වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




චරිතයට තියෙන කැප කිරීම කටුක බව අමතක කළා

චරිතයට තියෙන කැප කිරීම කටුක බව අමතක කළා

නිල්මිණිගෙන් අලුත්ම තොරතුරු අහමු
ඒක රහසක් දැන්ම කියන්න බැහැ

ඇය ආදරණීය අම්මා කෙනෙක්. කෙතරම් බාධක, දුක්, කම්කටුලු පැමිණියත් නොසැලී එයට මුහුණ දුන් කාන්තාවක්. ඒ මවකගේ ශක්තිය යි. මේ ආදරණීය අම්මා ඔබ කාටත් ළෙන්ගතු යි. ඇය නිල්මිණි තෙන්නකෝන්. පසුගිය කාලයේ ‘ගිරිකුළ’ ටෙලි සිත්තමේ ඩිංගිරි අම්මා ලෙසින් අප හමුවට පැමිණි ඇය මේ දිනවල ‘රෑන’ ටෙලි නාට්‍යයේ සුධීරා නම් ආදරණීය මවක ලෙසින් යළිත් ඔබ හමුවට පැමිණෙනවා. මේ සමඟින් නිල්මිණි ගේ අලුත්ම තොරතුරු දැන ගැනීමට අප ගියේ නුගේගොඩ පිහිටි ඇයගේ රූපලාවණ්‍යාගාරයට යි. අප එහි යනවිටත් ඇය සිටියේ යුවතියකගේ කෙස් කළඹ හැඩ වැඩ කරමින්.

“මේ දවස්වල මම ටිකක් කාර්යබහුලයි. කොහොම වුණත් මගේ වැඩ කොටස මමම පිළිවෙළකට කරගන්නවා. සැලෝන් එකේ උදව්වට තව අය හිටියත් කොණ්ඩ කැපීම, සැකසීම වගේම අනෙකුත් බොහෝ රූපලාවණ්‍ය කටයුතුත් මගේ අතින්ම සිදු කරනවා. ඒක මගේ වගකීමක්. රූගත කිරීම් කියලා මේ වැඩ අතපසු කරන්නත් බැහැනේ. මේ දේවල් මම කරන්නේ හරිම ආසාවෙන්”. කියමින් ඇය අපේ සොඳුරු කතාබහට මුල පිරුවා.

* මොනවද නිල්මිණි අක්කා මේ දවස්වල අලුත් තොරතුරු?

පසුගිය කාලේ ටෙලි නාට්‍ය කිහිපයකම ෂූටිං යෙදිලා තිබුණා. ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයේ ඩිංගිරි අම්මාගේ චරිතය වගේම ‘සසර සරණ’ ටෙලි නාට්‍යයේ දස සිල් මාතාවගේ චරිතයත් ඒ අතර සුවිශේෂයි. මේ දවස්වල විකාශය වන ‘රෑන’ ටෙලි නාට්‍යයේ ෂූටිං යෙදිලා තියෙනවා. රූපලාවණ්‍යාගාරයේ කටයුතු අතරම මේ සඳහාත් දායක වෙනවා.

* දැන් වැඩිපුර කාලය යොදවන්නේ සැලොන් එකේ වැඩවලට වගෙයි පේන්නේ?

ඇත්තම කියනවානම් මම රංගනයට වඩා වැඩි අවධානයක් ඒ වෙනුවෙන් යොදවනවා. මම මේ ව්‍යාපාරික කටයුත්ත ආරම්භ කළේ අනූ දෙක වසරේ දී. මේක මම හරිම ආසාවෙන් පටන් ගත්තේ. ඒ වෙනුවෙන් මම විදෙස්ගත වෙලා පවා අධ්‍යාපනය ලැබුවේ ඒ නිසා. මගේ දුව ලැබෙන්න සිටියදීත් මම මනාලියන් ඇන්ඳුවා. ඒක මම කරන්නේ හරිම ආසාවෙන්. ඒ වගේම අවබෝධයෙන්. ඒ එක්කම රූපලාවණ්‍ය කටයුතු සඳහා අවශ්‍යවන ක්‍රීම් වර්ග ආදිය නිෂ්පාදනයත් මම ආරම්භ කළා. ඒ වටා දැන් හොඳ පාරිභෝගිකයන් පිරිසක් සිටිනවා. ඒක තමයි මගේ සාර්ථකත්වය. කෙනෙක් ලස්සන කරලා මම ලබන්නේ විශාල සතුටක්.

* මේ නිසා රංගනයට වෙන්වන කාලය අඩු කරලාද?

අපොයි නැහැ. ලැබෙන කාල වෙලාව අනුව දැනටමත් චරිත කිහිපයක්ම භාරගෙන තියෙන්නේ. ව්‍යාපාරයක් කළාට කලාවට තියෙන ළෙන්ගතු කම නැති වෙන්නේ නැහැනේ.

* ඔබ සැබෑ ජිවිතයේ මෙන්ම පුංචි තිරයේත් මේ දවස්වල දකින්න ලැබෙන්නේ ආදරණීය මවක් හැටියට?

ඔව්, මේ හැම චරිතයක්ම මවකගේ චරිතය වුණත් ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස් වූ චරිත. ඩිංගිරි අම්මා වගේම සුධීරාත් ආදරණීය මවුවරු දෙදෙනෙක්. ඒ වුණාට ඒ චරිත දෙක එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත දෙකක්. ඒත් ඒ අම්මාලා දෙදෙනාම දරුවන් වෙනුවෙන් කැප කිරීම් කරන ආදරණීය අම්මලා දෙදෙනෙක්.

* මේ චරිත තුළත් ඔබ, ඔබව දකිනවාද?

හ්ම්...මෙහෙමයි, මගේ සැබෑ ජීවිතයේ් බොහෝ තැන්වලදිත්, විවාහක කාන්තාවක් විදියට විවාහය තුළ බිරිඳක් විදියටත් අසරණ වූ අවස්ථා තිබුණා. මේ චරිතවලත් එවැනි වූ විවිධ කම්කටුලු තියෙනවා. ‘රෑන’ ටෙලි නාට්‍යයේ සුධීරා දුවට ගොඩක් සමීප වූ අම්මා කෙනෙක්. ඇය දුවට කතා කරන ආකාරය, හුරතල් කරන ආකාරය හරියට මම ස්වේතාට ආදරය කරන විදියටමයි කියලා දැනෙනවා.

* මේ චරිත තුළ දී යම් අභියෝගයක් වූ අවස්ථා ඔබට හමුවී නැද්ද?

ඕනෑම චරිතයක් තුළ අභියෝගයක් තියෙන්න පුළුවන්. රංගන ශිල්පිනියක් එය ජය ගත යුතුයි. මට යම් චරිතයක් ලැබුණාම ඒ චරිතය මං හොඳින් අධ්‍යයනය කරනවා. පසුගිය කාලේ ‘ගිරිකුළ’ ටෙලි නාට්‍යයේ දී අපට ඉතා දුෂ්කර ප්‍රදේශවල රූගත කිරීම් කරන්න සිදුවුණා. එහි ජීවිත වගේම ෂූටිනුත් හරිම කටුකයි. ‘හැන්දෑව‘ ටෙලි නාට්‍යයේ ටිකිරි මැණිකෙ ගේ චරිතයත් ඒ වගේමයි. ඒ වුණත් චරිතයට තියෙන කැපවීම නිසා ඒ කටුක බව ඉබේම අමතක වෙලා යනවා.

* දියණිය ස්වේතා ගැනත් අලුත් තොරතුරු දැනගන්න කැමතියි. ඇය දැන් ලොකු ඇති නේද?

ඔව්, දැන් ඇයට අවුරුදු දොළහක්. මගේ මුළු ලෝකයම තියෙන්නේ ස්වේතා ළඟයි. මගේ අනිත් හැම වැඩක්ම මම යොදා ගන්නේ ඇය වෙනුවෙන් මූලිකත්වය දීලා. සැලෝන් එකේ වැඩ වගේම ෂූටිං යොදා ගන්නෙත් දුවගේ වැඩ කටයුතුවලට මූලිකත්වය දීලා. මම පෞද්ගලික ජීවිතයේ වගේම වෘත්තීමය වශයෙනුත් නිල්මිණි තෙන්නකෝන් වෙලා ඉවරයි. දැන් මම දුවගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමයි මේ හැම කැපකිරීමක්ම කරන්නේ.

* අලුත් වැඩක් ආරම්භ කරනවා කියලත් ආරංචියි?

ඔව්, මම මගේ පළමු ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ දවස්වල තිබෙන කාර්යබහුලත්වය ටිකක් ඉවර වුණාම එහි වැඩ කටයුතු ආරම්භ කරන්න අදහස් කරලා තියෙනවා.

* ඒ කියන්නේ ඔබත් තව ටික දවසකින් ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක්?

ඔව්, මේ ටෙලි නාට්‍යය මම තනිවම මූලික වෙලා කරන නිර්මාණයක්. මීට පෙරත් විවිධ නිෂ්පාදනවලට මූල්‍යමය වශයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා. බොහෝ වෙලාවට හිතවක්කමට තමයි මේවා කළේ. මේ කරන්න යන නිර්මාණය මම කලා ජීවිතයට පැමිණි මුල් අවදියේමයි මගේ හිතට ආවේ. ඒ වුනත් එයට මූලිකවන චරිතය මගේ නෙත ගැටුණේ මම පාසල් යන කාලෙදියි. ඒ කාලේ මේ චරිතය වටා ගෙතුණු නිර්මාණයක් කරනවා තියා මම නිළියක් වෙන්නවත් හිතලා නැහැ. ඒ වුණත් නිතරම මම ඒ චරිතය පසු පස ලුහුබැන්දා. මම කලාවට පැමිණි මුල් කාලෙදිමයි මේ චරිතය යොදා අපූරු නිර්මාණයක් කරන්න අදිටන් කරගත්තේ. දැන් තමයි ඒකට හොඳම කාලය.

* ඒ චරිතය ඔබට සමීප චරිතයක් වෙන්න ඇති?

ඒක රහසක්. දැන්ම වැඩි විස්තර කියන්න බැහැ. හරිම ලස්සන කතාවක්. නුදුරේදීම ආදරණීය රසික ඔබ හමුවට එය ගෙන එන්න පොරොන්දු වෙනවා. දැනට ඒ ඇති.