වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඩැෆඩිල් මලට තනු නිර්මාණය කළ

ඩැෆඩිල් මලට තනු නිර්මාණය කළ

නිලුෆ පෙරේරා

සිත මා සොරා ගෙන ගියේ ඇයි ද ඩැෆඩිල් මලේ’

ගායන ශිල්පී දයාන් විතාරණ ගයන මේ ගීතයේ තනු නිර්මාණය නිලුෆ පෙරේරාගේය. ඒ නිර්මාණ මතකයත් සමඟම ඇයගේ නවතම ගීත නිර්මාණ කිහිපයක් යළිත් රසිකයන්ට තිළිණ කිරීමට පැමිණ තිබේ.

ගොඩක් කාලෙකට පස්සේ නේද?

ඔව්, අවුරුදු දහයකට පස්සේ.

එච්චර කාලයක් මොකද කළේ?

මම වෘත්තියෙන් ව්‍යාපෘති කළමනාකරණ අංශයේ රැකියාව කළා. ඒ නිසා අවුරුදු දහයක්ම විදෙස්ගතව හිටියා. ඒත් මම සංගීතය අමතක කළේ නෑ.

කොහොමද ක්ෂේත්‍රයට එන්න පසුබිම හැදුණේ?

පාසල් යන කාලේ ඉඳලම ඉංග්‍රීසි සහ සිංහල භාෂාවලින් කවි, ගීත ලිව්වා.

 ඔබ පාසල් ගියේ?

යහපත් එඬේරා කන්‍යාරාමය, කොටහේන.

ඔබ ගුවන් විදුලියට සම්බන්ධව ගීත ලිව්වා නේද?

ඔව්, ගුවන් විදුලි සංස්ථාවේ ඉංග්‍රීසි සේවයේ ගීත ලිව්වා. ඒ වගේම ‘නැවුම් මිහිර’ නමින් තිබූ ගුවන් විදුලි වැඩ සටහනටත් ගීත ලිව්වා.

ඔබ වැඩියෙන් කැමති ගීත ලියන්නද?

ඔව්. මගේ ගොඩක් හැකියාව තියෙන්නේ ලියන්න. ඒ වගේම තනු නිර්මාණය සහ ගායනයටත් හැකියාව තියෙනවා.

ඔබගේ අලුත්ම ගීතයේ ගායනය ඔබේම නේද?

ඔව්. ‘නිදියන්න පුතුනි’ ගීතයේ පද රචනය, ගායනය සහ තනු නිර්මාණයත් මගේ.

මේ ගීතයේ තේමාව මොන වගේද?

මම මුලින්ම මේ ගීතය ලිව්වේ මායිම් ගම්මානයක ජීවත්වන අම්ම කෙනෙක්ගේ සහ දරුවකුගේ සිතිවිලි කැටි කරලා. ඒ අපේ රටේ යුද්දෙ තියෙන කාලේ. ඒ කාලේ ඇතුළත මට මේ ගීතය රසිකයින් අතරට ගෙන යන්න බැරි වුණා. ඒ නිසා මම යළිත් මේ ගීතයම වෙනසක් කළා. යුද්ධය නිමා වූ නිදහස් රටට ගැළපෙන විදිහට මෙය නිර්මාණය කළා.

මේ ගීතය දැනට අසන්නන්ට රස විඳින්න පුළුවන්ද?

ඔව්. ඩයලොග් දුරකතන ජාලයේ 87564158 සහ මොබිටෙල් දුරකතන ජාලයේ 74713936 අංක වලින් රිංග් ටෝන් ලෙසින් රස විඳින්න පුළුවන්.

ඊට අමතරව ඔබ කරපු නිර්මාණ මොනවාද?

දැනට සිංහල ගීත තුනක් සහ ඉංග්‍රීසි ගීත හතරක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම මේ ගීත විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා.

මෑත කාලයේ කරපු තනු නිර්මාණ මොනවාද?

ශශිනි ඉද්දමල්ගොඩ, ජූඩ් තෝමස් යන නවකයින්ට තනු නිර්මාණයෙන් දායක වුණා.

ඉදිරියේදී මොනවද තියෙන සැලසුම්?

මම ආසයි ඉදිරියේදී ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා ගී පද රචනයෙන් දායක වෙන්න.

වර්තමාන සංගීතය පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?

මේ වන විට ගීත කලාව වෙනමම පැත්තකට යොමු වෙලා තියෙන්නේ. ඒක කාලයත් සමඟ වෙනස් වූවක්. මගේ බලාපොරොත්තුව වෙන්නේ ජනතාවගේ හිතට දැනෙන ගීත ලියන්න. ඩැෆඩිල් මල මගේ පළමු තනු නිර්මාණය ගැන මට තියෙන්නෙ පුදුමාකාර සතුටක්.

මේ ගමන් මෙඟ්දී ඔබට මතක් කළ යුතුම අයත් ඇති?

ඔව්. මට මේ වෙලාවෙදි මගේ සැමියා මතක් කරන්නම ඕනෑ. ඔහු සරෝජන් පෙරේරා. ඔහුගේ සහාය නොලැබෙන්න මම අද ගීත ලියන්නේ නැහැ. ඒ වගේම මහේන්ද්‍ර පැස්කුවල්, කසුන් සඳරංග, අසංග මිහිජය, බිලී ප්‍රනාන්දු, දිලුප් ගබඩාමුදලිගේ විශේෂයෙන් මතක් කරන්න ඕනෑ.

ඔබව සම්බන්ධ කර ගන්න පුළුවන් කොහොමද?

විද්‍යුත් තැපෑල හරහා පුළුවන්.

[email protected]