වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




සදාම් හුසේන් අල්ලන්න මාත් ගියා

සදාම් හුසේන් අල්ලන්න මාත් ගියා

‘පිපෙන මල්’ නාට්‍යයේ විකී

හරිඳු වරුණ පෙරේරා කලා ක්ෂේත්‍රයට ආගන්තුකයෙක් නොවෙයි. මෙරට ප්‍රසිද්ධ විකට නළුවකු වූ එල්. එම්. පෙරේරාගේ පුත්‍රයකු වන ඔහු කලා නිර්මාණ රැසකින් සිය රංගන හැකියාව දැක්වූවෙක්. නමුත් අද වන විට ඔහු ඉන් එහා ගිය තවත් සුවිශේෂ වූ සිදුවීමක් සමඟ ද සම්බන්ධ වෙන්න අවස්ථාව උදාකර ගත්තෙක්. හැබැයි එය රංගන ක්ෂේත්‍රය සමඟ සබැෙඳන කටයුත්තක් නම් නොවෙයි. නළුවකු වුණත් හරිඳු පසුගිය කාලයම ගත කළේ ඉරාකයේ. ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කරන විට හරිඳු ඇමරිකානු යුද හමුදාව සමඟ කටයුතු කළ අයෙක්. අපි ඒ ගැන හරිඳුගෙන්ම අහලා දැනගනිමු.

* හරිඳු ඔබ කාලයක් රංගන ක්ෂේත්‍රය සමඟ සිටියත් ඊට වැඩි කාලයක් ඔබ දකින්න ලැබුණේ නැහැ?

මම රංගන ක්ෂේත්‍රයට පැමිණියේ 92 වසරේදී. චිත්‍රපට වේදිකා නාට්‍ය වගේම ටෙලි නාට්‍යවලටත් දායකත්වය ලබා දුන්නා. ඇත්තටම මට ගොඩක් ලැබුණේ ඉතාම කුඩා චරිත. මට ක්ෂේත්‍රය ගැන කලකිරීමකුත් ඇති වුණා. ඊට පසුව මම විදෙස්ගතව අබුඩාබි හි තරු පන්තියේ හෝටලයක කායවර්ධන උපදේශකවරයකු ලෙස සේවයට එක් වුණා. එහි සේවය කරන ගමන් රූපලාවණ්‍ය ගැනත් ඉගෙන ගත්තා. ඇත්තටම මේ වගේ ක්ෂේත්‍රයකට යොමු වෙන එක හොඳයි කියලා හිතුණා.

රූපලාවණ්‍ය කියන්නේ හොඳ ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක්. ඒ නිසයි මම ඒ සඳහා කැපවෙලා කටයුතු කළේ. ඊට පසුව මම ඩුබායි, කුවේට්, සවුදි අරාබිය වැනි රටවල් කිහිපයකම තරු හෝටල්වල රැකියාවන්හි නිරත වුණා. ඩුබායි හි ජීවත්වුණ කාලයේ කරාටේ ලෝක ශූරතා තරගාවලියට පවා ඉදිරිපත් වුණත් ඩුබායිවලට ක්‍රීඩා කළ නිසා අවසාන වටයට යන්න මෙරට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මට අනුග්‍රහය ලබාදීම ප්‍රතික්ෂේප කළා.

* එතකොට ඔබ ඉරාකයේදී ඇමරිකානු යුද හමුදාව සමඟ සම්බන්ධ වෙන්නේ?

ඇමරිකානු යුද හමුදාවට රූපලාවණ්‍ය ශිල්පීන් බඳවා ගන්නා බවට සඳහන් වූ දැන්වීමක් මම අන්තර්ජාලයෙන් දුටුවා. මම ඒ සඳහා අයදුම් කළා. ඒ අනුව තමයි මට ඉරාකයේ ඇමරිකානු යුද හමුදාවේ ප්‍රධාන රූපලාවණ්‍ය ශිල්පියා ලෙස පත්වීම ලැබුණේ.

* ඉරාකය ආක්‍රමණයේදී ඇමරිකානු හමුදාව විසින් සදාම් හුසේන් අල්ලා ගන්නා අවස්ථාව වන විට ඔබත් එහි සාමාජිකයෙක්?

සදාම් හුසෙන් අල්ලා ගත් සේනාංකය සමඟ මමත් ඒ කණ්ඩායමේ සිටියා. ඒ අවස්ථාව වන විට ඔහුට අයත් මාලිගා අටසියයක් විතර ඇමරිකානු හමුදාව විසින් අත්පත් කරගෙන සිටියා. අවසන් වරට සදාම් හුසේන් ඉතාම කුඩා වළක තමයි සැඟවිලා හිටියේ. අවසාන අවස්ථාව වන විට නම් ඔහු අපට ප්‍රහාර එල්ල කළේ නැහැ. ඔහුගේ පුතා අත්අඩංගුවට ගන්නා අස්ථාවේදී නම් පැය හත අටක් විතර එක දිගට ප්‍රහාර එල්ල කළා.

* ඇමරිකානු යුද හමුදාව සමඟ කටයුතු කරන විටදී ලත් අත්දැකීම් ගැනත් සඳහන් කරමු?

කන්ටේනර් එකක තමයි රූපලාවණ්‍යාගාරය හදල තිබුණේ. හෙලිකොප්ටරයකින් එය එහා මෙහා ගෙන යා හැකියි. ලක්ෂ පහක් පමණ වූ සෙබළ සෙබළියන්ට සේවය ලබා දිය යුතුව තිබුණා. ඉරාකයේ මෙවැනි සැලෝන් 750 ක් විතර තිබුණා. ඇමරිකානු යුද හමුදා ප්‍රධානියා වූ ජෙනරල් ෆ්‍රෑන්ක්ගේ පවා මම කොණ්ඩය කැපුවා. දවස් තුනෙන් තුනට හැම සෙබළෙකුගේම කොණ්ඩය කැපිය යුතු වුණා වගේම අලුතෙන් එන අයට උගන්වන්නත් සිදු වුණා. ඒ වගේම අපි නියමාකාරයෙන් සේවය කරනවා ද කියලත් නිතරම සොයා බැලුවා.

මුල් කාලයේදී නම් සතියකට වතුර බෝතල් දෙකයි ලැබුණේ. ශක්තිජනක බිස්කට් එකක් කාලා දවස් තුනක් විතර ඉන්න සිදු වුණා. හැබැයි තව දෙයක් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. ඇමරිකානු යුද හමුදා සෙබළු ලාංකික හමුදා සෙබළු තරම් නිර්භීත නම් නැති බව. මෙරට හමුදා සෙබළු ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දෙමින් තුවාල ලත් සෙබළු පවා බේරා ගෙන සටන් කළත්, ඇමරිකානු සෙබළු නම් ප්‍රහාර හමුවේ තමා අතැති ආයුධ පවා දාලා දුවනවා තමයි දැක්කේ.

* සියල්ල අවසානයේදී යළිත් ඔබ ලංකාවට පැමිණෙන්නේ?

වසර 17 කට පසුව තමයි මම ලංකාවට ආවේ. දැන් යළිත් රංගන කටයුතුවල යෙදෙනවා. අමා, බොරලු පාර, වගේම මේ දිනවල පිපෙන මල් ටෙලි නාට්‍යයේ දායක වෙනවා. ඊට අමතරව තවත් ටෙලි නාට්‍ය කිහිපයක රූගත කිරීම් සඳහා රංගනයෙන් දායක වෙනවා. තව ජාඇල නිවාසිපුර මගේ රූපලාවණ්‍යාගාරයේ කටයුතුත් කරගෙන යනවා.

* පවුලේ විස්තරත් කියමු?

මගේ බිරිඳ සමීරා. ඇයත් රූපලාවණ්‍ය ශිල්පනියක්. අපිට පුංචි පුතෙක් ඉන්නවා.

* ඉදිරිය සැලසුම් කරලා තියෙන්නේ?

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වගේම රංගන ක්ෂේත්‍රයේත් නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.