වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




මමත් දරුවත් එක්ක තනි ගමනක් යන කෙනෙක්

මමත් දරුවත් එක්ක තනි ගමනක් යන කෙනෙක්

නිල්මිණී බුවනෙක

මේ දිනවල තිරගත වන ‘සැමීගේ කතාව‘ සිනමා පටයේ සැමීගේ මවගේ චරිතයට පණ දෙන්නේ ඇයයි. ඈ නිල්මිණි බුවනෙකයි. රංගනයෙන් යමක් කළහැකි චරිතයකට පණ පෙවීමේ දැඩි ආශාවකින් සිටින නිල්මිණි සිය රංගන ගමන අරඹන්නේ වේදිකාවෙනි. සම්මානනීය නිළියක් වන නිල්මිණි ගේ රංගනය ඔබට දැකිය හැකි වන්නේ පුංචි තිරයටත්, රිදී තිරයටත් වඩා වේදිකාව ඔස්සේයි. ඈ අප සමඟ ‘සැමීගේ කතාව’ චිත්‍රපටය පිළිබඳ මෙසේ කතාබහක යෙදුණාය.

මේ දිනවල ඔබ වේදිකාවත් සමඟ කාලය ගත කරනවා?

ඇත්තටම ඔව්, අසංක සායක්කරගේ වේදිකා නාට්‍යයක පුහුණුවීම් කටයුතු ආරම්භ කළා. ශාන් ඇලෝසියස් කරන නාට්‍යයෙත් පුහුණුවීම්වලට සහභාගි වෙනවා. ඊට අමතරව අනෝජා වීරසිංහත් එක්ක නාට්‍ය වැඩමුළු, යෝග ව්‍යායාම වගේම ඇගේ පන්තිවලටත් සම්බන්ධ වෙලා ඉන්නවා. සයිමන් නවගත්තේගමයන්ගේ දුව ඉදිරියේදී කරන්නට නියමිත ළමා චිත්‍රපටයකටත් ආරාධනා ලැබුණා. එහි රූපගත කිරීම් ඉදිරියේදී ආරම්භ කරාවි.

ඔබ රඟ පෑ ‘සැමීගේ කතාව’ මේ දවස්වල තිරගත වෙනවා. එහි කළ රඟපෑමට ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?

මා සැමීගේ අම්මාගේ චරිතය නිරූපණය කළේ අධ්‍යක්‍ෂවරයා කියූ විදියටයි. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න ගත්තට පස්සෙයි මට දැනුනේ කොයිතරම් වෙනස් ආකාරයකින් ද මම ඒ චරිතයට පණ පොවලා තියෙන්නේ කියලා. ඒ වග වඩාත් දැකලා තිබුණේ මගේ ආදරණීය රසිකයන්. ඔවුන් සමහරු මට එස්. එම්. එස්. එවලා තිබුණා. සමහරු දුරකථනයෙන් කතා කළා. ඒ වගේ එක් රසිකයෙක් ලියුමක ලියලා එවලා තිබුණු දෙයක් තවමත් මට මතකයි. නිල්මිණි බුවනෙක කියන කෙනා එතන සොයා ගන්න බැහැ කියන කාරණය ඔහු ඉස්මතු කළා වගේම, ඔයාලා ටෙලි නාට්‍යවල කරන්නේ මොනවද කියන ප්‍රශ්නයත් නඟලා තිබුණා. ඇත්තටම ඒ අය ගැන මගේ සිතට සතුටක් වගේම පුදුමයකුත් දැනුණා.

සැමීගේ මව ගේ චරිතයට ඔබට රංගනයෙන් සහභාගි වෙන්න අවස්ථාව උදාවෙන්නේ කුමන අයුරෙන්ද?

ඒ චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා වුණු විමල් දේශපි‍්‍රය මාව හඳුනනවා. ඔහු තමයි මට සම්මුඛ පරීක්‍ෂණය සඳහා එන්න කිව්වේ. ඔහු කිව්ව නිසා මමත් ඊට සහභාගි වුණා. ඒ වෙනකොටත් මම චිත්‍රපටය ගැනවත්, චරිතය ගැනවත් දැනගෙන හිටියේ නැහැ. කොහොම වුණත් ගිහින් කතාබහ කරලා මම ආවා. ඒ එන අතරමඟදීමයි මාව චරිතයට තෝරා ගත් බව දැනගන්නට ලැබුණේ. රඟපාන්න තිබෙන චරිතය ගැනත්, චිත්‍රපටය ගැනත් මම දැනගත්තේ ඊට පස්සෙයි. සියලු රූගත කිරීම් අවසාන වුණාට පස්සේ අධ්‍යක්‍ෂවරයා කිව්ව කතාවක් නිසා මම තවත් පුදුම වුණා. ඔහු ප්‍රකාශ කළේ ඔහු කැමැත්තක් දක්වන ලංකාවේ නිළියන් දෙන්නෙක්ගෙ සංකලනයක් මගේ රංගනයෙන් දැක්ක බවයි. ඒ වගේම චිත්‍රපටය මුල්වරට ප්‍රදර්ශනය කළ දවසෙත් මා චරිතය සාර්ථකව ඉදිරිපත් කළ බවත් ඔහු කිව්වා. ඒ වගේ ප්‍රකාශයක් අධ්‍යක්‍ෂවරයාගෙන්ම අසන්නට ලැබීම පිළිබඳව නිළියක් විදියට මට තියෙන්නේ සතුටක්.

පිටපතේ සිටිය සැමීගේ අම්මගේ චරිතය ඔබ අවබෝධ කරගන්නේ කොහොමද?

සැමියෙක් නැතිව, දරුවන් දෙන්නත් හදාගෙන බොහොම අමාරුවෙන් තමයි ඈ ජීවිකාව අරගෙන යන්නේ. ඒ වගේ කාන්තාවකට ඈ අවට සිටින අයගෙන් එල්ලවන බලපෑම් වුණත් ප්‍රබලයි. ඒ සියල්ලටම බොහොම උපේක්‍ෂා සහගතව මුහුණ දෙන ඇගේ චරිතයේ මට යමක් කරන්න තිබුණා. එහෙම යමක් කරන්න පුළුවන් චරිතයක් රඟපාන්න මම හිටියේ කොහොමත් කැමැත්තෙන්. ඒ අවස්ථාව මට හිමිවුණා.

සැමී කියන්නේ අඩු මානසිකත්වයක් තිබෙන දරුවෙක්. ඔහුගෙත් මවගෙත් සම්බන්ධය හරියට ගහයි පොත්තයි වගේ?

මමත් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ අත්දැකීම් මේ චරිතයට බලපෑම් කළා. ඕනෑම අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා මොනවගේ තත්ත්වයක සිටියත් බොහෝ වටිනවා. දරුවන්ට අවශ්‍ය වන්නේ ආදරය, කරුණාව වගේ මානුෂීය සම්බන්ධතායි. සැමී කියන්නේ ඒක වඩාත් අවශ්‍ය කෙනෙක්. සැමී සක්‍රිය වෙන්නේ අම්මාගෙන් ලැබෙන ඒ ආදරය කියන මානුෂීය සම්බන්ධතාව උඩයි. මේ වගේ ළමයි සමාජයෙන් කොන්වන නිසා ඒ පිළිබඳ අවබෝධයක් මවකට අවශ්‍යයි. මේ අයගේ දක්‍ෂතා එළි දැක්වෙන්නෙත් ඔවුන්ට ලැබෙන ඒ ආදරය, කරුණාව කියන මානුෂීය සම්බන්ධතා කියන එක හැමෝම වටහා ගතයුතු කාරණයක්. එය මා අපූරුවට වටහා ගත්තා.

අඩු මානසිකත්වයක් තිබෙන දරුවකුගේ මවකගේ චරිතය සාර්ථකව ඉදිරිපත් කරන්නට ඔබ ගේ යම් පෙර සූදානමක් තිබුණාද? ඒ පිළිබඳ අවධානය යොමු කළාද?

මමත් දරුවත් එක්ක තනි ගමනක් යන කෙනෙක්. ඒකත් මට එතනදි විශේෂ වෙනවා. මම අනෝජා වීරසිංහ මහත්මියත් සමඟ විවිධ වැඩමුළුවලට සහභාගි වෙලා තියෙනවා. එහිදී විදේශීය අධ්‍යක්‍ෂවරුන් යටතේ අඩු මානසිකත්වයක් තිබෙන ළමයින් එක්ක වැඩමුළුවලට සහභාගි වීමට මට අවස්ථාව ලැබුණා. එතනදි මට ඒ ළමයින්ව ආශ්‍රය කරන්න පමණක් නෙවෙයි ඒ ළමයින් සමඟ වේදිකා නාට්‍යයක් කරන්නත් වාසනාව ලැබුණා. මගේ ගුරුවරයා වුණු වුල්ෆ් කෙන් මට විශේෂ ආචාරයක් කළා. ඔහුගෙන් ඉගෙනගත් දෙය නියම විදියට මගේ රටේ ළමයින්ට යොදා ගත්තා කියලා.

ඒ වගේම ඒ ළමයින්ගේ අම්මලා නිතරම සිතුවේ අපි නැති වුණොත් මේ ළමයින්ට මොනවා වේවිද කියලයි. ඒ අදහස දෙබසක් විදියට වරක් චිත්‍රපටයේ දී සැමීගේ මවගේ කටෙන් පිටවෙනවා. ඒ දෙබස දුටු ගමන් මගේ මතකයට ආවේ මා ලැබූ ඒ අත්දැකීම් සියල්ලයි. ඒ වගේ අත්දැකීම් රාශියක් ගොනු කරගෙනයි සැමීගේ මවගේ චරිතයට මා පණ දුන්නේ.

මේ චිත්‍රපටයේ තිරපිටපත අතට ගත්තට පස්සේ චිත්‍රපටය පිළිබඳ මොනවගේ හැඟීමක්ද ඔබගේ සිතේ ඇති වුණේ?

යුද්ධයත් සමඟ ගතකළ කාලයේදී ජනවර්ග ඔවුනොවුන් ගැන සිතන්නට පෙලඹුණේ වැරැදි විදියටයි. ඒ නිසා ඔවුන් අතර විවිධ ගැටලු පැන නැඟුණා. ඒ වගේම යුද්ධයේ තිබුණු බිහිසුණු බව, කුරිරු බව හා ඒ නිසාම ඇතිවන හඳුනා ගැනීම අපූරුවට, සියුම්ව අධ්‍යක්‍ෂවරයා තමන්ගේ නිර්මාණයට හසුකරගෙන තිබුණා. පිටපත් කියවන විවත් මට නොදැනුණ කාරණා මා දුටුවේ චිත්‍රපටය නරඹද්දී.

සැමීගේ කතාව කියන්නේ පි‍්‍රයංකර විතානාච්චි කියන නිර්මාණකරුවාගේ පළමු සිනමා නිර්මාණයයි. සිනමාව පිළිබඳ අවබෝධයක් තිබෙන එවැනි අධ්‍යක්‍ෂවරයකු සමඟ වූ ගනුදෙනුව ඔබට දැනුණේ කොහොමද?

ඔහු ඉතාම දක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙක්. මම එහෙම කියන්නේ සෑම අධ්‍යක්‍ෂවරයකුටම බැහැ තමන් දන්න දේ හරි විදියටම අධ්‍යක්‍ෂණය කරන්න. ඒක මම දන්නේ වෘත්තීය ජීවිතයේ මා ලැබූ අත්දැකීම්වලින්. මා විශේෂයෙන්ම ඔහුගේ දැක්ක ගුණාංගයක් වුණේ ඔහු සතු මනා ඉවසීම, උපේක්‍ෂාවයි. නායකත්වය කොයි විදියට අරගෙන යා යුත්තේ කියලා ඔහු අපූරුවට හඳුනාගෙන සිටියා. අපට වඩා ප්‍රවීණ නළු නිළියන්ව වගේම නවක අයව කොහොමද ඔහු මෙහිදී හැසුරුවේ කියන කාරණාවලට අවධානය යොමු කරද්දී ඔහු කෙරෙහි තිබුණු සංයමය මා දුටුවා. ඔහුගේ නිර්මාණයට සුදුසුම අය ඔහු තෝරාගෙන සිටියා. අනික් කාරණය වුණේ දර්ශනතලයේදී ඔහු පළමුව කරන්නේ රඟපාන පරිසරය නිර්මාණය කිරීමයි. ඊට පසුවයි ඔහු අපට උපදෙස් දෙන්නට පැමිණෙන්නේ. එවිට ඒ චරිතයට පිවිසීමට අපට පහසුයි. ඒ නිසා මට හැඟුණේ ඔහු තමන්ගේ අධ්‍යක්‍ෂ භූමිකාව නියම විදියට අවබෝධ කරගෙන තිබුණු අධ්‍යක්‍ෂවරයෙක් විදියටයි.

ඔබගේ චරිතය ප්‍රතිනිර්මාණය කර ගැනීමේදී ජගත් චමිලගෙන් ලැබුණු සහයෝගය මොනවගේද?

ජගත් එක්ක මම මීට පෙරත් රඟපාලා තිබෙනවා. එහිදි ඔහුගේ රංගනයේ යම් විශේෂත්වයක් මම දකිනවා. ඔහු තමන්ගේ චරිතයට සූදානම් වන තරමටම ඔහුගේ වටේ සිටින අනෙක් අයටත් දෙන සහයෝගය අගය කළ යුතුයි. මට මතකයි ඔහුත් සමඟ මම දුරකථනයෙන් කතා කරන දර්ශනය රූපගත කරන විට ඔහුත් ඒ අසල සිටියා. එහි දී සැමීගේ නියම කටහඬ ඔහු මට ඇහෙන්න සැලැස්සුවා. ඒ සඳහා අමාරුවෙන් දැමිය යුතු දත් සෙට් එක දමාගෙන ඔහු දෙබස් කිවවා. ඒ හඬ මට මගේ චරිතයට පිවිසීමට අපූරු ආරම්භයක් සැපයුවා. ඒ වගේ චූටි දෙයක් වෙනුවෙන් වුණත් කැපවෙන්න සූදානම් අපූරු නළුවෙක් විදියටයි ඔහුව මා දකින්නේ.