වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




Top Ten

Top Ten

නෝආ පෙරට

මෙම සතිය තුළදී අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර පෙරමුණ ගැනීමට ඩැරන් අරොනොෆ්කි අධ්‍යක්ෂණය කළ Noah චිත්‍රපටය සමත් වී ඇත. පසුගිය මාර්තු 28 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළ Noah  සති අන්තයේදී ඩොලර් මිලියන 44ක ආදාමක් වාර්තා කළේය. රසෙල් කෲව්, ජෙනිෆර් කොනෙලි, ඇන්තනි හොප්කින්ස්, එමා වොට්සන් ඇතුළු පිරිසක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙති. අමෙරිකානු ප්‍රදර්ශනයේ දෙවැනි සති අන්තයේදී ඩොලර් මිලියන 26.5ක ආදායමක් ඉපැයූ Divergent චිත්‍රපටයට හිමිවන්නේ දෙවැනි ස්ථානය යි.

හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Muppets Most Wanted ඩොලර් මිලියන 11.4ක ආදායමක් ලබමින් තෙවැනි ස්ථානය හිමිකර ගන්නා විටදී තවත් හාස්‍යමය පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Mr. Peabody & Sherman ඩොලර් මිලියන 9.5ක ලබා සිව්වැනි ස්ථානයට පත් වූවේය. පස්වැනි ස්ථානය හිමිවන්නේ හැරල්ඩ් ක්‍රොන්ක් අධ්‍යක්ෂණය කළ God’s Not Dead චිත්‍රපටයට යි. අමෙරිකානු ප්‍රදර්ශනයේ දෙවැනි සතිය ගත කරන එය පසුගිය සති අන්තයේදී ඉපැයූ ආදායම ඩොලර් මිලියන 9.1ක්. ෂේන් හාපර්, කෙවින් සෝර්බෝ, ඩේවිඩ් ඒ. ආර්. වයිට් මේ සඳහා රංගනයෙන් දායක වෙති. හාස්‍යමය කතා තේමාවක් රැගත් The Grand Budapest Hotel චිත්‍රපටයට ඩොලර් මිලියන 8.8ක ආදායමක් ලබමින් හයවැනි ස්ථානය හිමි වී ඇත.

පසුගිය මාර්තු 28 වැනිදා සිට අමෙරිකාවේ තිරගත වීම ආරම්භ කළ Sabotage චිත්‍රපටය හත්වැනි ස්ථානයට පැමිණ තිබේ. ඩේවිඩ් ඒයර් අධ්‍යක්ෂණය කළ අපරාධයක කතා පුවකත් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙහි ආර්නෝල්ඩ් ස්වාසනේගර්, සෑම් වොර්තින්ග්ටන්, ටෙරන්ස් වෝවඩ්, ජෝ මැග්නේලෝ රංගන දායකත්වය ලබා දෙති. අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ අටවැනි ස්ථානය හිමි වන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Need for Speed චිත්‍රපටයට යි. නමවැනි ස්ථානය නොඇම් මුරෝ අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන 300: Rise of an Empire චිත්‍රපටයට හිමි වී තිබේ. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Non - Stop චිත්‍රපටයට දසවැනි ස්ථානය හිමි වී තිබේ. The Lego Movie  සහ The Single Moms Club චිත්‍රපට මෙම සතියේදී අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට දහය අතරින් ඉවත්ව ගිය චිත්‍රපට වේ.