිල්පී නන්ද වික්‍රමගේ ගේ පියාණන් වූ දේවගැති කර්නල් ඩබ්ලිව්. ජේ. වික්‍රමගේ වසර එකසිය එකක් ආයු වළඳා ස්වර්ගස්ථ විය. එතුමාණන්ගේ අවසන් කටයුතු අද (26 දා) බොරැල්ල කනත්තේදී සිදුවීමට නියමිතය.

‘කෑම ලෑස්තියි මංගල දර්ශනය 28 දා

අජිත් මෙන්ඩිස් රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද නවතම වේදිකා නාට්‍යය වන ‘කෑම ලෑස්තියි’ හි මංගල දැක්ම මේ මස 28 වැනිදා මාතර බෞද්ධ විද්‍යාලයීය රංග ශාලාවේදී වේදිකා ගතවේ. එමෙන්ම මෙම මස 29 වැනිදා ද දුන්ගාල්පිටිය දොන් බොස්කෝ ශාලාවේදී ද වේදිකා ගතවීමට නියමිතය.


සැප්තැම්බර් 27 වැනිදා

* සාම්ප්‍රදායික අම්බලන්ගොඩ ‘කෝලම්’ නාටකය මරදාන ටවර් රඟහලේ

28 වැනිදා

* තනුජා වන්නිආරච්චිගේ ‘මං දිය වෙලා’ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හි

* ජයසේකර අපොන්සුගේ ‘තටු’ රන්පොකුණගම නරිතසං ශාලාවේ

* බන්දුල විතානගේ ‘රෝමය ගිනි ගනී – 2’ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේ

29 වැනිදා

* සජීව මල්මාලආරච්චිගේ ‘සිකුරු හතේ’ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේ

ඔක්තෝම්බර් 02 වැනිදා

* ලලිතා සරච්චන්ද්‍රගේ ‘රත්නාවලී’ දොඩම්ගොඩ මිරිස්වත්ත විදුහල් ශාලාවේ


 ‘රඟ නද රශ්මි’ ප්‍රසංගය 28 දා පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ දී

බප/පිළියන්දල ශ්‍රීමත් ජෝන් කොතලාවල මහා විද්‍යාලයේ දූ පුතුන්ගේ කලා හැකියාවන් ඔප්නංවාලීම සඳහා සෑම වසරකම පවත්වනු ලබන ‘රඟ නද රශ්මි’ කලා ප්‍රසංගය මෙවරත් මෙම 28 වැනි දින පස්වරු 2.00 ට සහ 6.00 ට පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය නව ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. විද්‍යාලයීය සෞන්දර්ය ඒකකය මෙහි සියලු කටයුතු සංවිධානය කර ඇත.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 30 දා

2013 වසරෙහි පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍ර‍්‍රදානෝත්සවය මේ මස 30 වැනිදා පස්වරු 2.30 ට කොළඹ 07 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සංස්කෘතික හා කලා කටයුතු ඇමති ටී. බී. ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පළ කරන ලද විශිෂ්ටතම නවකතාව, කෙටි කතා සංග්‍රහය, පද්‍ය සංග්‍රහය, ගීීපද මාලා සංග්‍රහය, නාට්‍ය, යොවුන් සාහිත්‍ය කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති, විද්‍යා නිබන්දන කෘති, විවිධ විෂය ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා සම්මාන පිරිනැමීමට නියමිතය. මෙවර ‘සාහිත්‍යරත්න’ යාවජීව සම්මානයෙන් පුද ලබන්නේ මහාචාර්ය විනී විතාරණ, ප්‍රවීණ ලේඛක තෙන්යාන්, කලාසූරී එඩ්වින් ආරියදාස යන විද්වතුන්ය.

‘අපි අපිට’ පැදුරු සාජ්ජය 29 දා බුදවත්ත රංගායතනයේ දී

‘අපි අපිට’ කලා කරුවන්ගේ නව්‍ය එකමුතුව, කලා කරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන්ම ආරම්භ කෙරුණු සංවිධානයකි. මෙහි සාමාජික කලා කරුවන්ගේ ඉදිරි අනාගතය සුරක්‍ෂිත කරලීම, යම් ආපදාවකදී ඔවුන් රැක බලා ගැනීම මෙය පිහිටුවීමේ මූලික අරමුණකි. සංගීතවේදී සුනිල් ධර්මසේන ගේ අදහසක් අනුව ආරම්භ කළ මෙහි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී, චිත්‍රපට අධ්‍යක්‍ෂ සරත් වීරසේකර, සහ නර්තනාචාර්ය කුලසිරි බුදවත්ත අනුශාසකවරුන් වශයෙන් කටයුතු කරති.

මෙහි අරමුදලක් ආරම්භ කිරීම වෙනුවෙන් පවත්වන ‘පැදුරු සාජ්ජය’ ප්‍රසංගය මෙම 29 වැනි දා සවස 6.00 ට මහරගම කුලසිරි බුදවත්ත රංගායතනයේදී පැවැත්වේ. පි‍්‍රයා සූරියසේන, පුන්සිරි සොයිසා, රූපා ඉන්දුමතී, වර්නන් පෙරේරා, එස්. කලාවතී, ජෝජ් සේනානායක, මායා දමයන්ති, වික්ටර් විජයන්ත, නිලූෂි හල්පිට, චින්තා පි‍්‍රයංගනී, පි‍්‍රයන්ති විජේසිරිවර්ධන, අනුර ඇහැලේපොළ, සිසිර කුමාර සහ චන්දු ඉඹුලාන ලියනආරචිච් මෙහි ගී ගායනා කරන අතර නර්තනය බුදවත්ත රංගායතනයෙනි. කථනයෙන් ගුණවර්ධන හෙට්ටිආරච්චි එක්වන මෙහි සංගීතය, ගී ගැයීම, කථනය ඇතුළු සියලුමදේ සාමාජිකයන් හට පමණක් වීම විශේෂත්වයකි.

සම්පත් බණ්ඩාර ලියූ ‘මිහිමත බිහි වූ වේගවත්ම මිනිසා’

ප්‍රවීණ මාධ්‍යවේදී සම්පත් බණ්ඩාරගේ නවතම ක්‍රීඩා සාහිත්‍ය කෘතිය ‘මිහිමත බිහි වූ වේගවත්ම මිනිසා - උසේන් බෝල්ට්’ සුරස ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ.

ජැමෙයිකාවේ අතිශය දුෂ්කර ගමක උපත ලබා දැඩි අධිෂ්ඨානයෙන් හා නොපසුබට උත්සාහයෙන් නැඟී සිිටිමින් ලොව වේගවත්ම මිනිසා ලෙස පිදුම් ලද ධාවන ශූර උසේන් බෝල්ට්ගේ ජීවිත කතාව මෙහි ඇතුළත් වේ. සම්පත් බණ්ඩාර විසින් ‘අර්ජුන රණතුංග (1996), ක්‍රිකට් වංශ කතාව (2003), විශ්වයේ ජනප්‍රියම ක්‍රීඩාව - පාපන්දු (2006), ලාංකේය මලල ක්‍රීඩා ඉතිහාසය (2008), Murali Greatest Among The Great (2010), ඇය සෝනියා (සෝනියා ගාන්ධි චරිතාපදානය) 2011,The Story of Twenty 20 Cricket  (2012) යන ග්‍රන්ථ එළිදක්වා තිබේ.