වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ලතාගේ ගී හඬ යළිත්

ලතාගේ ගී හඬ යළිත්

ලතා මංගේෂ්කාර්ගේ ගී හඬ නොම පැරැණිය. එනිසාම 2013 නොවැම්බර් මාසයේ තිරගතවීමට නියමිත රාම්ලීලා සිනමාපටයෙත් ඇයගේ ගී හඬ ඇතුළත්ය. සැප්තැම්බර් 28 වැනි දින භාරත ගීත කෝකිලාව සැපිරුවේ අසූ හතර වැනි වියයි. දශක හයහමාරක සිට සිය රිදී හඬින් තිරය ගීතවත් කළ ඇය තිරයට සිය හඬ දායාද නොකළ වසරක් නොමැති තරම්ය.

මවක සෑම දරුවකුටම එක ලෙස සෙනෙහස දක්වනවා සේ ලතා ද සිය ගී මුතු වැලට එකසේ ඇලුම් කරන්නීය. සෑම ගීතයක් සමඟම ඇයට ඇත්තේ ආදරබර මතකයකි. එහෙත් ඒ අතරින් ඇය වඩාත් ආදරය කරන්නේ, තූ ජහන් ජහන් චලේ ගා (මේරා සාය 1966) ගීතයටයි. එයට ඇය හදවතින්ම ආදරය කරන්නීය.

රිතික්-සුසේන් දික්කසාදය බොරුවක්

දහතුන අපලයි කියා මේ සොඳුරු යුවළගේ දහතුන් වැනි විවාහ සංවත්සරයේදී කෙසේ නම් සිතන්නද? 2013 දෙසැම්බර් 20 වැනි දින රිතික් රොෂාන් සහ සුසේන් සම්පූර්ණ කරන්නේ යුග දිවියේ දහතුන් වැනි වසරයි. එහෙත් ඒ ආසන්නව පැතිරී ගිය කතාව නම් රිතික් - සුසේන් සම්බන්ධව නම් ඇසිය යුත්තක් නොවෙයි.

‘දෙන්න දික්කසාද වෙනවලු’ මේ පුවත ලැව් ගින්නක් සේ පැතිර ගියේ සියල්ලන්ම පුදුමයට පත් කරමිනි. ළමා වියේ සිට බැඳී හාදකම මල් ඵල දරා පුතුන් දෙදෙනකුට මවුපියන් වී සිටින දෙදෙනා බොලිවුඩයේ සොඳුරු කැදැල්ලකට හිමිකම් කී අතළොස්සෙන් එක් යුවළකි. තිස් නව හැවිරිදි රිතික් සහ සුසේන් වෙන්වීමට යන පුවත අදහාගත නොහැකි පුවතක් වූයේ එනිසාය.

රිතික් මෙන්ම රිතික්ගේ නෑනා (සුසේන්ගේ සොයුරිය) ෆාරා ඛාන් ද මේ දූෂමාන ආරංචිය තරයේම ප්‍රතික්ෂේප කරති.

මේ ගින්න දුමක් නැතිව නැඟි ගින්නක් නොවෙයි. රිතික්, සුසේන් යුවළගේ නිවෙසත්, සුසේන්ගේ මහ ගෙදරත් ජුහුවල එක ළඟ ඇත. කට කතාව ඇරැඹුණේ සුසේන් අසනීප පියාගේ සාත්තුවට එහි නැවතීම නිසයි. සුසේන්ගේ පියා සංජේ ඛාන් ද ඒක් පූල් දෝ මාලි, දස් ලක්, හකීකත් වැනි සිනමාපට ගණනකම රඟපෑ ජනප්‍රිය නළුවෙකි.

හැත්තෑ දෙහැවිරිදි ඔහු දැන් ලෙඩ ගාණේ පසුවෙන බවට රාවයක් පවතී. මේ දික්කසාද වීමේ ආරංචියත් සමඟ සංජේ ඛාන්ගේ රෝගී තත්ත්වය ද ලොවට හෙළි විය. එහෙත් සංජේ ඛාන් මෙන්ම ඔහුගේ දූ දරුවන් ද එකහෙළාම රෝගී තත්ත්වය ප්‍රතික්ෂේප කරති.

එකිනෙකට පරස්පර පුවත් නිසා රිතික් ලෝලීහු සිටින්නේ දොලොවක් අතරය. එහෙත් ඔවුහු මේ දෙදෙනාගෙන් නම් දික්කසාද විමේ ආරංචියක් සිහිනයකින්වත් අපේක්ෂා නොකරති.

සියලු ආරංචි පැතිරෙන්නේ රිතික් රඟන ක්‍රිෂ් 3 විද්‍යා ප්‍රබන්ධ සිනමාපටය තිරගතවීමට ළංව තිබියදීය. නොවැම්බර් 4 වැනිදා ක්‍රිෂ් 3, දීවාලි තිළිණයක් ලෙසින් බොලිවුඩ් රසිකයන්ට දායාද කෙරෙනු ඇත.

රිතික් සමග මෙහි රඟන සහෝදර නළු විවේක් ඔබරෝයි මුවපුරා ඔහුගේ රංගනය අගය කරන්නේය. රිතික් මෙහි ත්‍රිත්ව චරිත නිරූපණයක යෙදෙන අතර, මේ ඔහුගේ විශිෂ්ටම රංගනය බව විවේක් පවසන්නේය.

‘රිතික් ඔහු රඟන රෝහිත්ගේ චරිතයට හඬ කවද්දී මගේ දෑසට කඳුළු ඉනුවා. වචන ගොත ගැසුණා. මොහොතකට ශබ්දාගාරයේ සියල්ලන්ම හඬ කැවීම් නතර කළා’ විවේක් පැවසුවේ සංවේදීවය.

බොලිවුඩයේ සුපිරි නර්තන තරුවක වන රිතිත් ක්‍රීෂ් 3 හි නර්තනයෙහි යෙදෙන්නේ සත් වසරකට පසුවයි. ඔහුගේ පියා රාකේෂ් රොෂාන් කියා සිටින්නේ පුතු කොතෙක් නර්තනයට දක්ෂ වුවත්, ඕනෑම නර්තනයකට මැනවින්ම පුහුණුවන බවයි. නවතම සිනමාපටයේ රගුපති රාගව් ගීතමය නර්තනයට ඔහු දින 8 – 10 ක්ම පුහුණු වී තිබේ. අතිශය ජනප්‍රිය රගුපති රාගව් ගීතය ක්‍රිෂ් 3 චිත්‍රපටයේ රී මික්ස් කොට ඇත.

සිනමාපටයේ ප්‍රධාන තාරකාව වන ප්‍රියංකා චොප්රා කියන්නේ රිතික්ට සම කළ හැකි තවත් නර්තන තරුවක් ක්ෂේත්‍රයේ නැති බවයි. ඔහුගේ නර්තනය සුන්දර සිහිනයක් බව ප්‍රියංකා පවසන්නීය.

රිතික් සිංගප්පූරුවේදී ක්‍රිෂ් 3 ප්‍රවර්ධනය කිරීම ඇරැඹුවේය. සිංගප්පූරුව ඔහුගේ ප්‍රියතම රටකි.

ශ්‍රී දේවි මෙරිල් ස්ට්‍රිප් සමඟ

මිස් හවා හවායි සහ මාර්ගට් තැචර් එක්වීම උතුරත් දකුණත් යාවීම හා සමානය. එහෙත් එය සැබෑවන සත්‍යයකි.

බොලිවුඩයේ පළමු සුපිරි තාරකාව ශ්‍රී දේවි වරක් ජුරාසික් පාක්හි රඟපෑමට ලැබුණු ආරාධනය ප්‍රතික්ෂේප කළ ද මෙවර නම් ඔස්කාර් සම්මානලාභී මෙරිල් ස්ට්‍රීප් සමඟ හොලිවුඩ් රංගනයට ලැබුණු වරම ප්‍රතික්ෂේප නොකරන පාටය. ශ්‍රී සහ මෙරිල් එක්ව රඟන සිනමාපටය ‘කව්බෝයිස් ඇන්ඩ් ඉන්ඩියන්ස්’ය.

ලන්ච් බොක්ස් හැලේ

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපට අංශය සදහා තරග කිරීමට බොලිවුඩයේ ඇත්තේ මී පොරයකි. බොහෝ දෙනා ‘ද ලන්ච් බොක්ස්’ 2014 ඔස්කාර් යනු ඇතැයි කියා අපේක්ෂා කෙරුව ද සිදු වී ඇත්තේ වෙනකකි.

නිෂ්පාදක අනුරාග් කාශ්‍යප් සහ අධ්‍යක්ෂ කරන් ජොහාර් මහත් සිත්තැවුලට පත් කරමින් රිතේෂ් බාත්‍රාගේ ‘ලන්ච් බොක්ස්’ වෙනුවට ‘ද ගුඩ් රෝඩ්’ ඒ සඳහා නිර්දේශකර තිිබේ.

කුඩා දරුවකුගේ නැතිවීමක් හා හමුවීමක් ගැන කියවෙන මේ ගුජරාටි සිනමාපටය තේරුණේ ලන්ච් බොක්ස්, භාග් මිල්කා භාග්, ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්, විශ්වරූපම් වැනි සිනමාපට විසි දෙකක් අතරිනි. ‘ද ගුඩ් රෝඩ්’ ග්‍යයන් කෝරියාගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි.

දහ නව දෙනකුගෙන් යුතු ජූරිය පුරා පැය පහක සාකච්ඡාවකින් පසු ‘ද ගුඩ් රෝඩ්’ තෝරා ගෙන තිබේ.