වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




එන්න සමනල සංධ්වනියේ ශෝකී රිද්මය අසන්නට

එන්න සමනල සංධ්වනියේ ශෝකී රිද්මය අසන්නට
 

ජයන්ත චන්ද්‍රසිරි සිනමා නිර්මාණයක්

ආදරණීය රේවත,

මේ ඔබ පුදුමයට පත් කරන ලිපියක් බව මා දන්නවා. එය කියවා අවසන් කිරීමට ඔබ තුළ වන නොඉවසිල්ල මේ ලිපිය අවසන් කිරීමටත් මා තුළ තිබෙනවා. මා ඉක්මනින් ඔබට යමක් කියන්නම්. මා ඔබගේ ආදරය පිළිගන්නවා රේවත. මෙච්චර කාලයක් මා ඔබේ ආදරය පිළි නොගත්තේ ඔයාට තිබෙන අකමැත්තක් නිසා නොවෙයි, මම මගේ ජීවිතය ඇතුළෙම ඇවිදිමින් සිටිය කෙනෙක් නිසයි. තමන්ගේම ජීවිතය තුළම ඇවිදිමින් සිටින මිනිසුන්ට ජීවිතයේ අඩුපාඩු හුඟාක් පේනවා. ඔයා බොහොම උසස් පවුලක කෙනෙක්. මම එහෙම නෙවෙයි. හැබැයි මම මෙහෙම ලියන්නේ ඒ පිළිබඳව හීන මානයකින් කියලා හිතන්න එපා.

ජීවිතය කියන්නේ ඔයා හිතනවා වගේ කවියක් නෙවෙයි රේවත, ජීවිතය කියන්නේ පිපාසයක්. සුන්දර පිපාසයක්. ඒ පිපාසය යම් තරමකින් හරි සංසිෙඳන්නේ ආදරය කියන දියරය ලැබුණහම විතරයි. ඒකයි හැමෝම ආදරය පිටුපස්සේ දුවන්නේ. කොච්චර හති වැටුණත් ඒත් දුවන්නේ. හදවත් ගිනි ගනිද්දිත්, සිරුරු රිදුම් දෙද්දිත්, හඬ හඬා, හඬ හඬා අප ආදරය සොයන්නේ ඒ නිසයි. මා ඔබේ ආදරය පිළි ගන්නවා රේවත. ඔබ තවම මා පිළිබඳ බලාපොරොත්තුවෙන් සිටී නම් මේ මාර්තු 07 වැනිදා සවස 5.00 ට කුමාරි පාක් එකට එන්න. මේ දවස අමතක නෑ නේද? ඒ තමා අපි මුලින්ම මුණ ගැසුණු දවස. මතකද? ඒ තමා අපි මුලින්ම මුන ගැසුණු තැන. මතකද? එන්න රේවත ඔබ එනතුරු මා බලා සිටිනවා.

'No road is to long in love'

ඔබ නාවත් මම එදාට එතැනට එනවා. අපි දිවි ඇති තුරා හැම මාර්තු 07 දවසකම එතැනට එමු. නොවැරෙදීම එමු. දැන් හිතෙයිද දන්නේ නෑ මාර්තු 07 කියන්නේ මාරක 07 කියලා. කොහේ ගිහිල්ලා හිටියත් ඔන්න එදාට කුමාරි පාක් එකට එන්න ඕනෑ. එන්න ඕනෑ. එන්න ඕනෑ හොඳේ.

තෙරුවන් සරණයි

මං ඔයාගේ ආදර පුන්‍යා

පුන්‍යාගේ හදවතෙහි සොඳුරු නිමේෂයක ඉපැදුණු ආදරණීය සිතුවිලි අතර විටෙක මම මංමුලා වූයෙමි. ඉබේටම මෙන් මගේ මුවඟින් නැගුණු සුසුමක් වාතලය සිප ගත්තේ දිගු කතාවක ඇරැඹුම සනිටුහන් කරමිනි.

ආදරණීය පුන්‍යා,

ඒ සුසුමේ නුඹ වෙනුවෙන් නැගුණු දහසකින් යුත් ආදරණීය සිතුවිලි ඉපදී මිය යමින් තිබිණි.

හදිසියේ ඇද හැළුණු වැහි වලාවක සිරියෙන් මුළු පරිසරයම වෙලා ගිය නිමේෂයක වැටෙන වැහිපොද දෙසම මම බලා සිටියෙමි. ඒ වැහි පොද අතර සිටියේ නුඹය. රේවතය. ආගන්තුක වූ නුඹත්, නුඹගේ ආදරය දිනූ රේවතත් මේ මිහිතලය මත කොහේ නම් වෙසේදැයි සොයමින් මම නොයෙක් වර මගේ සිතටම වදයක් වීමි.

ඒ මාර්තු 07 වැනිදාය. මම කුමාරි පාක් එක වෙතට පිය එසැවීමි. සන්ධ්‍යාව උදාවන්නට හෝරා කිහිපයකට පෙර දිස් වූ අපූරු සුන්දරත්වය අතරින් මම ඇවිද ගියෙමි. මිහිදුම් සළුව පැලඳ ගත් තුරු කොමළිය බලා සිටින්නේ නුඹ පැමිණෙන තුරුය. ඒ අසල නුඹ කෙදිනකවත් නොදන්නා නන්නාඳුනන්නා ද මේ සොයන්නේ නුඹමය. කුමාරි උද්‍යානයේ මන්මත් කරවන සුන්දරත්වය සොයා ඇදෙන පෙම්වතුන්ගෙන් හා පෙම්වතියන්ගෙන් නම් හිඟ නොවේ. වරෙක එවන් පෙම්වතියකට ළං වූ මා නුඹ යැයි කියා රැවටුණු අයුරු නුඹ දන්නේ නම්, මා වික්ෂිප්ත කරවන ඇයගේ හැසිරීම නිසාම මට නුඹගේ රුව පිළිබඳව නිනව්වක් නොවීය. කෙමෙන් කෙමෙන් සැඳෑ කළුවර මුළු උද්‍යානයම වසා ගත්තේ සැනෙනි.

නුඹ යැයි මනසින් මසිත ළතැ වූ යුවතියක පසුපස යන්නට මගේ සිත මට බල කළේ එවිටය. එනමුදු නුඹගේ ජීවිතයේ ඉරණම තීන්දු කළ ඒ ලියුම නුඹ අතට පමුණුවන්නට මට නොහැකි වූයේ දෛවයේ කුමන නම් අරුමයකින්ද? මම නොදනිමි. දැරූ සියලු තැත් ගිලිහී, බලා සිටිද්දී නෙත් ඉදිරිපස මිය යද්දීම නුඹ පිළිබඳ මතකය අමතක කරන්නට මම වෙර දැරීමි. ඒ නිසාමදෝ මා අත රැඳුණු ඒ පෙම් හසුන මදනල හා මුසුව ඈත දොළදිය මතට පාව ගියේය. එහෙත් අරුමයක තරම, නුඹ මා අසලින් යන්නට අකැමැති බවක් මට දැනුනෙහිය. දිය මතට නොවැටී ගල් තලයෙහි වැඩී නිලට දිලෙන වල් පැළෑටි මත රැඳුණු පෙම් හසුන ගන්නට, මා සිත පෙලඹුණේ කුමක් නිසාදෝ යන සිතුවිල්ල මා පුදුමයට පත් කළේය.

එදත් මාර්තු 07 වැනිදාය. සිය සොඳුරු යෞවන වියේ හද රැඳුණු ආදරයේ අරුමය කොඳුරන්නට නුඹ පැමිණියාය. එනමුදු සිදු වූයේ අරුමයකි. කොහේදෝ සිට පැමිණි අසත් පුරුෂ මිනිසුන් නිසා නුඹ සිටියේ බොහෝ අපහසුතාවයකට මැදි වෙමිනි. ආදරයට ආදරය කළ නුඹට වන කරදරය මට ඉවසුම් ගෙන දෙන්නේ පෙර සසර භවයක පුරුද්දක් නියාවෙන්දැයි හදවතට එබී බලා මම මාගෙන්ම විමසීමි. මගේ අත්ල මත රැඳුණු පෙම් හසුන නැවත වරක් මගේ නෙත ගැටුණේ ඉබේමය. මම විපිලිසර වීමි. එතැනම තිබූ බීම බෝතලය මගේ සුරතට පැමිණියේ කෙසේදැයි මම ම නොදනිමි. මා හෙළු පහරින් ඒ අසත්පුරුෂයන් බිම ඇද වැටෙනු දුටු මම බියවීමි. පැන දිවීමි.

ආදරණීය පුන්‍යා, නුඹ මුණ ගැසීමට තිබුණු ඊළඟ වාරයත් මම අහිමි කර ගතිමි. ඉබේටම මෙන් අහිමි වීමි. මේ අහඹු සිදුවීම් පෙළ ඔස්සේ මටම හිමි වූ පෙම් හසුන අවසන් වරට රැඳුණේ මා සොහොයුරාගේ සුරතෙහිය. මඟ හැරුණු යුතුකමක් ඉටු කිරීමට පුල පුලා බලා සිටි මගේ හදවත බිඳිණි. යෞවනත්වයේ ආදරය රැඳුණු නුඹගේ සොඳුරු පැතුම මිලානව යනු ඇත්දැයි මම නොයෙක් වර සිතීමි. ඒ පැතුමෙන් මා හදවත රෝගී වූයේ මටත් නොදැනීය. හදවතෙහි පත්ලෙහි රැඳුණු ඒ ආදරණීය තුවාලය රන් කරඬුවක දමා සුරක්ෂිතව තැබුව ද ජීවිතය පුරාවටම ඒ රිදුම හදවත රිද වීය. ඒ රිදුම ඔස්සේ හදවත නැගුණු ශෝකීරාවය මම මෙලෙස තත්සර අතර පිරිමදිමි.

ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා
හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා

නින්දෙන් ඇහැරී කළුවරේම යළි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා

උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරවනා
මට මගේ නොවන ආදරයක් තිබුණා

ඒ හදවත රැඳි ස්වරය ජන හදවත වැලඳ ගත්තේ සැණෙනි. නැවතත් නුඹ මට හමු වූයේ වසර විසි එකකට පසුවය. ඒ මාර්තු 07 වැනිදාය. කුමාරි පාක්හිදීය.

කාලයක් පුරා මගේ හදවත රිදුම් දුන් ඒ ආදරණීය ශෝකී ගීතයේ රූප රාමුපෙළ සිනමා සිත්තමකට පෙළ ගැස් වූයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිය. ‘සමනල සංධ්වනි’ නමින් පෙළ ගැසුණු එකී ශෝකීරාවය ඔක්තෝබර් මස 04 වැනිදා රිදී තිරයෙහි දිග හැරෙන්නේය.

එන්න, මම ඔබට ඇරැයුම් කරමි. ඒ ‘සමනල සංධ්වනි’ නම් අපේ හදවත ගැහෙනා රාවය හැඳින ගන්නටය.

මීට

වාදීශ දේවමින්ද වික්‍රමනායක