වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




තෙළිතුඩින් ජයගත් චාමර

තෙළිතුඩින් ජයගත් චාමර

අපේ රටේ සතර අත පැතිර ඇති තාරුණ්‍යයේ ප්‍රතිභාව එක්තැන් කරන ජාතික යෞවන සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා නිමාවිය.

ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්‍රයත්නයක් හැටියටයි.අපේ වෑයම ඒ සොයා ගත් තාරුණ්‍යයේ ප්‍රතිභාව ඔබට හදුන්වා දෙන්නයි.

මේ ලිපි මාලාව ඒ යොවුන් පෙළ වෙනුවෙනුයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන්, සමිතුරු යෞවන සමාජය, බස්නාහිර පළාත නියෝජනය කරමින් ජාතික යෞවන සම්මාන 2012 ප්‍රදානෝත්සවයේදී සාම්ප්‍රදායික සිතුවම් අංශයෙන්, සූවිසි විවරණ සිතුවම ඉදිරිපත් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත් කඳානෙ පදිංචි ඊ.ඒ.චාමර එදිරිසූරිය පිළිබඳව හදුන්වා දීමට අද යංග් ටැලන්ට් තීරුව වෙන් කෙරේ.

පාසල් අවදියේ සිටම චිත්‍ර ඇදීම ප්‍රගුණ කළ චාමර කැලණිය විශ්වවිද්‍යාලයේ කලා අංශයෙ බාහිර උපාධියක් හදාරමින් සිටී.

චිත්‍ර කලාව වැඩිදියුණු කරගැනීම සදහා පත්සිළු භවන් කලා නිකේතනයට බැදුනු චාමර අද එම කලා නිකේතනයේ ගුරුවරයෙක් ලෙසද කටයුතු කරයි.

පාසල් අවධියේ සිටම සිතුවම් තරගවලට සහභාගි වී කලාපීය, දිස්ත්‍රික්,පළාත්,ජාතික මට්ටමෙන් පැවැති බොහෝ තරගවලදී පළමු,දෙවැනි,තෙවැනි ස්ථාන හිමිකරගත් චාමර ජාතික තරුණසේවා සභාව පැවැත්තු යෞවන සම්මාන උළෙලේදී සාම්ප්‍රදායික සිතුවම් අංශයෙන් 2010,2011,2012 යන වර්ෂ තුනේදීම ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

සාම්ප්‍රදායික සිතුවම් පිටපත්,නව නර්මාණ,ප්‍රකාශන,කැටයම්,මූර්ති,යන සෑම අංශයකින්ම දස්කම් දක්වන චාමර වැලිසර මූලගන්ධ කුටි විහාරයේ වාහල්කඩ නිර්මණය කිරීමටද දායක වී තිබේ.

බප/මිග ධර්මාශෝක මහා විද්‍යාලය,බප/මිග ක්‍රිස්තුරාජ ජාතික පාසල, අධ්‍යාපනය හදාරන අවධියේදී චිත්‍ර ඇදීමට කියාදුන් සිරියාවතී,වික්‍රමරත්න, මාලිකා සෙනෙවිරත්න ගුරුවරුන්ටත්, තමන්ගෙ කලා හැකියාවන් හදුනාගෙන එය වැඩි දියුණු කර චිත්‍ර කලාවට තමන්ව නැඹුරු කළ කේ.එම්.පසිදු ගීත් නිමන්ත ගුරුතුමාටත්, ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය රත්නපාල ද සිල්වා ගුරුතුමාටත්,තමන් ගේ කලා කටයුතු රිසිසේ කරාගන යාමට නිරන්තරයෙන් සහය දෙන මව්පියන්ටත් ස්තූති කළේය. චිත්‍ර , කැටයම්,මූර්ති,කලාව රැකගනිමින් ඊළඟ පරම්පරාවට මෙය කියාදීම චාමරගේ බලාපොරොත්තුවයි.