වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




‘සුදු නංගී’ සමු ගනී

‘සුදු නංගී’ සමු ගනී

(1939 ජනවාරි 8 – 2014 මාර්තු 25)

විටෙක අහිංසක, වරෙක දඟකාර නන්දාගේ නන්දනීය රැඟුමන් අතීතයට එක් වී අවසාන වූවත්, කිසිදා ප්‍රේක්ෂක මතකයෙන් නම් ගිලිහී ගියේ නැත. භාරතයේ නන්දා ශ්‍රි ලාංකික රසික රසිකාවනට තවමත් ආදරණීය, අහිංසක ‘සුදු නංගී’ය. චෝටි බෙහේන්ය.

ජීවිතයේ සැඳෑ සමය පවුලේ අය හා සමකාලීන මිතුරියන් වූ වහීඩා රෙහ්මාන්, ආශා පරේක්, හෙලන්, සයිරා බානු, මාලා සිංහ, ශකීලා සමඟත් නිහඬව ගෙවා දැමූ ඇය මාර්තු 25 වැනිදා වර්සෝවා නිවෙසේදී ජීවිතයෙන් ද නිහඬවම සමු ගත්තාය. ඉහෙන් බහින රෝගයක් නොතිබූ ඇය හදිසියේම මරු තුරුළට ගොස් ඇත්තේ දරණු හෘදයබාධයකට ගොදුරුවීමෙනි. ඒ ජීවිතයේ හැත්තෑපස් වැනි වසරේ පසුවෙද්දීය.

නන්දාට සිනමා උරුමය දායාද වුණේ උපතින්මය. දක්ෂ මරාති නළුවකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු හා ඉන්දීය සිනමාවේ පුරෝගාමියකු වූ විනායක් දමෝදර් නන්දාගේ පියාය. මව නිළි මීනාක්ෂිය. පියා වයස අවුරුදු හතළිස් එකක් තරම් අඩු වයසකදී මිය ගිය නිසා පවුලේ බර පැටවුණේ නන්දාටයි. අට හැවිරිදි වියේදී ළමා නිළියක ලෙසින් ඇය රංගනයට පිවිසියාය.

‘බේබි නන්දා’ ලෙසින් තිරයට එක් වූ නන්දාගේ පළමු සිනමා රංගනය ‘මන්දිර්’ (1948) ය. ජන්ගු, අන්ගාරේ, ජාග්රිතී වැනි සිනමාපටවල ළමා නිළියක ලෙස රඟන අතර, ඇය අධ්‍යාපනය ලැබුවේ නිවෙසට ගෙන්වන ලද ගුරුවරයකුගෙනි. සහෝදර සහෝදරියන්ට අධ්‍යාපනය ලබාදීමේ වගකීම පැවරී තිබුණේ ද නන්දාටමය. අද ඇයගේ එක් සහෝදරයකු වූ ජයප්‍රකාශ් කර්නාටකි, මරාති සිනමා අධ්‍යක්ෂවරයකි.

නන්දාගේ සිනමා ගමන් මඟ වෙනස් කළේ පිය පාර්ශ්වයේ ඥාතියකු වූ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ වී. ශාන්තාරාම්ය. තූෆන් ඕර් දියා (1956) නන්දාගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. 1957 වසරේදී ‘බාබි’ රංගනයට නන්දා ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම සහාය නිළියක ලෙස නිර්දේශ වූවාය.

නන්දා දිදුලන තරුවක් කළේ ‘චෝටි බෙහේන්’ (1959) සිනමාපටයයි. ඉන්පසු ඇය දිගින් දිගටම සුපිරි තරුවල, සුපිරි පෙම්වතිය වූවාය. ‘හම් දෝනෝ, තීන් දේවියන්’ හි ඇය දේව් ආනන්ද්ගේ පෙම්වතියයි. එක් ගීතමය ජවනිකාවක්වත් නොතිබූ ‘කානූන්’ (1960) සිනමාපටයේ ප්‍රධාන නිළිය වූයේ ද ඇයයි. ‘ආන්චල්’ සිනමාපටයේ කළ රංගනයට ඇය හොඳම සහාය නිළිය ලෙසින් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ගත්තාය.

සුදු නංගී ජවනිකාවක්...

රාජ් කපූර් සමඟ ‘ආශික්’ (1962) සිනමාපටයේ සහ රාජේන්ද්‍ර කුමාර් සමඟ සිනමාපට තුනක ද ඇය රඟපෑවාය. නන්දා මුලදී ෂම්මි කපූර් සමඟ රඟපෑම ප්‍රතික්ෂේප කළේ්, කැළෑ සතකු බඳු දඟකාර රංගන රටාවට දැක් වූ නොකැමැත්ත නිසයි. එහෙත් පසුව ඇය ‘ප්‍රේම් රොග්’ සිනමාපටයේ ඔහු සමඟ රැඟුවාය.

1960 – 65 කාලයේදී නූටාන්ට පසුව රංගනයට වැඩිම මුදලක් අය කළ නිළිය වූයේ නන්දායි. නවකයන්ට අත දෙන්නන් අතර නන්දා කවදත් පෙරමුණ ගත් බව ක්ෂේත්‍රයේ කාහටත් රහසක් නොවීය. නවක නළුවකු වූ ෂෂි කපූර් සමඟ ඇය සිනමාපට අටකදී පෙම්වතිය ලෙසින් රැඟුවාය.

තිරයේ පරමාදර්ශී භාරත යුවතියක වූ නන්දා බටහිර පන්නයේ තරුණියක ලෙස රැඟුවේ ‘ජබ් ජබ් පූල් කිලේ’ සිනමාපටයේ පමණි. ෂෂි කපූර්ගේ තිරයේ ආදරණීයම පෙම්වතිය වූයේ නන්දාය. පසුව ඇය රාජේශ් ඛන්නා, රාජේන්ද්‍ර කුමාර්, ජිතේන්ද්‍ර, මනෝජ් කුමාර් වැන්නන්ට ද පෙම්වතිය වූවාය.

හැත්තෑව දශකයේ සිනමාවෙන් තාවකාලිකව සමුගත් ඇය 1982 දී යළි රංගනයට පිවිසියාය. ආහිස්තා ආහිස්තා, මස්දූර්, ප්‍රේම් රොග් සාර්ථක රංගනයන් සමඟ ඇය තිරයෙන් සමු ගත්තාය.

තිරයේ කෙතරම් සුපිරි තරුවලට පෙම් බැන්ද ද, ඇය සැබෑ ජීවිතයේදී කිසිවකුට පෙම් කළේ නැත. ‘ජබ් ජබ් පූල් කිලේ’ රූගත කරද්දී අධ්‍යක්ෂ සූරජ් ප්‍රකාශ් නන්දාගේ රුවට උමතු වූ ලුතිනන්වරයෙකු පිළිබඳ යෝජනාවක් ගෙන ආව ද ඇය එය ප්‍රතික්ෂේප කළාය. නන්දාගේ සොයුරන් ඇයට ගෙන ආ සියලු යෝජනාවන්ට ද අත් වූයේ එම ඉරණමය.

1992 දී මැදි වයසේදී නිළි මිතුරිය වහීඩාගේ පෙරැත්තය නිසාම අධ්‍යක්ෂ මනමෝහන් දේසායි සමඟ නන්දා විවාහ ගිවිස ගත්ත ද, ඔහු නිවෙසින් වැටී අංශභාග තත්ත්වයට පත් වී මිය ගියේය. ඒ විවාහ ගිවිසුම ද අවසන් වූයේ ඇය අස්වාමික කරමිනි.

මියයන තුරුම තනිකඩ දිවියට පෙම් බැඳී නන්දාගේ තිරයේ පෙම්වත් දිවිය නම් රසිකයන්ගේ මතකයෙන් කිසිදා බැහැර නොවනු ඇත.