වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මම අනුහස් වගේ අණ්ඩපාලයෙක් නෙවෙයි

මම අනුහස් වගේ අණ්ඩපාලයෙක් නෙවෙයි

රංගනයෙන්, නිවේදනයෙන් දස්කම් පාන මාධව විජේසිංහ හදවතින් කතා කරයි

මේවාට තමයි සුන්දර කරදර කියන්නේ

“අනේ මෙහෙමත් අණ්ඩපාලයෙක්”

තූර්යා නරඹන බොහෝ දෙනෙකුට අනුහස් දකිද්දි එහෙම හිතෙනවා ඇති. කටකාර, දඟකාර, සෙල්ලක්කාර ඔහු තූර්යා ටෙලි සිතුවමට ගෙනෙන්නේ සොඳුරුතම ආලෝකයක් බව නොකියාම බැරිය.

මාධව විජේසිංහ.

අනුහස්ට කදිමට පණ පොවන්නේ ඔහුය. මාධව අනුහස්ව පැත්තකින් තියලා සැබෑ ස්වරූපයෙන් අපව හොයාගෙන ආවා. බලමු ඔහු පවසන්නේ මොනවද කියලා.

අනුහස් හොඳම තැන මේ කතාව පටන් ගන්න?

අනුහස්ට ගොඩක් අය ආදරෙයි. මුලදී ඒ චරිතය එතරම් හිට් වුණේ නැහැ. එන්න එන්න අනුහස් ස්කොර් කරගෙන ඉදිරියටම ආවා. මේ කාලයේ තූර්යාගේ වීරයා අනුහස්. තූර්යා හි ඩිරෙක්ටර් රවීන්ද්‍ර විජේරත්න, තරංග දිසානායක ඇතුළු ඒ කරන කට්ටිය මතක් කරන්නම ඕනෑ. අනුහස්ගේ සාර්ථකත්වයේ කොටසක් ඔවුන්ටත් හිමි විය යුතුයි.

ඔබ මීට ප්‍රථම රවීන්ද්‍ර විජේරත්නගේ නාට්‍යවල රඟපාලා නැහැ?

ඔව්. රවී අයියා ජනප්‍රිය නාට්‍ය ගොඩක් කළා. ඒත් මම හිටියේ නැහැ. මං මුලින්ම නළුවකු විදිහට එන්න හිටියේ රවී අයියගේ නාට්‍යයකින්ම තමයි. ඒ ‘අපි අපි වගේ’. මාව ඊට තෝර ගත්තා. ඒත් ඒ චරිතයට මට යන්න බැරි වුණා. ඒක කළේ තුසිත කියන නළුවා. මං හිතන්නේ ඔහු මටත් වඩා හොඳට ඒ චරිතෙ කළා. අනතුරුව මට වස්සානෙ සිහිනය නාට්‍යයට ආරාධනා ලැබුණා. ඉන් මගේ රංගන චාරිකාව ඇරැඹුණා.

රුව ගුණ මුදල් ඇති ඕනෑම අයකුට අද නළුවකු වන්න පුළුවන්. ඔබට මේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

මං කියන්න ඕනෑ මං උඩින් පාත් වෙච්ච නළුවෙක් නෙවෙයි කියන එක. රවී අයියා අපි අපි වගේ නාට්‍යයට මාව තෝර ගත්තේ වර්ක්ෂොප් ගණනාවකට මං සහභාගි වුණායින් අනතුරුව. රංගනය ගැන දැනගෙන හොඳට තෙම්පරාදු වෙලයි කැමරාව ඉස්සරහට ආවේ. ගොඩක් අය කියනවා අනුහස්ව මං තාත්ත්විකව නිරූපණය කරනවලු. අපි ලබාගත් ඒ පරිචය නිසයි එහෙම කරන්න පුළුවන් වුනේ. අනෙක් කරුණු කාරණා මත නළුවකු වෙන්න හැකියි. ඒත් ටික කාලයයි රැෙඳන්න පුළුවන් වන්නේ.

ඔබ වේදිකාවටත් ආවා නේද?

ජය ශ්‍රී චන්ද්‍රජිත්ගේ උමතු සංවරුසාව තමයි මාව වේදිකා නාට්‍ය නළුවෙක් කළේ. බොහොම සතුටින් වේදිකාවේ රැඟුවා. මුදල් අවශ්‍යතාව මත ෆීල්ඩ් එකට එන අයට නම් වේදිකාවේ ඉන්න අමාරුයි. ගොඩක් අය වේදිකාව හැර යන්නෙත් ඒ හේතුව මතයි. වේදිකාව කියන්නේ රංගනයට පාඨශාලාවක්. කොතරම් කාර්ය බහුල වුණත් වේදිකා නාට්‍යයකට කතා කළොත් ඒක හොඳ නම් මං අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා.

කොහොමද ඔබේ නිවේදන කටයුතු?

හොඳීන් කෙරෙනවා අයියේ. දෙරණ ලිට්ල් ස්ටාර් සහ දවල් හීන වැඩසටහන් තමයි මං මෙහෙයවන්නේ.

ලිටල් ස්ටාර් වැඩසටහනට සහභාගි වන්නේ පුංචි ළමුන්. හොඳ අත්දැකීමක් වෙන්න ඇති නේද ඔවුන් සමඟ වැඩසටහනක් මෙහෙයවීම?

ෆුල් ජොලි. ඒ අයත් එක්ක කතා කරද්දී මං ඔවුන්ගේ වයසට යනවා. නැත්නම් සමහර අය කතා කරන්නෙත් නැහැ. දවසක් පානදුර හෝටලයක ලිට්ල් ස්ටාර් රෙකෝඩිං එකක් තිබුණා. ටික වේලාවකින් කාමරයක ලොකු සද්දයක් එක්ක දුමක් එනවා දැක්කා. ඒ කාලේ යුද්දෙ ඉවර වුණා විතරයි. මං හිතුවේ බෝම්බයක් කියලා. මට පුංචි ළමයින්ව මතක් වුණා. ඕනෑ දෙයක් වෙච්චදෙන් කියලා මං ඇතුළට දිව්වා. බැලින් නම් හෝටලයේ ගෑස් නලයක් පිපිරිලා තියෙන්නේ. වාසනාවට කාටවත් හානි වෙලා නැහැ. අපි දළුගම සරසවි ස්ටුඩියෝ එකේ ප්‍රෝගෑම් එක කරන දවසකත් ඔය වගේ දුම් ප්‍රශ්නයක් ආවා. පන්දම් පත්තු කරමින් තමයි ඒ ළමයි නැටුම ඉදිරිපත් කළේ. පන්දම්වල දුම වැඩි වෙලා ස්ටුඩියෝ එක පුරාම පැතිරුණා. ටක් ගාලා දොරවල් ඇරල ළමයි ටිකව එළියට යැව්වා. එදා ඉඳලා සරසවි ස්ටුඩියෝ එකට පන්දම් ගෙන ඒම තහනම් කළා.

ඔබත් භාෂාව මිශ්‍ර කරලා කතා කරන නිවේදකයෙක්ද?

මං ඉතා වගකීමෙන් කියනවා මම භාෂාව මිශ්‍ර කරලා කතා කරන්නේ නැහැ. අනික මගේ ලයිව් ප්‍රෝගෑම් එක වන දවල් හීන කරද්දී කවුරු හරි ෆෑන් කෙනෙක් කතා කළොත් අපිට කෝලර් කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ. භාෂාව මිශ්‍ර කරලා කතා කිරීම හරිම වැරැදියි. සිංහල රටේ ජනතාවට සිංහලෙන් කතා කරන්න ඕනෑ.

මාධව වෘත්තීමය කලාකරුවෙක් නෙවෙයි?

ඒක හරි. මං වෙන තැනක ජොබ් එකක් කරනගමනුයි කලාවෙ ඉන්නේ.

කොහෙද ඔබ වැඩ කරන්නේ?

ඒක රහසක්.

අනුහස්ට පෙම් බඳීන ගැහැනු ළමයින්ගෙගන් මොන වගේ ප්‍රතිචාරයක්ද මඟතොටේදී ඔබට ලැබෙන්නේ?

මරේ මරු. ගැහැනු ළමයින්ගෙන් ලැබෙන ආදරේ වැඩිකමට මං සමහර ඇමතුම්වලට ආන්ස්වර් කරන්නෙත් නැහැ. ඒ තරම්ම කතා කරන අය වැඩියි. ඇතැම් අය මාව හම්බු වෙන්න ඕනෑ කියනවා. මඟදී මුණ ගැසුණාම හරිම අමාරුවෙනුයි බේරිලා එන්නේ. මේවට තමයි සුන්දර කරදර කියන්නේ.

දිගටම රඟපාන්නද අදහස?

මගේ නාට්‍ය කිහිපයක්ම එන්න තියෙනවා. ආරාධනාත් සැලකිය යුතු මට්ටමක තියෙනවා. චරිත ලැබෙනකම් රඟපානවා.

මාධවගේ ගෙවල් කොහෙද?

මත්තගොඩ. ගම කිව්වට පස්සේ මාව හොයාගෙන එයිද දන්නේ නැහැ.

මාධව බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වගේ පේනවා?

අපොයි ඔව්. මං ෆුල් ජෙලියේ ඉන්නේ. අනුහස් වගේ අණ්ඩපාලයෙක් නම් නෙවෙයි.