වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

පවුල් අවුල් කරන ඔස්කාර්

හොඳම නිළිය ලෙසින් ඔස්කාර් සම්මානයක් ලැබීම පවුල් අවුල් කරන කරුණක් බව රහසක් නොවෙයි. සැන්ඩ්‍රා බුලොක්ට සැමියා ජෙසී ජේම්ස්ගෙන් දික්කසාද වීමට සිදු වුණේ ‘ද බ්ලයින්ඩ් සයිඩ්’ සඳහා හොඳම නිළිය වූ පසුවයි. ඔහුගේ චපල ආදරය මේ වෙන්වීමට මුල පිරීය.

2005 දී ජෙසී සමඟ විවාහ වූ ඇය 2010 දී ඔහුගෙන් දික්කසාද වූවාය. දික්කසාද වීමට පෙර සැන්ඩ්‍රා අප්‍රිකානු දරුවකු හදා වඩා ගැනීමට ගත්තාය. දැන් ඇය ලුවිස් බාඩෝ බුලොක් නම් ඒ දරුවාගේ එකම මවයි. එකම පියයි.

තවමත් සැන්ඩ්‍රාට ජෙසීගේ චපලකමේ වේදනාවෙන් අත් මිදෙන්නට නොහැකිය. හතළිස් නව හැවිරිදි ඇය හුදෙකලාකමට ඉඩ දී බලා සිටින්නේ එනිසායි. ළඟදී ඇය මාධ්‍යයට කියා සිටියේ තමන් අදටත් හදවතින් පීඩා විඳීන බවයි.

ග්‍රැවිටි සහ මිනියන්ස් සැන්ඩ්‍රාගේ රංගනයන් ඇතුළත් ඉදිරියේදී තිරගතවීමට නියමිත සිනමාපටය.

විරහ වේදනාවෙන් මිදී

විරහ වේදනාව ඕනෑම කෙනකුගේ කවි සිත අවිදි කරයි. රොබට් පැටින්සන්ටත් එය පොදුය. ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ චපල ආදරයෙන් පීඩාවට පත් වී සිටින ඔහු රංගනයටත් වඩා අවධානය යොමු කරන්නේ සංගීතයටයි. මේ දිනවල ඔහු මිතුරන් සමඟ විනෝද වෙමින් අතීතය අමතක කිරීමට උත්සාහ ගන්නේය.

ඔහු කොහොමටත් හොඳ ගිටාර් සහ පියානෝ වාදකයෙකි. තනු නිර්මාණය කරන්නෙකි. ද රෝවර් සහ මැප්ස් ටු ද ස්ටාර්ස් ඔහු රැඟූ ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමාපට දෙකයි.

ඩිකැප්‍රියෝ වුඩ්රෝ විල්සන් වෙයි

සැබෑවටම ජීවත් වූ චරිත තිරයේ ජීවත් කිරීම අලුත්ම කලාවකි. අලුතින්ම තිරයේ පණ ලබන චරිතය වුඩ්රෝ විල්සන් 28 වැනි අමෙරිකානු ජනපතිවරයාගේ චරිතයයි. ලෙනාඩෝ ඩිකැප්රියෝ වුඩ්රෝගේ චරිතයට පණ පෙවීමට තේරාගෙන සිටින තරුවයි.

අම්මාගේ ආදරේ

අත කැඩුණත් මේ හත් හැවිරිදි මෝස්තර නිරූපිකාවට මෝස්තරයක් නොකර සිටිය හැකි ද? ටොම් කෲස් සහ කෙටී හෝම්ස්ගේ සුරතල් දියණියට දඟකාරකම් කරන විට මෙවන් දඬුවමක් අතට ලැබේවි යැයි කියා නොසිතන්නට ඇත.

කෙසේ වුවත් පෙරළුන පිට හොඳ යැයි කියා සිතන පුංචි සූරි එය ද විලාසිතාවක් බවට පත් කරගෙන තිබෙන අන්දම බලන්න. කේට් මේ දිනවල බිඳුණු අතේ වේදනාව ඇයගේ සිතට නොදැනෙන්න ඇය හැකි තරම් සතුටින් තබන්නීය. කේට් මේ සියල්ලක්ම කරන්නේ තනි වූ මවක ලෙසිනි. 2012 දී ඇය හා ටොම් කෲස් දික්කසාද වූහ. ඩේස් ඇන්ඩ් නයිට්ස්, මේනියා ඩේස්, මිස් මෙඩෝස් සිනමාපටවලට ද ඇය රංගනයෙන් දායක වෙන අතරතුරේ සූරිගේ සියලු කටයතු නොපිරිහෙලා ඉටු කරන්නීය.

රක්ත වර්ණ භීතිකාව

තාරකාවකට වුවත් භීතිකාවෙන් ගැලවීමක් නැත. නටාලී පෝට්මන් සුරූපීී හොලිවුඩ් තාරකාව බිය වී සිටින්නේ වෙනත් තාරකාවන් ඉතා ඉහළින්ම යාමට කැමැති මාවතක යාමටයි. එනම් ඔස්කාර් වැනි මහා සම්මාන උළෙලවල්වලදී රතු පලස් මතින් යාමටයි.

ඇය ගැබිනි සමයේදී මේ බිය කෙතරම් දරුණු ලෙස පැවතුණා ද කිවහොත් ඇය ගමන් කර ඇත්තේ ‘අනේ මාව වැටෙන්න එපා’ යන වචනය යළි යළිත් කියමිනි.

පුදුමය නම් මේ සම්මානනීය නිළිය මනෝ විද්‍යා උපාධිධාරිණියක වීමයි. ඇය රැගූ තෝර් – ද ඩාක් වර්ල්ඩ් නොවැම්බර් 8 වැනි දින තිරගතවීමට නියමිතය.