වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




එහෙත් මෙහෙ වගේමයි

එහෙත් මෙහෙ වගේමයි

භාරත දේශයේ ඡන්ද උණුසුම අපේ පුංචි රටටත් හොඳීන්ම දැනෙයි. තරු හා තාරකාවන් රැසක්ම ඡන්ද සටනට පිවිස ඇති නිසා ඒ උණුසුම තව තවත් වැඩි වී ඇත. මෙවර ඉන්දියානු මහා මැතිවරණයට ඉදිරිපත් වී සිටින තරු අතරට පරණ පුරුදුකාරයන් වන නිළි සෝනක්ෂි සිංහගේ නළු පියා සතෘගන් සිංහ, හේමා මාලිනී වාගේම දේශපාලනයට ආධුනික කිරන් කේර්, මූන් මූන් සෙන් (ප්‍රවීණ නිළි සුචිත්‍රා සෙන්ගේ දියණිය) පවන් කල්‍යාන් වැන්නෝ ද සිටිති.

මේ වසරේදී චන්දිගාර් හි බලය පතා ජනප්‍රිය තරු යුවළක් සටන් වදිති. පානග් ආම් ආද්මි පක්ෂයෙන් ද, ප්‍රවීණ නිළි කිරන් භාරතීය ජනතා පක්ෂයෙන් ද තරග කරති.

නරේන්ද්‍ර මෝඩි වෙනුවෙන් සටන් වදින්නන් අතර හේමා මාලිනී, සතෘගන් සිංහ වගේම දේශපාලනයට නවකයකුª වූ පරේශ් රාවල් ද, ජෝයි බෙනජි ද වෙති. අබේ ඩියොල් දේශපාලනයට එක්වීමට කැමැත්තෙන් සිටියි. එහෙත් බොලිවුඩ් සිහින පුරවරය තරම් දේශපාලන පොරපිටිය බොහෝ තරුවලට සුබ වන්නේ නැත. තරු ගුණයේ දීප්තියෙන් දේශපාලන ලෝකය ආලෝකවත්කර ගැනීමට බොහෝ තරු වෙර දැරුව ද අවසානයේදී වැඩි දෙනෙක් දේශපාලනය නිසා තරු ලොවෙන් ලද ආලෝකය ද නිවා ගනිති.

බොලිවුඩයේ මෙගා තරුව අමිතාබ් බච්චන්, පළමු සුපිරි තරුව රාජේශ් ඛන්නා, ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර, දේශපාලනයත්, සිනමාවත් ‘යා දෙක නොරථ රථ’ යන්නට හොඳම උදාහරණයක් බව අත්දැකීමෙන්ම දැනගත් අයයි.