වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




දුලීකාගේ විවාහය ගැන කටකතා

දුලීකාගේ විවාහය ගැන කටකතා

ඔව්! දුලීකා මගේ පෙම්වතිය තමයි
අන්තිමේ අහුවුණේ සුජීව

දුලීකා මාරපන විවාහයට සූදානම් වනවා කියන එක දැන් අලුත් ආරංචියක් නෙවෙයි. හැබැයි ඇයගේ පේ‍්‍රමවන්තයා කියලා දුලීකා තවම හෙළිදරව් කළේ නැහැ. ඒත් එහෙන් මෙහෙන් ලැබෙන නිළනොලත් ආරංචිවලට අනුව බොහෝදෙනා අනුමාන කරන්නේ ඇගේ අතගන්නට සැරසෙන්නෙ සුජීව පි‍්‍රයලාල් නම්වූු ජනපි‍්‍රය නළුවාලු. මේ දෙන්නම ජනපි‍්‍රය හින්දා ඒ කට කතාව ක්‍ෂෙත්‍රය පුරා පැතිරුණේ තටු අරගෙන. ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද කියලා දුලීකා සහ සුජීවගෙන් අප කෙලින්ම විමසුවා. ඔවුන් ඊට පිළිතුරු සැපයුවේ මෙන්න මෙලෙසින්.

* දුලීකා... කොහොමද ඔබේ විවාහයේ වැඩ කටයුතු?

කිසිම ප්‍රශ්නයක් නැහැ. කරගෙන යනවා.

* ඇයි ඔබ විවාහ වන්නේ කාත් එක්කද කියලා කියන්නේ නැත්තේ?

ඒක රහසක්. ජුනි මාසය වෙද්දී සියල්ල අනාවරණය කරන්නම්කො.

* බොහෝ දෙනෙකු කියනවා ඔබේ අතගන්න සැරසෙන්නේ සුජීවලු?

මගෙ අම්මේ. ඇයි ඔච්චර බොරු හදන්නේ.

* ඒ කතාව දැන් ක්‍ෂෙත්‍රය පුරා තදින් පැතිරිලා?

සුජීවයි මමයි අත්තම්මා නාට්‍යයේ එකට රඟපානවා. ඒක වෙන්න ඇති ඔය වගේ කතාවක් හැදුණේ.

* හේතුවක් නැතුව කතාවක් හැදෙන්න බැහැනේ දුලීකා?

මං විවාහ වෙනවා කියලා දැනගත්තු වෙලාවේ ඉඳලා බඳින්න යන කෙනාව එක එක්කෙනා අනුමාන කළා. මම කිව්වනෙ මම බඳින කෙනා නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් කියලා. අන්තිමේ ඒකට අහුවුණේ සුජීවව. ඒ වෙලාවේ නොයෙකුත් නම් යෝජනා වෙලා තියනවා. හොඳ වෙලාවට මාර්ටින් වික්‍රමසිංහ වගේ නමක් යෝජනා වුණේ නැත්තේ. එහෙම නම් කියයි දුලීකා බඳින්නේ මාර්ටින් වික්‍රමසිංහ කියලා.

* දුලීකා සාමාන්‍යයෙන් ඕනම දෙයක් ගැන බොහෝම විවෘතව කතා කරනවා. නමුත් මේ දෙය ගැන ඔබ අදහස් දක්වන්නේ හරිම පරිස්සමින්. ඇයි ඒ?

මේ කාරණාව පුද්ගලිකයිනේ. අනික මඟුලක් කෙරෙනවට වඩා මඟුලක් කඩන අයනේ අප සමාජයේ ඉන්නේ. මට ඒ පාර්ශවයෙන් යෝජනාවක් ආවා. මං ඊට කැමැති වුණා. එච්චරයි.

* ඔබට මීට ප්‍රථම විවාහ යෝජනා අනන්තවත් එන්න ඇති. ඒ අතරේ මේකට පමණක් කැමැත්ත ප්‍රකාශ කළ හේතුව මොකක්ද?

මගෙත් එක්ක කෙනකුට වසන්න හරි අමාරුයිනේ. මොකද මං පැය අටේ ජොබ් එකක් කරන කෙනෙක් නොවන නිසා. ඔහු මං ඉන්න තත්ත්වය තේරුම් අරගෙනයි මේ යෝජනාව ගෙනත් තියෙන්නේ.

* ඔබ බඳීන්නෙ සුජීව නෙවෙයි කිව්වා. නමුත් ඔබ දෙදෙනා ගැන නොයෙකුත් මාධ්‍යවල පළවුණා. ඇයි ඒවා ඉවත් නොකොට ඒ කතාව ඇත්ත කියලා මිනිස්සුන්ට ඉඩදීලා නිහඬව හිටියේ?

මං පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ. දැන් තමයි ටිකෙන් ටික ආරංචි ලැබෙන්නේ. බලමු ඒ ගැන මොනවද කරන්න පුළුවන් කියලා.

* සුජීව මේ දවස්වල ඔබ නම සම්බන්ධ කරමින් පැතිරෙන කතාව ගැන මොනවද කියන්න තියෙන්නේ?

මොන කතාවද...

* ඔයයි දුලීකයි...

අහා ඒකද

* කියන්න බලන්න ඒක ගැන?

එහෙම විශේෂ දෙයක් කියන්න නැහැ.

* ඒ කියන්නේ දුලීකා ඔබේ පෙම්වතියද?

ඔව්, දුලීකා මගෙ පෙම්වතිය තමයි. හැබැයි සැබෑ ජීවිතයේ දී නම් නෙවෙයි.

* එහෙනම්?

මගේ අලුත්ම වේදිකා නාට්‍යයේ පුහුණුවීම් මේ දවස්වල පැවැත්වෙනවා. මමයි දුලීකයි එහි රඟපාන්නේ පෙම්වතුන් විදිහට.

* නමුත් ඔබ දෙපොළ ගැන ලොකු කටකතාවක් දැන් හැදිලයි තියෙන්නේ?

වෙන්න ඇති. අපි දෙන්නා සමීපතම යාළුවොනේ.

* දුලීකා කියනවා එයා බඳින්න ඉන්නේ නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක්ලු?

ඉතින් දුලීකා දන්න එකම නළුවා සහ අධ්‍යක්ෂවරයා මම නෙවෙයිනේ.

* ඔබ දුලීකා ගැන මොකද හිතන්නේ?

ඇය අතිදක්ෂ නිළියක්. ඇයගේ හැකියාවෙන් තවමත් කවුරුවත් ප්‍රයෝජනයට අරන් නැහැ.

* ඇයගේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නද ඇයව අරගෙන වේදිකා නාට්‍යක් කරන්නේ?

එහෙම කියන්න බැහැ. නමුත් ඇය පුළුවන් උපරිමයෙන් මෙහි රඟපානවා.

* ඔබ දෙපොළ ගැන පැතිරුණ කතාව ගැන මොකද කියන්නේ?

අපෙන් අහන් නැතිව අපි ගැන යම් දේවල් පළකරන්නේ කොන්ද නැති මිනිස්සු.

* ඔබ මේ හදන්නේ ඔබගේ සහ දුලීකාගේ නම් යොදාගෙන ඔබේ වේදීකා නාට්‍යයට වක්‍රාකාරයෙන් ප්‍රචාරණයක් ලබා ගන්නද?

ඒවගේ බාල බොළඳ වැඩ මං කරන්නේ නැහැ. පුද්ගලික ජීවිතවල දේවල් කලාවට මොකටද? අනික මේ නාට්‍යයේ ප්‍රචාරණ කටයුතු කරන්නේ මම නෙවෙයි. මම ඒ කාර්යය ප්‍රචාරණ ආයතනයකට බාරදීලා ඉවරයි.