වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




අතුල නැවත සමිතාට සමීපලු

අතුල නැවත සමිතාට සමීපලු
කතාව ඇත්තද?

නිල්මිණි - නිරෝෂා - මම කැමැත්තෙන් එකම බෝට්ටුවට නැග්ගේ නෑ

පෙම් වසන්තේ ඇවිත් නැද්ද

තාමත් ඔහේ

පාළුයි වගේ නැද්ද

තාමත් සිතේ . . . .

අලුත් වසන්තයක හිඳගෙන ඔහු එහෙම ඇහුවත් ඈ නම් කියන්නේ,

වසන්තේ ඇවිත් බොහෝම

කාලයක් තිබේ

අපේ ආදරේ

භාවනාවක් වගේ . . . කියාය. වසන්තය නිමාවෙන්න පෙර මල් කුමරා ඉගිල ගියත් වසන්තයේ අතු අග හිඳගෙන තනි වූ මල් කුමරිය කියන්නේ තාමත් ඒ ආදරය භාවනාවක් සේ ඈ විඳි බවයි. සැබැවින්ම මේ ආදරයම කියා මට හැඟේ . . . ප්‍රේමයේ ටජ් මහල් දවසක බිඳ වැටුණත් නටඹුන් මැද හෝ තනි වී ආදරයේ මතකයන් සමඟ ජීවත් වෙන්න කෙනෙකුට පුළුවන් නම් . . . හැර දා ගිය කෙනෙකු ගැන දයාවෙන්. . . කරුණාවෙන් සිතන්නට පුළුවනි නම් . . . අන්න ආදරය . . . සැබැවින්ම ඔහු හෝ ඇය හරිම උතුම් කියලා හිතෙනවා. එවන් වූ උතුම් පැතුමක් හද රඳවා ගත් ඈ ගී ලොව සිංදු කිරිල්ලියයි. ජීවිතය ගීතයෙන් සුවපත් කළ ඈ එදා - මෙදා තුළ අප්‍රමාණ රසික හදවත් ගණනාවක්ම පින වූයේ සදා කාලයෙන් සදා කාලයට සහෘද සිත්සතන් තුළ අපරාජිත වෙමිනි.

සමිතා එරන්දතී මුදුන්කොටුව ඒ ජනප්‍රියම ගායිකාවයි. මෙසේ කියන්නේ මා නොව, ඔබයි. ඈ වෙත දක්වන ඔබේ ආදරයයි. මේ නිසාම ඔබ වෙනුවෙන් ඈ හමුවන්නට අපි අදහස් කළා. මේ කාලෙකට පසු සමිතා සරසවිය හා කළ ලෙන්ගතු කතාබහයි.

* ඉතිං . . . ඉතිං සමිතා අක්කේ බොහෝ කාලයකින් ඔබ සරසවිය පුවත්පත සමඟ?

අනේ ඔව් නේද මල්ලි. කාලයකට පසුව තමා ඔයාලව හමු වුණේ. සරසවිය ඉතිං අපිට කවදත් ළෙන්ගතු, අපේ ආදරණීයම කලා පුවත්පතනේ. සරසවිය හා කතා කරන්න ලැබීම මට නම් ගොඩාක් කාලයකට පසු මහ ගෙදරට ගොඩ වුණා වාගේ හැඟීමක් ඇති වෙනවා.

* ඔබව දුටුවම අදටත් මතකයට නැඟෙන්නේ ඉර පායා කියූ පුංචි සමිතාව?

(හයියෙන් සිනාසෙයි) අනේ ගොඩාක් ස්තුතියි ඔයාට ඒ අතිතය මතක් කිරිම ගැන. ඇත්තමයි එදා මයික් එකටවත් උස නැතුව මහා ගෑනියක් වාගේ ඉර පායා කියූ සමිතාට මමත් හදවතින්ම ආදරෙයි. අදටත් ඉඳලා හිටලා හරි ඒ පරණ වීඩියෝ ක්ලිප් එක දැක්කහම පුදුමාකාර සතුටක් ඇති වෙනවා. බලන්නකෝ කාලය ගලා ගිය හැටි. ජීවිතය ඇත්තෙන්ම ගීතයක් වාගේ තමා මල්ලි. මේ ජීවන ගීතය කොයි තරම් ලස්සනට අපට කියන්න පුළුවන්ද? ඒත් ඒක මිනිස්සු නොදන්න එක ගැනයි කනගාටුව.

* අක්කේ එදා ඒ සංගීත ක්ෂේත්‍රයට පෑයූ ලස්සන ඉර අදටත් ඒ විදිහටම ලස්සනයි කියලා කීවොත්?

සංගීත ක්ෂේත්‍රය තුළ ඒ ඉර කවදාවත් බැහැගෙන ගියේ නෑ මල්ලි. දවසින් දවස එළිය වැඩි වුණාම මිසක්. මොකද අදටත් මම රසික රසිකාවන් අතර ජනප්‍රියම ගායිකාව සේ බැබළෙනවා. අවංකවම ඒ ගැන මට සතුටුයි.

* මේ ජනප්‍රියත්වය ඔබ ඒ විදිහටම තියා ගත්තේ කොහොමද?

රසික හදවත්වලට දැනෙන්න ගීතයට සාධාරණයක් ඉටු කිරීම වෙන්න ඇති අදටත් මේ ජනප්‍රියත්වයට හේතුව. මම මල්ලි පාඩුවේ ඉඳගෙන රාජකාරිය අවංකව කරන කෙනෙක්.

* බොහෝ දෙනා කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ ලස්සනම හඬ හිමි ගායිකාව ඔබ කියලා?

අනේ ඒකට නම් කෙළින්ම උත්තරයක් මට දෙන්න බැහැ මල්ලි. එහෙම කියන අයට ස්තුතියි. මගේ හඬ ලස්සන සසරේ කරපු පින් හින්දා වෙන්න ඇති. මේ ගී ලොවේ ලස්සන හඬ ඇති ගායිකාවෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතුරින් නිරෝෂා විරාජිනිගේ හඬට මම පිස්සු වැටිලා ඉන්නේ.

* ඇයි ඔබ ඇගේ හඬට පිස්සු වැටිලා?

නිරෝෂාට තියෙන්නේ දෙවියන් දීපු හඬක්. ඈට විවිධ භාෂාවලින් අපූරු ලෙස ගී ගැයීමේ වරම හිමියි. ඈ ගී ගයන කොට දැහැනකට සමවැදුණා හා සමානයි.

* මේ අගය කිරීම නිරෝෂා ඔබේ හොඳම යෙහෙළිය නිසාද?

ඇය මගේ හොඳම යෙහෙළිය බව ඇත්ත. සහෝදරියක් වගේ ඈ මට ළෙන්ගතුයි. ජීවිතේ දුක - සැප දෙකේදීම ඈ මාව අතහැරියේ නෑ. අගය කරන්නේ ඈ සතු කුසලතා දුර්ලභ නිසා. මා කවදත් හොඳ දේට හොඳයි කියන්න පැකිළෙනේ නැහැ. ඒ වාගේම මම නිල්මිණි තෙන්නකෝන්ටත් හරිම කැමැතියි. මම පෞද්ගලිකව අගේ කරන චරිතයක් නිල්මිණි කියන්නේ.

* කවුරු හරි මේක කියවන කෙනෙක් කීවොත් ඔය තුන්දෙනාම එකම බෝට්ටුවේ කියලා?

අපි තුන්දෙනාගෙන් කවුරුත් ආසාවෙන්වත්, කැමැත්තෙන්වත් එකම බෝට්ටුවකට නැග්ගේ නැහැ. මතු පිටින් බලන කෙනෙකුට මොනවද කියන්න බැරි මල්ලි. මම හිතන්නේ නැහැ ලොවේ කිසිම ගැහැනියක් ආසවෙන් හුදෙකලා වෙනවා කියලා. ගැහැනියකගේ දෛවය හරි පුදුමාකාරයි මල්ලි. ගැහැනිය දුක හංගාගෙන සිනාසෙන්න වෙර දරනවා. පිරිමි දන්නේ වචන කියන්න විතරයි. අත්වැල බිඳී ගියහම කොයි ගැහැනියත් අසරණයි. දරුවන් සමඟ තනිවෙන්නේ තාත්තලා නෙමේ, අම්මලා. දෛවයෙන් සරදම් විඳපු ගැහැනුන්ට හිනා වෙන්න හොඳ නැහැ මල්ලි.

* ඔව් සමිතා අක්කේ මං මේ කතාබහේ හරිම සංවේදී තැනකට දැන් එන්න හදන්නේ. එක්තරා දවසක ඔබත් ආදරයෙන් හදපු කැදැල්ල සිඳී බිඳී ගියා. ඔබත් අද ජීවිත කතරේ තනි වූ ගැහැනියක් නොවේද?

(මොහොතකට ඈ නිහඬ වෙයි. ඒ සුසුම් හඬින් පවා මට බොහෝ දේ දැනේ). අතුල අධිකාරි කියන චරිතයට මම බොහෝ සේ ආදරය කළා. ඔහු මගේ සැමියා බවට පත්කර ගත්තේ ඒ ආදරය නිසාමයි. කාලයක් යද්දි අපිට දරුවන් ලැබුණා. ඔවුනුත් හදාගෙන අපි ජීවත්වුණා. එකට ඉඳීමේදී ප්‍රශ්න, ගැටුම් ඇති වුණා. එකට ඉන්න බැරිම තැනට ප්‍රශ්න ආවා. ඉතිං ගහ මරාගෙන රණ්ඩු වෙන්නේ නැතුව කතාබහ කරලා අපි වෙන් වුණා. දරුවන් ඉදිරියේ ගෙදර යුද පිටියක් කරගන්න මම කැමති වුණේ නැහැ. ඒත් අපි ක්ෂේත්‍රයේ එකට ඉන්නවා. අපේ බැඳීම අහවර වුණත් සදා කාලයටම ඔහු මගේ දරුවන්ගේ තාත්තා. ඒක වෙනස් කරන්න බෑනේ.

* සමිතා අක්කේ ඔබ කොහොම හිතකින් ද ඔහුගේ අලුත් ජීවිතයට සුභ පතන්නේ?

මේ දුර්ලභ මානුෂික ගුණාංගය හුඟ දෙනෙකුට නෑ කියලා මම දන්නවා. පුංචි කාලේ ඉඳන් මට මේ ගුණාංග තිබුණා. අද අපි හොද යාළුවෝ. ඔහු බැඳලා දැන් ලස්සන දුවෙක් පවා ඔවුන්ට ඉන්නවා. ඔහුගේ අලුත් බිරිය අමායා සමඟ කිසිම තරහක් මගේ හිතේ නෑ. ඒත් ගැහැනියක් නේ මල්ලි. හැබැයි ගොඩාක් අයට ලොකු ප්‍රශ්නයක් අපි මෙහෙම ඉන්න එක ගැන. එයාලා දැන් හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා. මම එයාලාට හදවතින්ම ආශිර්වාද කරනවා.

* ඒත් සමහරු කියන්නේ නම් මේ ඇමෙරිකාව නෙමේ කියලා?

මේක ඇමෙරිකාව නොවන බව මම හොඳටම දන්නවා. හැබැයි එහෙම කියන අයගෙන් මම අහන්නේ රණ්ඩු වේවි ගහ මරාගෙන ඉන්න එකද හරි කියලා. මෙහෙම සුහදව අපි ඉන්න එක අනුන් ගැනම හොයන අයට ලොකු ප්‍රශ්නයක්. දිරවන්නේ නෑ තමයි.

* සමිතා අක්කේ ඔබේ දරුවන් මේ ගැන මොකද කියන්නේ . . .?

හරිම සතුටින් කියන්නේ මල්ලි මට ඉන්නේ මාව තේරුම් ගත්ත මේ දේවල් හොඳට අවබෝධ කරගන්න පුළුවන් කීකරු දරුවෝ දෙන්නෙක්. එයාලා දන්නවා එයාලැ අම්මා ගැන. මට ඒ ඇති හොඳටම.

* දැන් දුවත් සෑහෙන්න ලොකු ළමයෙක් නේද?

අතුලගෙයි මගෙයි දෝණී මේ තරම් ඉක්මනට ලොකු වුණා ද කියලා නම් හිතාගන්න බෑ. දරුවෝ මගේ ළඟම ඉන්න හින්දා ජීවිතේ පාළුව - තනිකම දැනෙනවා අඩුයි. දුව ටික ටික ලොකු වේවි. එතකොට මට ඇතිවෙන එකම බය තමා මෙයා මානාලියක් වෙලා මාව දාලා යයිනේ දවසක කියන හැඟීම. අම්මෝ ඒක නම් මට දරාගන්නම බැරි වේවි. දෙවියන් දුන් වස්තුවක් මට දුව. දුවව පිටට දෙන්න හිත හදාගන්න ඇත්තටම මට බැරුව යයි.

* දුවගේ දක්ෂතා ගැන මොකද හිතෙන්නේ. ඈ ඔබ අබිබවා ක්ෂේත්‍රයේ දුර ගමනක් යයිද?

දුවට තව සංගීතය ගැන ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. ඇය හිමීට ඉගෙන ගෙන මේ ගමන යයි. ඇයට උදව් කරන්න අම්මයි – තාත්තයි දෙන්නම ඉන්නවානේ. දුව මාව අබිබවා ගියොත් ඒක විශාල සතුටක් මට.

* සමිතා අක්කේ අතුලගේ නංගි නෙලූ අධිකාරි සමඟ දැන් සම්බන්ධයක් නැද්ද?

කවදත් එහෙම විශේෂ සම්බන්ධයක් අපි අතරේ තිබුණේ නැහැ. හැබැයි එහෙම කියලා තරහක් මරහක් නැහැ. ඇය ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන දක්ෂ ගායිකාවක්.

* අක්කේ හැමදාමත් ඉතිං ඔහොම තනියම ඉන්නද කල්පනාව?

අප්පේ දැන් මට දීග දෙන වයසේ දුවෙකුත් ඉන්නවානේ. දවස පුරා මට වැඩ. ඉතිං කොහෙන්ද තනිකමක්. කොහොමත් මේ ජීවිතය තාවකාලික නවාතැනක් නේ මල්ලි. අපි හැමදාම ඉන්න ආපු අය නෙමේ. පෙර පින් තිබිලා ගායිකාවක් වුණා. පුළුවන් තරම් තව තව පින් කරන්නේ දැන් නම් ලබන ආත්මය ගැන හිතලා.

* ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කොහොමද අක්කේ?

පුරුදු විදිහට කරගන යනවා. අවුලක්, ප්‍රශ්නයක් ක්ෂේත්‍රයේ නැහැ. හැමදාමත් වාගේ මගේ ගීතවලට ඉහළම ප්‍රතිචාර ලැබෙනවානේ.

* කට කතාත් නිමක් නැහැ නේද?

වැඩක් නැති මිනිස්සුනේ ඕවා කියන්නේ. අපි කවුද කියන්න අපි දන්නවානේ. කට කතාවලින් මගේ ශක්තිය දුර්වල කරන්න කාටවත් නම් බැහැ.

* අතුල නැවතත් ඔබට කිට්ටු කරන කතාවක් පැතිරිලා තිබෙනවා?

ඒ අපි දෙන්නා එකට ගීත ගායනා කරන නිසානේ. පවුලක් කඩලා පවුලක් වෙන්න නම් මා කවදාවත් හිතන්නේ නැහැ. අතුල නැවත මට කිට්ටු කරන කතාව බොරුවක්.

* ඔබේ ගීතයක ඔබ කියනවා කොච්චර පෙම් කළාද ඔබට කියලා?

අච්චරයි මෙච්චරයි කියලා බදා වැලඳගෙන පෙම් කළත් දමා යන අය දමා යනවා මල්ලි. කොහොමත් ආදරය, බැඳීම් කියන්නේ දුකක්. ඒක තේරුම් අරන් මම දිවි ගෙවනවා.

කතාබහ – මංජුල ප්‍රසාද් වීරසිංහ

ඡායාරූපය – ටෙනිසන් එදිරිසිංහ