වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




හකුරුත් පැණි රසයි සීනිත් පැණි රසයි

හකුරුත් පැණි රසයි සීනිත් පැණි රසයි

මවුබිමෙන් ඈත හිටිය ද අපට සමීප ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිවෙසට ගිය ගමන

කලාපුරට තවත් අලුත් දවසක් උදා වෙලා. මේ සුන්දරත්වයේ දවසත් දෝත දරාගෙන අද අපි කලාපුරට ගොඩ වදින්නට සූදානම්.

අද අප සොයා යන මේ ප්‍රවීණ කලා තරුව අපෙන් තරමක් දුරස්ව විදෙස් රටක ජීවත් වුවත් කලාපුරය සමඟ වූ ළබැඳියාව නම් එසේමයි. ඔහුගේ නිර්මාණත් අපට අතිශය සමීපයි. ඔහු ප්‍රවීණ සංගීතඥ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න. කලාපුර ආරම්භයේ පටන් එහි ජීවත් වූ එතුමා අද වන විට ජීවත් වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර.

තාක්ෂණය දියුණු මේ කාලයේ සිඩ්නි නුවරත් අපට දුරක් නොවන බව පසක් කරමින් ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ඔබ වෙනුවෙන් අප හමු වුණේ ස්කයිප් පණිවුඩ හුවමාරුව හරහායි.

දශක හයක් පුරාවට සරල හා ශාස්ත්‍රීය ගීයට, සිනමාවට වේදිකාවට ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගෙන් තිළිණ වූ මියුරු තනු නිමැයුම් අනභිභවනීයයි. 1947 වසරේදී ‘ජීවිතයේ ප්‍රීතිය’ චිත්‍රපටයෙන් පළමු සිනමා තනු නිර්මාණය කළ ප්‍රේමරත්නයන්ගේ මුල්ම සංගීත අධ්‍යක්ෂණය වුණේ 1957 වසරේ ‘එකමත් එක රටක’ චිත්‍රපටයෙන්. ගැහැනු ගැට, දස්කොන්, සිහින හොරා, හිතක පිපුණු මල්, වීදුරු ගෙවල්, රොමියෝ ජූලියට් කතාවක්, සිරිපාල හා රන්මැණිකා වැනි චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය කළ එතුමන් අවසන් වරට සංගීත අධ්‍යක්ෂණය කළේ උණ්ඩය චිත්‍රපටයේ. පෙර අපර දෙදිග සංගීතයෙන් දශක ගණනාවක් පුරාවට අපූර්වත්වයෙන් යුතු නිර්මාණ රැසක් සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ඔහු අද වන විට ගෙවන්නේ සිය ජීවිතයේ 82 වැනි වසරයි.

වයස් ගත වුවත් හෙළ සංගීත නිර්මාණකරණයේ මෙන්ම ඉගැන්වීමේ කටයුතුවල ද නිරත ජ්‍යෙෂ්ඨතම සංගීතඥයා වන්නේ ද ඔහුයි. කලා ක්ෂේත්‍රයට අනගි වූ සේවයක් ඉටු කළ මේ සංගීතඥයා ගැන කලාපුර ගොස් කතා නොකළහොත් එය විශාල අඩුවක්.

ඒ නිසාම කලාපුරයේ අද ගොඩ වන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ නිවෙසට. බොහෝ දුර සිටිය ද අපට අතිශය සමීප එතුමාණන් සමඟ අපි කතා කරමු.

උපන් රටෙන් බැහැරව ගෙවන ජීවිතේ ගැන මුලින්ම දැනගන්න කැමැතියි?

මම අග්‍රා පුතා සමඟයි මෙහි ජීවත් වෙන්නේ. ඔහුට සිඟිති දියණියක් සිටිනවා. ඇයත් සමඟයි දැන් කාලය ගත වෙන්නේ. හරිම සතුටින් ජීවත් වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ පදිංචියට ඇවිත් දැනට වසර පහක් විතර ගත වෙලා.

ළඟදී ලංකාවට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

මොකද නැත්තේ. ළඟදී එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම උපන් දේශය තරම් හොඳ තැනක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ.

කලාපුර ගැනත් සිහිපත් කළොත්?

කලාකරුවෝ අපි හැමෝම එක පවුලක් වගේ ජීවත්වුණ තැනක් තමයි කලාපුර කියන්නේ. අරිසෙන් අහුබුදු, කුලසිරි බුදවත්ත, සෝමදාස ඇල්විටිගල වැනි අපේ කලාකරුවන් සමඟ ගෙවූ අතීතය ගොඩක් සුන්දරයි. එක වගේම සහයෝගයෙන් එකම තැනක ජීවත්වෙන්න ලැබීම වාසනාවක්.

දැන් ඔබ කලා පුරයෙන් ඈත්වෙලා නේද?

ඔස්ට්‍රේලියාවේ ජීවත් වුණත් කලාපුර සමඟ වූ බැඳීම එහෙමමයි. කලාපුර කියන්නේ ජීවත් වෙන්න සුදුසු සුන්දර ස්ථානයක්. දැනට මගේ එක් දියණියක් එහි පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම මෙහි වෙසෙන දරුවන් වෙනුවෙන් සංගීතය ඉගැන්වීමේ කටයුතුවලත් නිරත වෙනවා.

ජීවිතයේ 82 වැනි වියට පා තැබූ ඔබේ සංගීත දිවියට වසර 60 ක් සපිරෙනවා. ඔබ දැන් සංගීතය උගන්වනවා විතරද? නිර්මාණකරණයේ නියැළෙන්නේ නැද්ද?

මම තාමත් සංගීත නිර්මාණකරණයේ නිරත වෙනවා. මගේ පුතා අග්‍රා මෙහි සංගීත ශබ්දාගාරයක් ආරම්භ කළා. එහි සංගීත පටිගත කිරීම් සිදු කරනවා. සිංහල, ඉංග්‍රීසි, හින්දි, දමිළ, බෙංගාලි වැනි විවිධ භාෂාවන්ගෙන් යුතු ගීත සඳහා තනු නිර්මාණ කරනවා.

වර්තමාන අලුත් පරපුර ශාස්ත්‍රීය සංගීතයට උනන්දුවක් දක්වන බව ඔබ දකිනවාද?

අද වන විට බොහෝ දෙනා සංගීතයට ලොකු උනන්දුවක් දක්වන බව පේනවා. නමුත් අලුත් පරපුරට එහි හරය තාම අහු වෙලා නැති බව තමයි මට පෙනෙන්නේ. හකුරුත් පැණි රසයි. සීනිත් පැණි රසයි. ඒ වගේම තමයි හැම දෙනාටම සංගීතය කරන්න අමාරුයි. ශිල්පය හරියට හැඳිනගෙන එය හැදෑරිය යුතු වෙනවා.

ඉදිරි සැලසුම් ගැනත් කෙටි සඳහනක් තියමු?

ලංකාවට ඇවිත් ඉදිරියේදී ප්‍රසංගයක් පවත්වන්නට බලාපොරොත්තු වෙනවා. උසස් නිර්මාණ සමඟින් ඒ ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේ පවත්වන්න මගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සමඟින් හෙළ සංගීත ලෝකය අමතන්න මම සූදානම් වෙනවා.

ඔහුගේ සුවිශේෂ නිර්මාණ රස විඳීන්නට ආසාවෙන් සිටින ඔබට මෙය අලුත් බලාපොරොත්තුවක්. අපෙන් දුරස්ව සිටියත් ඔහුගේ වෑයම අපේ සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමයි. එය ඔබට මට අප සැමට ආඩම්බරයක්. ඒ වෙනුවෙන් අපි ඔහුට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු. අද දවසේ කලාපුර සවාරියට තිත තබමින් ඔබට පොරොන්දු වෙන්නම් එළැඹෙන සතියේදී තවත් තරු නිවහනක විසිතුරු ගෙන එන්නට.