වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සුරලියක වගේ රුවිනා ගැයූ සෝමසිරිට පනස් වසරයි

සුරලියක වගේ රුවිනා ගැයූ සෝමසිරිට පනස් වසරයි

ප්‍රවීණ වේග රිද්ම ගායන ශිල්පී සෝමසිරි ප්‍රනාන්දු කලාකරුවාගේ ගායනා දිවියට මෙම මස 30 දිනට (50) පනස් වසරක් සපිරෙයි.

1963 දී බයිලා ශිල්පියෙකු ලෙස ගුවන් විදුලි මහගෙදරින් අත්පොත් තබා කලා ක්ෂේත්‍රයට පිවිසි ඔහු ජනතාව අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ ඔහුගේම සංකල්පනාවකට අනුව ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු සංගීතවේදියාගේ මියුරු නාද රටාවෙන් රසවත් වූ ‘සුරලියකු වගේ රුවිනා’ හා ‘මාලී’ නමැති ගීත දෙක සංගීත ලෝලීන්ගේ හද බැඳගත් ගීත වූ බව නොරහසකි. එම ගීත උත්සව අවස්ථාවක හෝ විනෝද චාරිකාවන්හිදී එදා මෙන්ම අද ද නව තරුණ පරපුරේ තොළඟ රැව්දෙන ගීත බවට පත් වී හමාරය.

කොලොම්බියා හා පිලිප්ස් එච්. එම්. වී. තැටිවලට කැසට් පට හා සී ඩී තැටිවලට ගී ගයා ඇති සෝමසිරි කලාකරුවා ගිවන්ත අර්ථසාද්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩ ගැන්වූ ලංකාවේ ප්‍රථම කාටුන් චිත්‍රපටය වූ දුටුගැමුණු හා ටෙනිසන් කුරේ අධ්‍යක්ෂණය කළ තැන්ක්යූ බර්ටි චිත්‍රපටවලට ද ගායනයෙන් හඬ මුසුකර ඇත. මීට අමතරව වේදිකා නාට්‍ය කිහිපයකට ගායනයෙන් දායක වී ඇත. ඔහු විදෙස් රටවල්හි පැවැති සංගීත ප්‍රසංග ගණනාකට සහභාගිවීමේ භාග්‍ය උදා කරගෙන ඇත.

එදා ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙකු වූ ඔහු එක් රැයකට යා නොහැකි තරමේ ප්‍රසංග සඳහා ආරාධනා ලැබ සිටි කලාකරුවෙකු බව අවිවාදයෙන් යුතුව කිව හැක. වේල්ස් කුමර විදුහලේ ආදි සිසුවෙකු වන ඔහු මොරටු පුත්‍රයෙකි. හේ මොරටුව කලා එකමුතුවේ උප අනුශාසකවරයකු ලෙස කටයුතු කරයි.

ගායන ක්ෂේත්‍රයේ දිගු ගමනක නිරත වූ ඔහු අව්‍යාජ කලාකරුවෙකි. සොඳුරු මිනිසෙකි.