වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




හීන් බණ්ඩා දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නේ උඹලැ අයියලෑ ගෙදර හිටපු ගාමා

ශාන්ති දිසානායකගේ සම්මානනීය නවකතාව පාදක කර ගනිමින් සරත් ධර්මසිරි අතින් තිර රචනය කරන ලදුව ෆාහිම් මවුජිඩ් ගේ අර්ථපතිත්වයෙන් සුදත් රෝහණ අතින් ටෙලිවිෂන රූප කාව්‍යයක් වන ගිරිකුළ ඇසුරෙන් සරසවිය වෙත විශේෂයෙන් ලියැවෙන වෘතාන්තයකි.
 

හීන් බණ්ඩා දකින හැම වෙලාවෙම මට මතක් වෙන්නේ උඹලැ අයියලෑ ගෙදර හිටපු ගාමා

ඉතා ඉක්මනින් වස්තුහාමි ඇතුළු පිරිස අලුත් පරිසරයට හුරු වූහ.නැතහොත් එසේ හුරු වන්නට ඔවුනට සිදු විය.අලුතින් පදිංචි වන ගෙය ට සමීපව තවත් කෑල්ලක් ගොඩ නැගිය යුතු විය.දීග දෙන වයසේ කෙල්ලන් දෙදෙනාට සමග වැටී ඉන්නට විල්සන්ගේ ගෙයි කෑල්ල ඉඩ මදි ය.

‘කර දණ්ඩ ඉහ ගිය කොල්ලො දෙන්නනෙක් මට ඉන්නවා‘

වස්තුහාමි නිතර ආඩම්බරයෙන් පැවසුවේ කොල්ලන් ගැනය.ලැබුණු අක්කර තුනක ඉඩම හරියට මහන්සි වුවහොත් අක්කර පහක් කර ගැනීම අමාරු නොවේ.ගෙයි අංකය වූයේ හැට පහය.විල්සන්ගේ ඉඩමට පැමිණි පිරසට ගමේ අය හැට පහේ ගෙදරයැයි කියන්නට වැඩි දවසක් ගත්තේ නැත.ගමේ මෙන් නම්බු බලා නොසිට මහන්සියෙන් වැඩ කළ යුතු වග වස්තුහාමි දරුවනට නිතරම පැවසුවේය. නොරටදී නම්බු එපා යැයි පැරණි කියමනක් ඔහු නිතරම සිහිපත් කළේ එහෙයිනි.

දවසේ වැඩ හමාර කළ වස්තුහාමි ඩිංගිරි අම්මා සමග නාන්නට ගියේය. ඩිංගිරි අම්මා දියේ ගිලී එබෙනු වස්තුහාමි බලා උන්නේය.

‘කොයි තරං නැහුනත් එව්වායේ ගානක් නැතුව යනවා. දියේ එබුනහම.මෙව්වා වතුර නෙවේ. රත්තරං“

ඔහු වතුරට අත දමා ඉහළට විසි කළේය.

“සේනානායක උන්නැහැ බුදුන් දැක නිවන් දකිනවා මේ පිනට.“

වස්තුහාමි පැවසුවේ දියේ ගිලෙමිනි.යළි හිස ඔසවා බලන විට ඔහු දුටුවේ ඩිංගිරි අම්මා ඇඟ අතුල්ලන අන්දමයි. සිය සැමියා තමා දෙස බලා සිටිනු දුටු ඇය ඔහු කතාවට හරවා ගත්තාය.

“ගුරුන්නාන්සේ මොකෑ කිව්වේ ?“

ඇය ඇසුවාය.

“ලබන සෙනසුරාදා පාන්දර හයකුත් ගාණට උතුර බලා“

ඔහු පැවසුවේ අලුත් නිවහනට ගෙවදින නැකතය.

‘කැවුම් කිරිබත් උයන්න වෙයිද ?

ඇය ඇසුවාය.

‘තෙල් බදින්න එපා.කිරිබත් උයමු“

ඔහු පැවසුවේ අලුත් පළාතට යමින් දෙවියන්ට කළ බාරාහාර තවමත් ඔප්පු නොකර තිබෙන බැවිනි.

“මට නං හිතෙන්නේ ගේ හදන්ඩ කලින් හේනේ පැල හදන්ඩ.එතකොට මටයි උඹටයි හේනේ ඉන්න පුළුවන්“

වස්තුහාමි පැවසුවේ ඩිංගිරි අම්මාගේ ඇඟටම ඇලුණු දිය රෙද්ද දෙස විනිවිද හෙලන සුළු බැල්මක් හෙළමිනි.ඔහු වටපිට බැලුවේ මංකඩ අවට කිසිවකු සිටින්නේදැයි සැක හැර දැන ගන්නටය.

“පැල් රකින්න ගෑණු යනවයැ.පිරිමිනේ යන්නේ.උඹල පලයල්ලා“

ඩිංගිරි අම්මා පැවසුවාය.

“මගෙ ඇස් දිස්ටියෙන් පිටනං උඹ තියන්නේ නෑ ඩිංගෝ.මට පේන දුරින් තමා උඹට ඉන්න වෙන්නේ“

“තියෙන අසත්පුරුස කම“

ඩිංගිරි අම්මා පැවසුවේ බොරු තරහක් මවා ගනිමිනි.

“උඹ වංගියක් කරනමක් ගැහුවනේ.උඹලෑ අය්යලාගේ ගෙදර ගිහිං.හිටපු කාලේ.‘

වස්තුහාමි සිනාසෙමින් පැවසුවේය.

‘අම්මපල්ලා කියන අපූරුව“

ඩිංගිරි අම්මා යළි ඇළට බැස්සාය. මේ දියවර වැවේ සිට ගලා ඇවිත් මිනිසුන්ගේ සියලු අවස්ථා ඉටු කොට අක්කර දහස් ගණනක් ද සරු කරන්නේය.

“ඔය හීං බණ්ඩා දකින දකින වාරෙට මට මතක් වෙන්නේ.උඹලෑ අය්යලාගේ ගෙදර හිටපු ගාමා කියන එකා“

ඩිංගිරි අම්මාගේ ස්වරූපය වෙනස්ව ගියේය.වස්තුහාමි ඇගෙන් ඈත් වූයේය. ඩිංගිරි අම්මා ඉවත බලා ගත්තාය. අහසේ තනිව සරණ උකුස්සෙකු ඇගේ නෙත ගැටිණ.තව මොහොතකින් උකුස්සා ගොදුරක් ඩැහැ ගනු ඇත.ඇය ට හැඬුම් යන්නට ආයේය.ඇය නෑම පසෙක තබා රෙද්දක් ගෙන සොද්න්නට වූවාය.ඇයට කඳුළු වැළකිය නොහැකි තරම්ය.එහෙත් එම කඳුළ වස්තුහාමිට නොපෙන්වන්නට ඇය උත්සාහ කළාය.

ගමට එද්දී පාර කියා දුන් මුදලිහාමි පවුලේ නෑයකු හා සමීප වන්ට වැඩි කලක් ගතවුයේ නැත.ඔහු ගේ බිරිය මෙයට මාස හයකට පෙර වල් අලියෙකු ගේ ප්‍රහාරයට ලක්වූයේ මුදලිහාමි ගේ ඇස් ඉදිරිපිටය.කොලනියේ ප්‍රධාන ඇළට සමාන්තරව ගුරු පාරේ තුං මං හන්දියක් විය. එහි කුඩා සැලුන් එකක් ද බයිසිකල් වින්කලයක් සහ කුඩා කඩයක් ද විය.මෙරායා වෙළඳ සැල තේ කඩයේ නම විය.

කඩය සරුසාර එකකි.කොලනියේ නිවෙස් වලට හදිස්සියේ බඩුවක් ගන්නට තිබුණේ මෙරායා වෙළඳ සැල පමණකි.දකුණු පළාතේ සිට සේන පුරට පැමිණි සිරිවර්ධන මේ කඩය ආරම්භ කළේ සිය බිරිය ගේ නමිනි.සිරිවර්ධන කොලනියේ බොහෝ දෙනාට හදිස්සියට උපකාර කරන්නට ඉදිරිපත් වූයේ නොපැකිළවමය. සිල්ලර බඩු වලට අමතරව තේ කඩයක් ද එහි විය. මුදලිහාමි සිරිවර්ධන සහ මෙරායා යුවළ වස්තුහාමිට හඳුන්වා දුන්නේය.

වස්තුහාමි සිය නිවහනේ අලුත් කොටසට එක් වන දවසේ මුදියන්සේ ට ද ආරාධනා කළේය.එහි පැමිණි එකම පිටස්තරයා ඔහු විය.මුදලිහාමි ඩිංගිරි අම්මා ගේ අත් ගුණය ගැන බෙහෙවින් වර්ණනා කළේය.ඩිංගිරි අම්මා සිය දියණියන් සමග ආහාරය ගත්තේ සැමියා සහ දරුවන් සමග මුදලිහාමි සමග ආහාර ගත් පසුය.

‘කරෝල නං හරි රසයි.“

රන් මැණිකා හට්ටියෙන් තවත් කරවල කෑල්ලක් පිඟානට දමා ගත්තාය.

“මයෙ හීන් බණ්ඩා හරි පෙරේතයි කරෝල කන්ඩ“

ඩිංගිරි අම්මා පැවසුවාය.දෙසොහොයුරියන් එකිනෙකා ගේ මුහුණු බලා ගත්තා විනා කිසිත් කියන්නට නොසිතුවාය.

“තියෙන ගස් හත අටේ පොල් කඩවලා ටිකක් විකුණා ගෙන ටිකක් අරං එන්ඩත් එක්ක ගමට යන්ඩ ඕනෑ.“

වස්තුහාමි පැදුරක් එළලමින් පැවසුවේය.දවල් තිස්සේ මහන්සි වුණ නිසාවෙන් කෙල්ලන් දෙදෙනා කලින්ම නින්දට ගියහ.

"මටත් යන්ඩ හිතයි.මට දෙතුන් වතාවක් හීන් එකා හීනෙන් පෙනුණා"

ඇය පැවසුවාය.

"උඹට හීනෙන් පෙනුනේ හීන් බණ්ඩා නෙමේ උගේ අවජාතක අප්පුච්චා.අර ගාමා "

වස්තුහාමි හීන් හඬින් නමුත් සැරෙන් පැවසුවේය.

"ඉහට හෙන ගහන කතා කියන්ඩ එපා.තමුං වදාපු දරුවා අත් ඇරලා අම්මා කෙනෙකුට ඉණ්ඩ පුළුවන් ද ඒකා ලෙඩා.ඒකාව බලන්නේ කවුද ? ඒකා බැරි මර ගාතේ හරි උන්නේ කිරි අම්මාට සලකගෙන ඉන්නවා."

ඩිංගිරි අම්මා ගේ හඬ උස් නොවුවද එය වස්තුහාමි ගේ කන් සිසාරා සිරුර තුළට කිඳා බැස්සේය.ඇය මේතරම් කෝප වුන අවස්ථාවක් වස්තුහාමිට සිහියට නගා ගත නොහැකි විය. ඔහු ඇයට උත්තර නොදී කරබා ගත්තේය.

“මෙතැන නෑම්බියෝ දෙන්නෙක් තනි පංගලේ දාලා. උඹට ගිහින් බෑ කියලයි මං කියන්නේ“

වස්තුහාමි ගිය වචන ආපසු ගෙන්වා ගන්නට තැත් කළේය.ඩිංගිරි අම්මා උන් තැනින් නැගිට ගියාය. ඇය ගේ දෙනෙතෙහි මතු වන කඳුළු බිංදුවක් කම්මුල් තෙමා ගෙන ළය වෙත ඇදී ගියේය.

මතු සම්බන්ධයි