වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




මාල දිවයිනේ සිංහල පත්තර

මාල දිවයිනේ සිංහල පත්තර

ලාල් හවින්ද්‍රනාත් කියන්නේ අපේ රටේ සිටින දක්ෂ කලා අධ්‍යක්ෂවරයෙක්. වලා පටල චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහු සරසවිය සම්මාන පවා දිනා ගත්තා.

පසුගිය දවසක ඔහුට ජාත්‍යන්තර චිත්‍රපටයක් වෙනුවෙන් මාලදිවයිනට යන්න සිදු වුණා. මාලදිවයින කියන්නේ උම්බලකඩවලට ප්‍රසිද්ධ රටක්. ඉතිං ලාල්ගේ ආදරණීය බිරීඳ ඔහුට කිව්වේ එනකොට හොද උම්බලකඩ ටිකක් අරගෙන එන්න කියලා. ඒ විතරක් නෙවෙයි අවශ්‍ය තැන්වල ලිපිනයන් පවා ඇය අන්තර්ජාලයෙන් හොයලා දුන්නා.

ලාල් කියන්නේ ඉතිං වැඩක් කළොත් ඒක ඉතාම උනන්දුවෙන් කරන කෙනෙක්නේ. ඔහු වැඩේට කොච්චර උනන්දු වුණාද කියනවා නම් ගෙදරට උම්බලකඩ ගේන්න ඕනෑ කියන එක අමතකම වෙලා ගියා. කොහොම හරි කොළඹට ආවාට පස්සේ තමයි ලාල්ට ඒක මතකයට නැගුණේ. එහෙම කියලා ඔහු නිකං හිටියේ නැහැ. ගෙදරට උම්බලකඩ ටිකකුත් අරගෙන තමයි ගියේ.

දවස් දෙකකට විතර පස්සේ බිරිඳ ලාල්ගෙන් ඇහුවලු මාලදිවයිනෙත් සිංහල පත්තර තියෙනවාද කියලා. හැබැයි ඉතිං මේ අවස්ථාවට ඒක මෙහෙම වුණාට කමක් නැහැ. චිත්‍රපටයකදි මෙහෙම දෙයක් වුණොත් ඒක කොයි තරම් විශාල වරදක් වේවිද?