වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සංගීත අඹරේ පෑයූ Blue Shadows

සංගීත අඹරේ පෑයූ Blue Shadows

‘බ්ලූ ෂැඩෝස්’ කියන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ දිගු කලක සිට සංගීතවත් කරන සංගීත කණ්ඩායමක්. 1987 වසරේ සිට අද දක්වා දිගු ගමනක් පැමිණි බ්ලූ ෂැඩෝස් හි නායකත්වය දරන්නේ ප්‍රබෝද් වික්‍රමආරච්චි. වසර 26 ක් පුරාවට සාර්ථකව දිගු ගමනක යෙදුණු බ්ලූ ෂැඩෝස් ගැන ඔහු සරසවිය සමඟ සිය අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්.

බ්ලූ ෂැඩෝස් සංගීත කණ්ඩායම පිහිටුවා ගත්තේ 1987 වසරේදී. ගායක ගායිකාවන් සමඟ ප්‍රසිද්ධ සංදර්ශනයක් පැවැත්වූයේ 1988 අප්‍රේල් 21 වැනිදා. එය සංවිධානය කළෙත් අපි. වේදිකාව හැදුවෙත් අපි. ඒ සඳහා අවශ්‍ය මුදල් ලබා දුන්නේ මගේ ආච්චි අම්මා තමයි. එතකොට බෑන්ඩ් එකේ නායකයා වගේම ඩ්‍රම්ස් වාදකයා වුණෙත් මම.

සංදර්ශනවලට අමතරව අපි මුලින්ම සනී ජයවර්ධන මහතා සමඟ නන්ස්ටොප් ගීත ඇතුළත් කැසට් එකක් කළා. එය නම් කළේ ‘අපේ වැඩක්’ කියලා.

අදටත් බොහෝ ජනප්‍රිය ගීත රැසක් ඔබ සංගීත කණ්ඩායමෙන් නිර්මාණය වුණා?

ඔව්. ‘සිරියලතා’, ‘සඳරේඛා’ වගේ ගීත අදටත් බොහෝ ජනප්‍රියයි. අපේ සංගීත කණ්ඩායමේ ගීත අතර ‘සිරියලතා’, ‘රස බර තාල’, ‘අපේ ගමන’, ‘මොකටද ගෑනු ළමයෝ’ ගීත පද රචනය, තනුව, සංගීතය බයිලා සැන්ටිගෙන්. ‘සඳරේඛා’ පද රචනය හේමසිරි හල්පිට. තනුව මිලන් රොඩ්‍රිගුගේ. එය ගායනා කළේත් මිලාන් විසින්මයි’

මේ වන විට බ්ලූ ෂැඩෝස් සමඟ සිටින සාමාජිකයන් ගැනත් සිහිපත් කළොත්?

ලීඩ් ගිටාරය - සුපුන් තාරක, රිදම් ගිටාරය - ෂානක ජයකොඩි, බේස් ගිටාරය – අනුරාධ ඉන්ද්‍රජිත්, කීබෝඩ් වාදනය – ඉන්දික ගයාන්, ඔක්ටපෑඩ් – ප්‍රභාත් රවීන්ද්‍ර, ඩ්‍රම්ස් වාදනයෙන් සම්පත් කුමාර සහ ගායනයෙන් ලතා ඩී සිල්වා සහ සුරේෂ් සොයිසා බ්ලූ ෂැඩෝස් සමඟ සිටිනවා.

අලුත් නිර්මාණ ගැනත් සඳහන් කරමු?

අපේ පැරැණි ගීත රීමික්ස් කරන්න සූදානම් වෙනවා. ඊට පසුව අලුත් ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල ‘සඳ රේඛා’ සහ ‘පියඹා ලස්සන’ ගීත නව තාලයෙන් රධභබභඡඥ හි ඇතුළත් කරලා තිියෙනවා. ඒ ගීත රසික ඔබට අසන්න දැන් අවස්ථාව තියෙනවා.

ඔබේ හිතැත්තන් සිහිපත් කරන්නයි මේ අවස්ථාව?

විශේෂයෙන් හිටපු සියලුම සාමාජිකයන්ට ස්තුති කරන්න ඕනෑ. සංගීත් විජේසූරිය, මිලාන් රොඩ්‍රිගු, චමින්ද කොළඹමුදලි, නිලන්ත ෂායෝ, දීපාල් සෙනෙවිරත්න, පුබුදු සනත්චන්ද්‍ර, රන්ජන් ලොකු බාලසූරිය, බාචි සිට්ටම්ගේ, අසුන්ත ගජසිංහ, නිලංග මායාදුන්න, පීටර් පිලිප්නේරි, චන්න එදිරිසිංහ, මීට පෙර අපිත් සමඟ මේ ගමන ආවා. මේ අවස්ථාවේ හැම දෙනාම ආදරයෙන් සිහිපත් කරනවා. ඒ වගේම මගේ ගුරුවරයා වූ සුනිල් පුණ්‍යසෝම මහතාත් ගෞරව පූර්වකව සිහිපත් කරනවා.