වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය ලෙස්ටර්ගේ සිනමා සංරක්ෂණාගාර සිහිනය සැබෑ වෙයි

ආචාර්ය ලෙස්ටර්ගේ සිනමා සංරක්ෂණාගාර සිහිනය සැබෑ වෙයි

මෙරට සිනමා ඉතිහාසය පුරා බරපතළ අඩුවක්ව තිබූ සිනමා සංරක්ෂණාගාරයක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කරමින් ජාතික සිනමා සංරක්ෂණාගාරය මෙම අප්‍රේල් මස 05 වැනිදා පෙරවරුවේදී කොළඹ ජාතික ලේඛනාරක්ෂණාගාරයේදී විවෘත වනු ඇත. අප්‍රේල් 05 වැනි දින මේ සඳහා තෝරා ගෙන ඇත්තේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 95 වැනි ජන්ම දිනය එදිනට යෙදෙන බැවිනි. සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව මෙරටට මුලින්ම හෙළි කරන ලද්දේ ආචාර්ය ලෙස්ටර් විසිනි. ඒ 1958 තරම් ඈත කාලයේය. මෙවර ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිහිනය සැබෑ වෙන්නේ අතිගරු ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ වන අතර මෙම කටයුත්ත උදෙසා නිළි රැජන මාලිනී ෆොන්සේකා බෙහෙවින් කැපවීමෙන් කටයුතුª කළාය.

ආචාර්ය ලෙස්ටර් විසින් එපමණ අතීතයේ මේ අවශ්‍යතාව පැහැදිලි කළ ද, විවිධ හේතූන් මත එම කටයුත්ත වරින් වර කල් දැමිණ. එකී අවශ්‍යතාව වටහා නොගැනීම, කඹ ඇදීම් හා විවිධ නෛතනික ගැටලු එහි හේතු ලෙස දැක්විණ. ආචාර්ය ලෙස්ටර් විසින් සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව හෙළිදරව් කළ මුල් යුගයේම එය ක්‍රියාත්මක වූවා නම් 1983 වසරේදී දැයට අහිමි වූ බොහෝ චිත්‍රපට ඉතිරිවීමට ඉඩ තිබිණ. මෙම නව සංරක්ෂණාගාරයේදී රූපවාහිනි වැඩ සටහන් හා ශබ්දපට සංරක්ෂණය කිරීමට නියමිතය. එය ජාතික චිත්‍රපට රූපවාහිනී සහ ශබ්දපට අධි ලේඛනාගාරය යනුවෙන් නම් කොට ඇත. මෙහි ඇති සිනමාපට මුලින් සංරක්ෂණය කෙරෙනුයේ සෙලෝලයිට් පට ලෙසිනි. ඉදිරියේදී එය ඩී. වී. ඩී. සහ බ්ලුරේ තැටිවලට ද පටිගත කෙරෙනු ඇත.

මෙම සංරක්ෂණාගාරය ඇරැඹීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, සංස්කෘතික අමාත්‍ය ටී. බී. ඒකනායක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ආචාර්ය සරෝජනී වෙත්තසිංහ යන මහත්ම මහත්මීන් ඉතා වෙහෙස වී කටයුතු කළ බැවින් ඔවුනට ඒ සඳහා ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු යැයි නිළි රැජන මාලිනී ෆොන්සේකා සරසවියට පැවසුවාය.

උළෙලට එන්න මාලිනීගෙන් ඉල්ලීමක්

ජාතික සිනමා සංරක්ෂණාගාරය ඇරැඹෙන අප්‍රේල් 05 වැනි දින පෙරවරුවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන උළෙලට සහභාගි වන ලෙස නිළි රැජන මාලිනී ෆොන්සේකා ආරාධනා කර සිටින්නීය. එමෙන්ම තමන් සතු චිත්‍රපට පිටපතක් සංරක්ෂණය සඳහා එදින බාර දෙන ලෙස ද ඇය නිෂ්පාදකවරුන්ගෙන් ඉල්ලා සිටින්නීය.

ලෙස්ටර් සිනමාවලෝකන ප්‍රදර්ශනයක්

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවලෝකනය ප්‍රදර්ශනය අප්‍රේල් 05 වැනිදා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් මැතිනිය අතින් විවෘත කිරිමට නියමිතය.