වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




නීලා වික්‍රමසිංහ බෝනික්කෝ අරන්

නීලා වික්‍රමසිංහ බෝනික්කෝ අරන්

‘පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපැනැල්ලේ
රණ්ඩු වෙවී හාද වෙලා මල් හසරැල්ලේ . . .’

මේ අලංකාර ගීය සවනට ළං වන සැණින් ඔබට සිහි වන්නේ ඇයයි. ඒ ගී හඬ එදත් අදත් එක සේම මියුරුයි. ඇය ප්‍රතිභාපූර්ණ කලා ශිල්පිනී විශාරද නීලා වික්‍රමසිංහ.

‘‘හිරු කිරණ,සඳ එළිය, මුතු පින්න, මඳ සුළඟ කාලයේ මිහිරිතම තනුවෙන් හැඩ කොට ගැයෙන සොබා දහමේ සොඳුරුතම ගීතයයි දරුවා.’’

ඇය මෙවර සිය ප්‍රසංගයේ නිමිත්ත හැඳින්වූයේ මෙලෙසින්. එදා මෙදාතුර ඇය දරුවන් වෙනුවෙන් නිර්මාණය කළ ගීත සංඛ්‍යාව තුන්සියයකටත් අධිකයි. දරුවා වැඩිහිටියෙක් නොව දරුවෙකි යන්න සමාජයට කියා දෙන පණිවුඩය සමඟින් ඈ ලබන 28 වැනිදා ‘බෝනික්කෝ’ ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාවට ගෙන එන්න සුදානම්. ඒ පිළිබද නීලා වික්‍රමසිංහ අදහස් දැක්වූයේ මේ අයුරින්.

* ‘බෝනික්කෝ’ ප්‍රසංගය දරුවන්ටම සුවිශේෂ වූ ප්‍රසංගයක්?

දරුවන් තමයි අනාගතය. මම දකින විදියට අද වැරැදි මාධ්‍ය භාවිතය නිසා දරුවන්ගේ අතිශයින්ම සුන්දර වූ ළමා ලෝකය වැඩිහිටියන් විසින් උදුරාගෙන තියෙනවා. ඇත්තෙන්ම අද අපට අසන්න දකින්න ලැබෙන්නේ ළමා වයසට උචිත වන දේවල් නොවීම කණගාටුවට කාරණයක්. ළමුන්ට ඔවුන්ගේ ළමා ලෝකයේ සුන්දරත්වය විඳීන්න ඉඩ ලබා දිය යුතුයි. ගුරුවරුන්, දෙමාපියන්, වැඩිහිටියන් ලෙස දරුවා නිසි අයුරින් සමාජයට දායාද කිරීම පිළිබඳ වගකීමක් තියෙනවා. එය කියාපෑමට තමයි ළමුන් වෙනුවෙන් ‘බෝනික්කෝ’ ප්‍රසංගය සංවිධානය කෙරෙන්නේ. අවුරුදු විසි තුනක කාලයක් ගුරුවරියක ලෙස දරුවන් සමඟ කටයුතු කර ඇති නිසා ළමා මනස, ක්‍රියාකාරකම් මා හොඳින් වටහාගෙන තියෙනවා.

* බෝනික්කෝ ප්‍රසංගය පෙළ ගැසෙන්නේ?

ළමා ගී 18 කින්. එහිදී එම ගීත මම දරුවන් සමඟ ගායනා කරනවා. දළදා පෙරහැර ගැන කියැවෙන ප්‍රසංගයේ අවසන් ගීතය කපිලත් මමත් දරුවන් සමඟ ගායනය කරනවා. මෙහි සියලුම ගී තනු නිර්මාණය කළේ මා විසින්. නර්තන නිර්මාණය කෙරෙන්නේ චන්දන වික්‍රමසිංහ විසින්. බෝනික්කෝ ප්‍රසංගයට ගාල්ල, මාතර, නුවර, ගම්පහ, දිවුලපිටය, මීරිගම, කෑගල්ල, කළුතර සහ කොළඹ යන ප්‍රදේශවලින් දරුවන් දෙසිය හැටක් පමණ සහභාගි වෙනවා.

* එදිනට තවත් සුවිශේෂ කටයුත්තක් සිදු කෙරෙන්නට නියමිතයි?

ප්‍රසංගයට සමගාමීව එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් සමඟ පදමාලා, ස්වර ප්‍රස්තාර, චිත්‍ර ඇතුළත් ‘බොනික්කෝ’ ළමා ගී පොත එළිදක්වන්න කටයුතු සූදානම්.

* ‘බෝනික්කෝ’ ප්‍රසංගයේ අරමුණ?

මෙම ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍රවලින් ලැබෙන ආදායම අපි යොදවන්නේ දරුවන්ගේම සුබසිද්ධිය සඳහාමයි. ‘The Mother' සංවිධානයට ආධාර පිණිස තමයි එය පැවැත්වෙන්නේ. මල් පොහොට්ටුවක් සෙමෙන් පිපෙන්නා සේම දරුවන්ට තම ළමා ලෝකයේ සුන්දරත්වය විඳගන්න ඉඩ හැරිය යුතුයි. ඒ අනුව බෝනික්කෝ ප්‍රසංගය දරුවන්ට නැවුම් අත්දැකීමක් වේවි. මම ඔබ සියලු දෙනාට ඇරැයුම් කර සිටින්නේ දරුවන්ගේ හැකියාවන් නරඹා ඔවුන් දිරිමත් කරන්න අපිත් සමඟ එක්වෙන ලෙසයි.