වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ලයනල් වෙන්ඩ්ට් කලාගාරය හැඩ කරන ‘ප්‍රේම පුරාණය’

ලයනල් වෙන්ඩ්ට් කලාගාරය හැඩ කරන ‘ප්‍රේම පුරාණය’

කලාශූරී ජයසිරි සේමගේ නම් කීර්තිධර චිත්‍ර ශිල්පියාගේ ‘ප්‍රේම පුරාණය’ නම් නවතම චිත්‍ර ප්‍රදර්ශනය මේ මස 04 වැනිදා පෙරවරු 9.00 ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ වෙයි. තම ‘ප්‍රේම පුරාණය’ චිත්‍ර ප්‍රදර්ශනය පිළිබඳ ඔහු ‘සරසවිය’ හා මෙසේ සඳහනක යෙදෙයි.

ඔබගේ මෙවර චිත්‍ර ප්‍රදර්ශනය සඳහා ප්‍රේම ප්‍රරාණය කියන නම තියන්න සිතුවේ ඇයි?

මෙවර චිත්‍ර ප්‍රදර්ශනය කරන්නට මා තෝරා ගත් තේමාව වුණේ ඓතිහාසික සිද්ධි හා රජ කුමර කුමරියන්ගේ ප්‍රේම කතායි. ඒ අනුවයි මේ චිත්‍ර ප්‍රදර්ශනයට ‘ප්‍රේම පුරාණය’ කියන නම තබන්නේ. ඒ ඔස්සේ චිත්‍ර පනහක් ප්‍රදර්ශණය සඳහා නිර්මාණය කළා. සාලිය - අශෝකමාලා, චිත්‍රා - ගාමිණී, අමරා දේවි - මහෝෂධ පඩිතුමා ආදී ශ්‍රී ලාංකික ජනතාව අතර ප්‍රකට ප්‍රේම වෘත්තාන්ත මා චිත්‍රයට නැගුවා. ඓතිහාසික සිද්ධියක් වුණු දුටුගැමුණු කතාවත් ඒ අතරටම ඇතුළත්.

ඓතිහාසික හා රජ කතා චිත්‍රයට නැඟීමේදී ඔබ වඩා සැලකිලිමත් වුණේ කුමන කාරණා සම්බන්ධයෙන්ද?

මේ චිත්‍ර නිර්මාණය කිරීමේදී ඓතිහාසික කියන කාරණය සැලකිල්ලට ගන්න මට සිදු වුණා. මීට වසර ගණනකට පෙර සිදුවුණු ඒ සිද්ධි, ඒ සිද්ධි සිදු වුණු පරිසරය, ඔවුන් ඇඳ පැළඳ ගෙන සිටිය ආභරණ, වස්ත්‍රාභරණ තොරතුරු සොය ගන්නට මට බොහොම උදව් වුණේ මහාවංශය නම් අපේ ඉතිහාස ග්‍රන්ථයයි. ඒ වගේම ඉතිහාසය, පුරා විද්‍යාව පිළිබඳ ගවේෂණ කරන, ඒ පිළිබඳ මනා දැනුමක් තිබෙන ආචාර්ය – මහාචාර්යවරුන් සමඟ නිතරම මා සාකච්ඡා කළා. ඒ ආශ්‍රයෙන් ගොඩනඟා ගත් කරුණු කාරණා ඔස්සේ මා මගේ සිතේ මැවුණු රූප මගේ ශෛලියෙන් චිත්‍රයට නැගුවා.

ජයසිරි සේමගේ කියන චිත්‍ර ශිල්පියාගේ රේඛා චිත්‍ර ශෛලියට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා?

චිත්‍ර ශිල්පියෙක් විදියට මගේ කලා ගමන ආරම්භ කරන්නේ අම්බලන්ගොඩ කියන මගේ ගමෙන්. ඒ ගමනේදී මා මටම කියලා ආවේණික ශෛලියක් ගොඩනඟා ගත්තා. ඒ ශෛලියට කොයි තරම් අය ආදරය කරනවා ද කිව්වොත් විදෙස් රටවල තිබෙන විහාරවල පවා මට චිත්‍ර අඳින්නට ආරාධනා ලැබුණා. චීනයේ මෑන් - පැට්ලාම් විහාරයේ කළ චිත්‍ර ඊට එක උදාහරණයක් පමණයි.

ඉදිරියේදී අතිගරු ජනාධිපතිතුමා බුදුන් උපන් තැන වූ ලුම්බිණියෙහි නිර්මාණය කරන්න යන ශ්‍රී ලංකා විහාරයේ චිත්‍ර අඳීන්නත් තෝරාගෙන තිබෙන්නේ මාවයි. මේ වන විට මා විදේශ රටවල් බොහොමයක චිත්‍ර ප්‍රදර්ශන තියලා තියෙනවා. මගේ චිත්‍රවලට තිබෙන ඉල්ලුම මාව චිත්‍ර අඳින්නට දිරිමත් කරනවා.

‘ප්‍රේම පුරාණය’ චිත්‍ර ප්‍රදර්ශනයේ ඉදිරි කටයුතු පිළිබඳ යමක් කිව්වොත්?

චිත්‍ර ප්‍රදර්ශනය උදේ 9.00 ට ආරම්භ කළාට පස්සේ රාත්‍රී 7.00 දක්වා දින තුනක් ප්‍රදර්ශනය කරනවා. ආරම්භක දවස වුණු 04 වැනිදාට මේ ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා විදියට සහභාගි වන්නේ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා වන වි. ජ. මු. ලොකු බණ්ඩාර මහත්මයා. ඔහුත් සමඟම මහාචාර්ය ජී. එල්. පීරිස් අමාත්‍යතුමාත්, ඔහුගේ බිරියත්, ජපන් තානාපතිතුමා ඇතුළු විද්වතුන් රැසක්ද ඒ සඳහා සහභාගිවීමට නියමිතයි.

ඒ වගේම චිත්‍රවලට කැමැති සියලු දෙනාටම මා මේ ප්‍රදර්ශනය බලන්න ආරාධනා කරනවා. විශේෂයෙන්ම චිත්‍ර පිළිබඳ අධ්‍යයනය කරන අයට, පාසල් ළමුන්ට මේ ප්‍රදර්ශනය ඉතා වැදගත් වේවි.