වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




මේ අවුරුද්දේ මගේ විවාහය සිදු වේවි

මේ අවුරුද්දේ මගේ විවාහය සිදු වේවි

රන්මිහිතැන්නේ පුංචි සුන්දර සුවබර වැව්තාවුල්ලේ ඉඳගෙන මං ගියේ අතීත මතක අතරට. විශ්ව මට හමුවුණු පළමු දවස තවමත් මතකයි. බතික් කමිසයකින් සැරසිලා කොණ්ඩය චුට්ටක් වවං හිටිය විශ්ව කාලයාගේ ඇවෑමෙන් ජවසම්පන්න කඩවසම් මෙන්ම අර්ථපූර්ණ තරුණයකු වුණේ තමාගේම මඟක ගමන අරඹමින්.

මීට හය වසරක අතීත මතකය හිතේ තියාගෙන මං ඉන්නේ ඔහු එනකං. මේ වැව්තාවුල්ලට වැව් දියවර හඳ එළිියෙන් පෙනෙන සුන්දර හැන්දෑවක්. ඔහු පැමිණියේ සඳ වියළ අතරින්.

විශ්ව . . . එදා හවස නොකියම ආවේ ඔයා බිසී වෙලා හිටිය නිසා.

මං පෞද්ගලික කතාබහ ඇරැඹුවේ විශ්වගේ විසිහය වැනි උපන්දින සැමරුම් දිනය මතකයට නංවමින්. බොහෝ දෙනා සාද තෙපුල් මැද උපන් දිනය සමරද්දී විශ්වගේ විසිහය වැනි උපන් දිනය සැමරුණේ හරි අපූරු සිද්ධි කිහිපයක් මුල් කරගෙන. විශ්වගේ තාත්තා, හැමෝම දන්න පද්මසිරි කොඩිකාර තමන්ගේ පුතාගේ උපන් දිනේට ආදර්ශවත් ක්‍රියාවක යෙදුණා.

ඔහු මේ උපන් දිනය දා හරි අපූරු සද්කාර්යයක් සැලසුම් කළා. තෙල්දෙණියට නුදුරු ගොඩමුන්නේ තමාට අයත් ඉඩමකින් අක්කර දෙකක් විහාරස්ථානයකට පූජා කළා. ඒ වගේම තවත් අන්ත අසරණ පවුල් හතරකට පුතාගේ උපන් දිනය සමරමින් ඉඩම් ප්‍රදානයක් ද සිද්ධ කළා. මේ මොහොතේ ඒ අහිංසක පවුල්වල ඉටු වෙච්ච බලාපොරොත්තු නිසා ගලා ගිය වදන් විශ්වට ආශිර්වාදයක් වෙන්නට ඇති.

මෙහෙම දෙයක් කරන්න තාත්තට හිතුණේ මොකද?

මං කතාව පටන් ගත්තා. ඇත්තටම මේක සංවාදයකට වඩා සුන්දර මිත්‍රත්වයේ කතාවක්.

පුංචි කාලේ ඉඳලම මං දනට පිනට හුඟාක් ළැදි චරිතයක්. ඒ කාලේ උපන් දිනවලට මං කළේ සල්ලි එකතු කරලා හිඟන්නන්ට බත් දෙන එක. ඒක මගේ හිතට හරියටම දැනෙන දෙයක්. මේ කටයුතු තාත්තා හොඳින්ම දන්නවා. ඒ කාලේ ඉඳලම උපන් දින සාද පවත්වනවාට වඩා මං කැමැත්තෙන් හිටියේ දනට පිනට ඒ දවස යොදවන්න. ඉතිං මගේ විසි හය වැනි උපන් දිනය දවසේ තාත්තට හිතෙන්න ඇති මේ වගේ කටයුත්තක් සංවිධානය කරන්න.

තාත්තා මේ කටයුත්ත සංවිධානය කරලා ඇහුවා මේ ඉඩම අසරණ පිරිසකට සහ පන්සලට දීමට තීරණය කළා කියලා. ඉතිං මං ඒකට බොහොම සතුටින් එකඟ වුණා. ඇත්තටම මට දැනෙන්නේ කියලා නිමා කරන්න බැරි සතුටක්.

විශ්ව ඇතැමෙක් කිව්වේ මේක හොඳ පබ්ලිසිටි කැම්පේන් එකක් කියලයි?

මේ වගේ කතා මීට පෙර මං ඕනෑ තරම් අහලා තියෙනවා. ඒත් තාත්තටවත් මටවත් පබ්ලිසිටි අවශ්‍ය නැහැ. පබ්ලිසිටි අවශ්‍ය හැම වෙලාවෙම ඒක අපට ලැබිලා තිබෙනවා. ඒ වගේම අපි දෙන්නට පෞද්ගලික පබ්ලිසිටි අවශ්‍ය නම් කරන්න ඕනෑ තරම් වැඩ තියෙනවා.

නමුත් මේ වගේ ආදර්ශවත් ක්‍රියාවක් ජනතාව අතරට යා යුතුය කියලා මං හිතනවා. අනුන්ගේ දේවල් තමන්ගේ අනසකට යටත් කරගෙන තමන්ගේ ගොඩ වඩා ගන්න යුගයක් මේක. ඒ වගේ කාලෙක දරුවකුගේ උපන් දිනේට තාත්තා ඉඩමක් දන් දෙනව කියන්නේ පූර්වාදර්ශයක්. උදාහරණයක් විදියට පුංචි දරුවන්ගේ උපන් දින සාද වෙනුවට ළමා නිවාසයකට දානයක් දීපු පවුලක් ගැන පත්තරයක විස්තර දැකලා තවත් බොහෝ දෙනෙක් ඒ කටයුත්තට පෙළඹෙන්න පුළුවන්. ඒ පෙළඹවීම සමාජයේ යහපැවැත්මට පූර්වාදර්ශයක්. නැතුව ඉඩම පූජා කරලා අපි දෙන්නට පබ්ලිසිටයක් ගන්න උවමනා නැහැ. ඒත් කෙනෙකුට අපේ ක්‍රියාව පූර්වාදර්ශයක් වුණොත් ඒක වටිනවා.

එදා මං දුටුව කෙනෙක් ඔබේ ළඟට වෙලා සුබ පතනවා. අපේ මිත්‍රත්වයත් එක්ක ඒ කවුද කියලා හංගන්න බැරි වේවි?

ඇත්ත. ඒ මගේ අනාගත සහකාරිය. ඇය ඉතාමත් හොඳීන් මාව තේරුම් ගත්තා. ඒ නිසා ඇය මගේ සහකාරිය ලෙස තෝරා ගත්තා. අනාගතයේ දිනෙක ඒ කටයුත්ත සිදුවේවි.

ඒ කියන්නේ මේ වසරේ?

ඔව්. මේ වසරේ බොහෝ විට මගේ විවාහ මංගල්‍යය සිද්ධ වේවි.

විශ්වගේ උපන්දිනය දා ඉඩම් පරිත්‍යාගයට පැමිණි නිළි රැජින මාලිනීය ප්‍රමුඛ ආරාධිතයන්

 

විශ්ව ජීවිතේ තේරුම් අරන් තියෙන්නේ මොන වගේද?

අපිට අයිති කිසිම දෙයක් අපි කවදාවත් අරන් යන්නේ නැහැ. ඒක තමයි ලෝක ධර්මතාවය. මේ ධර්මතාවයට කාටවත් පිටුපාන්න බැහැ. ලෝකයේ ප්‍රබල කෝටිපතියන්, ධනපතියන් මිය යද්දී කිසිම දෙයක් අරන් ගිය වගට අහන්න ලැබිලා තියෙනවාද? ඉතිං ඒ ධර්මතාව පොදුයි. ඒ නිසා ජීවත්වෙන කාලේ හොඳින් ඉන්න ඕනේ කියලා මං තේරුම් අරන් තියෙනවා.

විශ්ව හොඳ ධර්මානුකූල කෙනෙක්ද?

ඔව්. මං ඇතැම් දිනවලට තවමත් මගේ අතින් කිරි ආහාර හදාගෙන දළදා මාලිගාවට යනවා. වඳිනවා. භාවනා කරනවා. හැකි හැම වෙලාවෙම ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න මං බැඳීලා ඉන්නවා.

විශ්වගේ පෙම්වතිය මොන වගේ කෙනෙක්ද?

ඇය මාව හොඳීන්ම තේරුම් ගත්ත කෙනෙක්. ඉස්සෙල්ලම අපි හඳුනා ගත්තා. ඉන් පස්සේ දැඩි මිත්‍රත්වයක් ගොඩ නැගුණා. ඒ මිත්‍රත්වය දවසින් දවස වැඩිල අපි ප්‍රේමවන්තයන් වුණා. එයා මගේ ලයිෆ් ස්ටයිල් එක දන්නවා. එයත් දනට පිනට, චාම් බව සරල බවට කැමැති චරිතයක්. ඒ හින්දම අප හරිම කිට්ටුයි.

ඉතිං මේ සම්බන්දෙට දෙමාපියන්ගේ ආශිර්වාදයත් ලැබුණා. මං හිතන්නේ මට ගැළපෙනම කෙනා ලැබුණා.

විශ්ව රඟපාන චරිතවලට වඩා ඔබගේ හිත සම්පූර්ණයෙන්ම වෙනස්?

ඔව්. නමුත් මං සාමාන්‍ය ජීවිතේ අතිශය සොඳුරු මිනිහෙක්.

නිර්සත්වයෝ නිසල් ඔබ වෙනස් කළ චරිතයක්?

ඒ චරිතය හරහා මං වෙනස්ම තැනකට යොමු වුණා. වෙනදා රඟපෑ චරිතවලට වඩා මේ චරිතය තුළ වෙනම හැඩතලයක් ගැබ් වෙලා තිබුණා.

විවාහයෙන් පස්සේ රඟපෑම සීමා වෙයිද?

නැහැ. එයා මාව හඳුනා ගත්තේ නළුවෙක් වුණාට පස්සේ. ඒ ජීවිතේ තියෙන කාර්යබහුලත්වය සුන්දරත්වය වගේම වගකීමත් එයා දන්නවා. ඒ නිසා විවාහයෙන් පසුව එයාගේ උදව් මට ලැබෙනවා නියතයි.

ඉදිරියේ මොනවද නිර්මාණ?

මහේෂ් රත්සර මද්දුම ආරච්චි රචනා කරන දුවන බාබර් සඳහා ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම සඳ ඔබ වගේ වැඩ කටයුතුත් භාරගෙන තිබෙනවා.

ආයෙමත් මඟ වැරදුණු කිරළකුගේ හඬ. රන්මිහිතැන්න රිදී හඳ වතුරෙන් නැහැවිලා. ඇත්තටම මේක සුන්දර හැන්දෑවක්. විශ්වගේ ජීවිතේ වැදගත්ම රහසක් එළි කළ සුන්දර දවසක්.