වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




නිෂ්පාදක සහ කතා රචක මලී අයින් කරලා

නිෂ්පාදක සහ කතා රචක මලී අයින් කරලා

කට කතා ගැන සමාධී පිළිතුරු දෙයි

සමාධි අරුණි ඡායා හෙවත් මලී මේ දවස්වල එතරම්ම දක්නට නැහැ. වටින් පිටින් ලැබෙන ආරංචිවලට අනුව ඇයව වැඩිය නිර්මාණ සඳහා ගන්න ඇතැම් අය බයයිලු. එහෙම වෙලා තියෙන්නේ ඇයි. මේ ගැන අපි සමාධිගෙන් ඇහැව්වා. ඇය ඒවාට පිළිතුරු බැන්දේ මෙන්න මේ විදියට.

* සමාධි ඇයි ඔයාව දැන් ඩ්‍රාමාවලට ගන්නේ නැත්තේ?

ගන්නේ නැහැ නෙවෙයි මං යන්නේ නැහැ.

* ඒ මොකද?

මට පහුගිය කාලේ ආරාධනා බොහොමයක් ලැබුණා. ඒත් ඒ චරිතවල රඟපාන්න දෙයක් නැති තරම්.

* රංගනයේ යෙදෙන්නෙකුට එහෙම ඉන්න පුළුවන්ද? එතකොට ඔබව අමතක වෙලා යාවිනේ?

එහෙම වෙන්නෙ කොහොමද? මලීව හැමදාම මිනිස්සුන්ට මතක තියේවි.

* මං ඇහැව්වේ නිතර පේන්න නොසිටියාම ජනප්‍රියත්වය අඩු වෙයි ද කියලා?

බලමුකො. මලී ඒකෙන් පසුව නිහඬව ඉඳලා බැරිම තැන මහ මෙරකි නුඹ සහ දුවන බාබර් කියලා නාට්‍ය දෙකක රඟපෑවා. ඒවා ළඟදීම විකාශය වේවි.

* ඒත් ක්ෂේත්‍රයේ පැත්තෙන් ඇසෙන්නේ ඔබව නාට්‍යයකට ගත්තොත් ඔබ ඕනෑවට වඩා ඉල්ලීම් කරන කතාවක්?

මේ මම? පිස්සු.

* ඔව්, ඔබ තමා?

මං එහෙම අනවශ්‍ය ඉල්ලීම් කරලා නැහැ. රංගනය වෙනුවෙන් කැපවීම් කළ යුතුයි. අනික දර්ශන තලය මගේ ගෙදර නෙවෙයිනේ. ඒක දැනගෙන මං ඉන්නේ.

* මලී 2 අත්තම්මාහි මලී නැත්තේ ඇයි?

ඒ පිටපත් රචකයා සහ නිෂ්පාදකවරයා අතර ඇති වූ ගනුදෙනුවක්. ඔවුන් තමයි තීරණය කරලා තියෙන්නේ මලී 2 මඟින් අත්තම්මා සහ මිනිබිරියක අතර ඇති සෙනෙහස ගැන කතා කරන්න. මලීව එතනට අවශ්‍ය නැහැනේ.

* ඔබට මලී සඳහා ගෙවන ගණන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉන් ඉවත් වුණා කියලයි දැනගන්නට ලැබෙන්නේ?

සල්ලි හින්දා චරිතයක් නැතිකර ගන්න කෙනෙක් නෙවෙයි මම. ඒක අමූලික බොරුවක්.

* ඉස්සරට වඩා සමාධිගෙ ඔළුව ඉඳීමිලා කියලා ඇතැම් අය කියනවා?

ඕවා කට කතා. ඉස්සරට වඩා මේ වන විට ඉතාම නිහතමානී සතුටකින් තමයි මං ඉන්නේ.

* ඔබ ගැන මෙහෙම කතා වෙන්නේ වැඩිය පෙනෙන්න නැති නිසා. මොකද ඒ ගැන කියන්න තියෙන්නේ?

ඇත්තටම පුදුම වෙන්න දෙයක් නැහැ. මගේ නොපෙනීම තමයි කටකතා හැදෙන්නට හේතුව.

* ඔබේ පෙම්වතාගේ හමුව ඔබේ රංගන විරාමයට එක් හේතුවක් නොවේද?

එයා සංජය මොරගොල්ල. අපේ හමුවීම වුණේ මහමෙරකි නුඹ මට දර්ශන තලයේදී. ඔහු රඟපාන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. මං හමු වුණාට පස්සේ එයයි රඟපෑම නැවැත්තුවෙ. මට දිගටම රඟපාන්නත් කිව්වා.

* ඔබ දෙපොළගේ විවාහය සිදු කිරීමට තිබුණේ මේ අවුරුද්ද අගදි නේද?

ඔව්. ඒත් කේන්දර බැලුවට පසුව ලබන වසරලු විවාහයට සුදුසු. ඉතින් ඒකයි කල් ගියේ.

* සමාධි කේන්දර විශ්වාස කරනවාද?

ගොඩක් විශ්වාස කරනවා.

* කේන්දරයට අනුව ඔබේ ඉදිරිය කොහොමද?

අනේ එහෙම නම් බලලා නැහැ. සංජයගෙයි මගෙයි පොරොන්දම් විතරයි ගැළපුවේ.

* නව පරපුරේ නිළියන්ගේ ප්‍රේම සබඳතා ඉක්මනින් බිඳී යන්නේ ඇයි?

මං හිතන්නේ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නැතිකම.

* ඒත් එකම ක්ෂේත්‍රයේ ඉඳලත් චතුරිකා - රොෂාන්ගෙ ප්‍රේමයට කණකොකා හැඬුවනෙ?

මං අනිත් අය ගැන කියන්න දන්නේ නැහැ. ඒක නිසා මං ඔය ප්‍රශ්නයට උත්තරදීමෙන් වැළකී ඉන්නවා. හැබැයි රංගන ශිල්පිනියක් වුණාම රංගනයටම විතරක් මුල්තැන දෙන්න හොඳ නැහැ. තමන්ගේ ආදරවන්තයා ගැන නිතර සොයා බලන්න ඕනේ. කසාදයෙන් පසුව මම නම් මුල්තැන දෙන්නේ මගේ පුද්ගලික ජීවිතයට. ඒක අනිවාර්යයි.