වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මේ රඟපාන්නේ අමරණීය සිනමාපටයක කියලා එදා දැනුණේ නැහැ

මේ රඟපාන්නේ අමරණීය සිනමාපටයක කියලා එදා දැනුණේ නැහැ

රේඛාවේ ප්‍රේමා - මල්ලිකා පිළපිටිය

මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන් වෙතින් සිනමාවේ අත් පොත් තැබූ පිරිස ඉමහත්ය.

රඟපාන්න පුළුවන් ද බැරි ද යන්න කෙනෙකු දුටු පමණින් පැවසීමට ආචාර්ය ලෙස්ටර්ට තිබුණේ පුදුම හැකියාවකි. ඔහු ඒ අය සියුම් ලෙස තම කැමරාවේ ග්‍රහණයට හසුකර ගත්තේ හරිම අපූරුවටය. මල්ලිකා පිළපිටිය ද එවන් වූ වාසනාන්තියකි. ඇය ලෙස්ටර්ගේ පළමු සිනමාපටය වූ රේඛාව සමඟින් සිනමාවට පිවිසීමට වරම් ලද්දීය. මල්ලිකා එහි රැගුවේ ප්‍රේමවතී නම් වූ ප්‍රධාන චරිතයයි.

මේ මල්ලිකා පිළපිටිය ජනප්‍රිය නළු රොෂාන් පිළපිටියගේ මෑණියන්ය. රේඛාවෙන් පසු මල්ලිකා රඟපෑවේ නැත. එයින් වසර පනහකට පසුව ආචාර්ය ලෙස්ටර්ගේ අවසන් චිත්‍රපටය වන අම්මාවරුනේ චිත්‍රපටයේ රඟපෑවේ රොෂාන්ය. අපේ සිනමා ඉතිහාසයේ පනස් වසරක් චිත්‍රපට තැනූ එම සිනමාකරු වූයේ ආචාර්ය ලෙස්ටර්ය.

මව මුල් චිත්‍රපටයේත්, පනස් වසරකට පසුව පුතු අවසන් චිත්‍රපටයේත් රඟපෑම එක්තරා අන්දමක විරළ සිදුවීමක් බව කිව යුතුය. ඒ හේතුව නිමිත්ත කර ගනිමින් ලෙස්ටර් මහතාගේ අනූ පස් වැනි ජන්ම දිනය සමරන මේ මොහොතේ පළමුව අපි මල්ලිකා පිළපිටිය සොයා ගියේ ආචාර්ය ලෙස්ටර් සහ රේඛාව පිළිබඳ මතකයන් අවුස්සා බලන්නටය.

දුටු පමණින් ආචාර්ය ලෙස්ටර්ගේ ලද ඇරැයුමින් නිළියක වූ ඇය සිනමාවට ආරාධනා ලැබූ තැන සිටම ලෙස්ටර් මහතා ගැන වර්ණනා කරමින්ම මෙසේ කතාව ඇරැඹීය.

පළමුව මම ලෙස්ටර් මහත්තයාට සුබම සුභ උපන් දිනයකට ආසිරි පතනවා. එතුමාණන් අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෑ.

කොහොමද ඔබව පළමුව ආචාර්ය ලෙස්ටර් හමු වන්නේ?

මගේ අයියා හැරල්ඩ් පිළපිටිය. ඔහු සේවය කළේ රජයේ චිත්‍රපට අංශයේ. ලෙස්ටර් මහත්තයා, ටයි මහත්තයා වගේ අයත් ඒ වෙන කොට එහි වැඩ කළා. ඉතින් අයියත් එක්ක ඔවුන් හිතවත්. අයියා නැවතිලා හිටියේ දෙහිවල. අපේ මහ ගෙවල් හගුරන්කෙතනේ. මම නිතරම අයියලාගේ ගෙදර එනවා යනවා. ඔන්න දවසක් කවුදෝ කට්ටියක් ඇවිත් දොරට තට්ටු කරනවා ඇහුණා. ඒ වෙලාවෙ ගෙදර කවුරුවත් හිටියේ නැහැ. මම කවුද කියලා බලන්න දොර ඇරියා. ඇවිල්ලා තියෙන්නෙ ලෙස්ටර් මහත්තයා. ප්‍රේමනාත් මොරායස් එහෙමත් එතැන හිටියා.

හැරල්ඩ් ඉන්නවද?

ලෙස්ටර් මහත්තයා ඇහැව්වා.

අයියා නම් නැහැනෙ . . .

මං එහෙම කියලා ඔවුන්ව පිටත් කර යවන්නට උත්සාහ කළා. ලෙස්ටර් මහත්තයලා යන්න හදලා ආපසු හැරුණා මගෙන් මොකක් හරි බැරෑරුම් දෙයක් අහන්න වගේ.

ඔය ළමයා චිත්‍රපටයක රඟපාන්න ආස නැද්ද?

මාව එක පාරටම ගැස්සුණා. මගේ තුන් හිතකවත් එහෙම අදහසක් තිබුණේ නැහැ. මගේම අයියා චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටිය නිසා මොකක්දෝ ආසාවක් සිත පතුළේ තිබුණා. ඒක නිසා මං බැහැ කිව්වේ නැහැ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ ඒ වන කොට මෙරට වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නෙවෙයි?

අන්න ඒක තමයි තිබුණු ගැටළුව. ඔහු මීට ප්‍රථම චිත්‍රපටයක් කරලා තිබුණා නම් අවුලක් නැහැ. හැබැයි මම ඔහුව දුටුව දවසේ ඉඳලා පැහැදීමකින් හිටියේ. ඊට ප්‍රධාන හේතුව ඔහු මගේ අයියාගේ යාළුවෙක් වීම. මොකද අයියා ආවාට ගියාට මනිස්සුන්ව ඇසුරු කරන්නේ නැහැ. මං එකයි රේඛාවේ රඟපාන්න ගියේ.

මොකක්ද ඔබේ චරිතය?

ප්‍රේමවතී නම් වූ පෙම්වතියක්.

රේඛාවේ තිර පිටපත අතට ලැබුණම මොකද හිතුණේ?

පුදුම විදිහට සතුටක් දැනුණා. මට නිකමටවත් හිතුණේ නැහැ මං මේ රඟපාන්න හදන්නේ අමරණීය සිනමාපටයක කියලා. ලෙස්ටර් මහත්තයාගේ ගෙදර චිත්‍රපටයේ රිහසල් පටන් ගත්තා. ඩී. ආර්. නානායක්කාර මහතායි මට හරියාකාරව වචන උච්ඡාරණය කරන්න කියලා දුන්නේ.

පළමුවරට දර්ශන තලයට ගිය දවස මතකද?

අපොයි ඔව්. අලව්වෙ ලොකේෂන් තිබුණේ. අයිරාංගනී සේරසිංහ මගෙත් එක්ක සුහදශීලී වුණා. ගාමිණී ෆොන්සේකාත් එතන හිටියා. එතකොට ඔහු සහාය අධ්‍යක්ෂවරයෙක්. ලෙස්ටර් මහත්තයා මට එතෙන්දිත් චරිතය ගැන විග්‍රහ කළා. හරිම සෞම්‍ය විදිහටයි ඔහු කරුණු පැහැදිලි කළේ.

ඔහුට කේන්ති ගිය අවස්ථාවල් තිබුණාද?

කවදාවත් නැහැ. ඔහු ඒ වෙන කොටත් තුරුණු වියේ හිටියේ. ඒ වුණත් කිසිම මොහොතක සැරෙන් කතා කළේ නැහැ. විහිළුවෙන්මයි හිටියේ.

රේඛාව හෙළ සිනමාවේ එක්තරා හැරවුම් ලක්ෂයක්. එවන් වූ සිනමාපටයකට සම්බන්ධ වීම ගැන අද මොකද හිතෙන්නේ?

රේඛාව සමඟින් මගේ නමත් ඉතිහාස ගත වුණා. ඒකනේ ඔබ මෙහෙම කතා කළේ. ඒ සියල්ලේම ගෞරවය ලෙස්ටර් මහත්තයාට හිමිවන්න ඕනෑ.

ඔබ ලෙස්ටර්ගේ පළමු සිනමා පටයට දායක වෙද්දී ඔබේ පුතු රොෂාන් පිළපිටිය ලෙස්ටර්ගේ අන්තිම සිනමාපටය වූ අම්මාවරුනේ සඳහා දායක වෙනවා. ඒක හරිම දෛවෝපගත සිදුවීමක් නේද?

පුතා පළමු වරට රංගනයෙන් දායක වුණේ ලෙස්ටර් මහත්තයාගේම ගොළු හදවත ටෙලි නාට්‍යයට. ඇත්තටම ඔහුගේ නිර්මාණයකට දායකවීමේ විරළ වාසනාව මටත් මෙන්ම මගේ පුතාටත් හිමි වුණා. එවන් වූ භාග්‍යයක් ලද අපි දෙන්නම වාසනාවන්තයි.


මුල්ම චිත්‍රපටයේ මල්ලිකා පිළපිටිය
 

අවසන් චිත්‍රපටයේ රොෂාන් පිළපිටිය

ආචාර්ය ලෙස්ටර්ගේ රුවගුණ වරුණ මව් – පුතු පවසති

අම්මා පැවසූ අතීත කතාව රොෂාන් බොහොම සාවධානව අසාගෙන සිටියා. ලෙස්ටර් මහත්තයා ගැන ඔහුටත් කියන්න දහසකුත් එකක් අදහස් ඇති.

එහෙම නේද රොෂාන් ?

අහන පමාව විතරයි ඔහු ළමයකුට කියා දෙනව වගේ පහදලා දෙනවා.

අම්මා රඟපෑව ‘රේඛාව‘ ඔබ නරඹලා තියෙනවද?

ඔව් හරිම සුන්දර චිත්‍රපටයක්. ලෙස්ටර් සර්ගේ හපන්කම් මොනවට පැහැදිලි වෙනවා එමඟින්.

ඔබත් ආචාර්ය ලෙස්ටර්ගේ අධ්‍යක්ෂණයට නතු වෙනවා?

ලෙස්ටර් සර්ගේ ‘ගොලු හදවත’ ටෙලි නාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවෙ. එතකොට මං පාසල් ශිෂ්‍යයෙක්. නිවාඩු කාලෙයි රූගත කිරීම් සිදුවුණේ. මගේ කුලුඳුල් රංගනය ඔහුගේ අධ්‍යක්ෂණය යටතේයි සිද්ධ වුණේ. මගේ අම්මත් නිළියක් වුණේ ඔහු නිසා.

ඒ වනවිටත් ආචාර්ය ලෙස්ටර් දැනගෙන හිටියද ඔබ මල්ලිකා පිළපිටියගේ පුතා කියලා?

නැහැ. ඉන්ටර්වීව් එකකිනුයි ඔහු මාව තෝරගත්තේ

කොයි මොහොතෙද ඔබ ඒ රහස එළි කළේ?

මට වෙලාව මතක නැහැ. කාලයක් ගතවුණු පසු දර්ශන තලයේ දීම මං ඒ ගැන කිව්වා. ලෙස්ටර් සර් පුදුම වුණා. ඉඩක් ලද වහාම අම්මට කෝල් එකක් අරගෙන සතුට පළ කළා.

එමෙන්ම ඔබ ආචාර්ය ලෙස්ටර්ගේ අන්තිම සිනමාපටයේ ප්‍රධාන භූමිකාව රැගුවා?

ඇත්තටම ඒකනම් පුදුම කරුණක්. අම්මා පළමු චිත්‍රපටයේ ප්‍රධාන නිළිය. මම අන්තිම චිත්‍රපටයේ ප්‍රධාන න¼ථවා. ලොව මීට ප්‍රථම එහෙම වෙලා නැතුව ඇති.

අම්මාවරුනේ ජාත්‍යන්තර සිනමා උළෙලයන් නියෝජනය කළා. ආචාර්ය ලෙස්ටර් සමඟ ඔබත් ඒවට සහභාගී වුණා?

ඔව් මම ඒවට සහභාගී වුණේ අති මහත් වූ ගෞරවයකින්. එහිදී තමයි ලෙස්ටර් සර්ට මොනවගේ පිළිගැනීමක් තියෙනවද කියලා දැනගන්න ලැබුණේ. ඔහුගේ නම කියද්දී සභාවේ හිටපු හැමෝම නැගිටලා ඔහුට ආචාර කළා.