වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




කලා ලෝකයේ සොඳුරු මිනිසෙකුගේ සමු ගැන්ම

කලා ලෝකයේ සොඳුරු මිනිසෙකුගේ සමු ගැන්ම

ආනන්ද බස්නායක මිය ගියේය. පුවත මට පැවසුවේ ටොරානා වීඩියෝ මූවිස් අධිපති කුමාර කොතලාවලය. ආනන්ද අය්යා යනුවෙන් කලා ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය උපාලි රංජිත් බස්නායක කලක් අතිශය ජනප්‍රිය වෙළඳ ව්‍යාපාරයක්ව තිබුණ කොල්ලුපිටියේ ඩ්‍රෙස්සෙන්ස් ආයතනයේ හිමිකරු විය. වසර ගණනාවකට පෙර නාට්‍ය ප්‍රෙව්ශ පත්‍ර ආදිය අලෙවිය සඳහා ද අතිශය ජනප්‍රිය වූ ඩ්‍රෙස්සෙන්ස් ආයතනය තවත් අතකින් පතල ව තිබුණේ කලාකරුවන් නිතර ආගිය තැනක් හැටියටය.

ආනන්ද නොසිටින්නට මෙරට සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපට දෙකක් දැක ගන්නට නොලැබෙන්නට ඉඩ තිබිණ බැවිනි.ඒ බඹරු ඇවිත් සහ පාර දිගේ යන චිත්‍රපට යුගලයයි.කොළඹ ආනන්දයේ ඉගෙනුම ලබන සමයේ ආනන්ද සිනමා ලෝලියක් නොවුවත් ඔහුගේ බාල සොහොයුරා සිනමා සහ ගුවන් විදුලි නළුවකු වූයේය. හැටේ දශකයේ ජනප්‍රිය ළමා නළුවකු ව සිට අකල් මරණයකට ගොදුරු වූ ශ්‍රීනාත් බස්නායක ආනන්ද අය්යාගේ බාල සොහෙයුරා විය.එහෙත් ආනන්ද අය්යා සිනමාවට එක් වනුයේ බඹරු ඇවිත් සමගය.කලක් සළුසල මහනුවර කාර්යාලයේ සේවයේ නියුතුව සිට එයින් ඉවත්ව තමන්ගේම ව්‍යාපාරයට අත ගසා සිටි ආනන්ද සිය මස්සිනා වූ තිලක් ගොඩමාන්න චිත්‍රපට නිෂ්පාදනයෙහිලා පොළඹවා ගැන්මෙහි සමත් ව සිටි හෙයිනි.එයින් නොනැවතුණු ඔහු සිය මාමණ්ඩිය ඇල්බට් ගොඩමාන්න පාර දිගේ නිෂ්පාදනයට ද යොමු කළේය.

ධර්මසේන පතිරාජයන්ගේ මේ මාහැඟි චිත්‍රපට යුගලයන් පසුපස සිටි අදිසි හස්තය ආනන්ද අය්යා විය.බඹරු ඇවිත් චිත්‍රපටයට ඇඳුම් නිර්මාණයෙන් ද දායක වූ ඔහු අනතුරුව පාර දිගේ චිත්‍රපටයේ සීසර් කෙනෙකුගේ චරිතය ද නිරුපණය කළේය.එයින් පසු තිර ගත කළ සිංහල චිත්‍රපට දෙසියකට ආසන්න සංඛ්‍යාවක ආනන්ද අය්යා ඇඳුම් නිර්මාණයට දායක වූයේය.එමෙන්ම නොම්මර දාහත ඇතුළු චිත්‍රපට රැසක ම ඔහු සුළු චරිත නිරූපනය කළේය. ඒ නළුවකු වීමේ අභිලාෂයෙන් නොව හිතවත්කමේ ප්‍රතිඵලයක් හැටියටය.එපමනක් නොව කලාකරුවන්ගේ හිතවත් කම නිසාම ආනන්ද අය්යා කිසි විටෙක කාටවත් බැහැයි කියන්නට ගියේ ද නැත.

 කලක් ස ප්‍රසංගයේ ඇදුම් නිර්මාණය වූයේ ද ආනන්ද අය්යා අතිනි. එයින් නොනැවතී ස ප්‍රසංගය සමග රට වටා ගිය ආනන්ද අය්යාට ඔහුගේ නැන්දනිය ස පිපාසාවයැයි නමක් ද පට බැන්දේය. කෙසේ වෙතත් ආනන්ද අය්යාගේ යාළු මිතුරු කම් නිසාම ඩ්‍රෙස්සෙන්ස් සාප්පුව පැත්තට ගිය විට බොහෝ තොරතුරු සොයැ ගන්නට ද එකල අපට හැකි විය.

එපමනක් නොව ඕනෑම කෙනෙකු වෙනුවෙන් උපකාර කළ යුතු තැන එය මග අරින්නට ඔහු තැත් නොකළේය.ඒ සඳහා තමා ගන්නා අවදානම ඔහු නොසැළකුවේය.පසුගිය කාලයේ ආනන්ද අය්යා රෝගාතුර වූයේය.එහි දි කිහිප වරකට වඩා ඔහු දැක ගන්නට යන්නට මට නොහැකි විය.එබැවින් මේ ගුණ යහපත් මිනිසා වෙනුවෙන් අප අතින් පවා යුතුකම් ඉෂ්ට නොවීය යන වරදකාරි හැඟිම මා තුළ ද ඇත්තේය.හෘද සාක්ෂියෙන් ගැලවීමට අප දෙන පිළිතුර නම් අපේ කාර්ය බහුලත්වයයි.එහෙත් පශ්චත්තාප වීම වළක්වා ගත නොහැක්කේය.එයින් පසුව වුව ද තවත් හිතවතෙකුට වුව ඒ වරද අප අතින් සිදු වනු ඇත.එදාට ද අපේ පිළිතුර එයම වන්නේය.එහෙත් එය සෙස්සන්ට මෙන් නොව ආනන්ද අය්යා වෙනුවෙන් වළංගු කළ නොහැක්කේ ඔහු එපමණ දයාබර මිනිසෙකු වූ බැවිනි.

ආනන්ද බස්නායක නම් සිනමා ලෝකයේ බොහෝ දෙනාගේ ආදරය දිනූ සොඳුරු මිනිසාට නිවන් සැප ලැබේවායැයි පතන්නට එය කිසිසේත් බාධාවක් නොවේ.