වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ගීත සංරක්ෂණයට ජීවානන්දට සම්මාන

ගීත සංරක්ෂණයට ජීවානන්දට සම්මාන

ඉතාලියේ මිලානෝ නගරයේ වසර 40 කට ආසන්න කාලයක් සේවා කටයුතු කරන පිටකෝට්ටේ ජීවානන්ද පෙරේරා හැටේ හැත්තෑව දශකයේ ජනප්‍රිය ගීත සංරක්ෂණය කොට ජාතික ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ ප්‍රචාරය වන මතකයේ රැඳුණු ගි, නිතර නෑසෙන හද රැඳි ගී සහ කඳුරට සේවයේ නොමියෙන ගී යන වැඩසටහන්වලට ලබා දීම වෙනුවෙන් පසුගියදා සම්මානයට පාත්‍ර විය.

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ බෞද්ධ කාන්තා සම්මේලන ශාලාවේ පැවති පැරැණි ගී රසික සංසදයේ උත්සවසයේදී ඔහු මෙම සම්මානය ලබා ගන්නා ලදී.

විරිදු ගායනයට ගුවන් විදුලියෙන් ඇරැයුම්

විරිදු ගායනාවලට පුනර්ජීවයක් ලබාදිමේ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශය ආරම්භ කර ඇත. ඒ සඳහා දිවයින පුරා විසිරී සිටින විරිදු ගායනයෙහි සමත් දක්ෂයන් තෝරා ගැනීම සඳහා හඬ පරීක්ෂණයක් පැවැත්වීමටත්, ඔවුන්ට ගුවන් විදුලි වැඩසටහනක් ලබාදීමටත් ඒ සංගීත අංශය අපේක්ෂා කරයි.

මේ සඳහා ඉදිරිපත්වීමට කැමැති විරිදු ගායනයෙහි සමත්, දක්ෂතා ඇති අයට විරිදු ශිල්පී පරීක්ෂණයට තම ඉල්ලුම්පත යොමු කළ හැකිය. ඒ විරිදු ශිල්පී පරික්ෂණය, නිෂ්පාදක – විරිදු සුරල් සංගීත අංශය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, කොළඹ 07 යන ලිපිනයටයි.