|
‘කෝපි කඩේට’ 1500යිකෝපි කඩේ ඉන්නේ හොඳට පදම් වුණ නළු නිළියෝ
'කෝපි කඩේ' යනු කලක් මෙරට අතිශය ජනප්‍රිය ටෙලි සිතුවමකි. නමුත් කාලයාගේ ඇවෑමෙන් එය ලබා තිබූ ජනප්‍රසාදය කෙමෙන් අඩුවන්නට විය. කෝපි කඩේ සිටි ඇතැම් ප්‍රබල චරිත ද ඉන් ඉවත්ව ගියෝය. කෝපි කඩේ හරහා ඉමහත් ජනප්‍රියත්වයක් ලද නළු නිළියක් කිහිප දෙනෙකු මේ වන විට ජීවන රඟ මඬලින් ද සමුගෙනය. කෙසේ හෝ අඛණ්ඩව වසර විසි නවයක් පුරා කෝපි කඩේ විකාශය වෙයි. එහෙයින් එය දකුණු ආසියාවේ දීර්ඝතම මාලා නාටකය ලෙසින් ඉතිහාසයට එක් වී ඇත. ජනක මහල්පත් කෝපි කිඩේ හි වර්තමාන අධ්‍යක්ෂවරයාය. නමුත් ඔහු මින් පෙර කෝපි කඩේ ආරම්භක අවධියේදී එහි අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කර තිබේ. ජනක කෝපි කඩේට එකතු වන්නේ එහි පළමුවැනි කතාංගයේ සිටය. මෙම මස 10 වැනිදා එනම් එන ඉරිදා විකාශය වනුයේ කෝපි කඩේ 1500 වැනි කතාංගයයි. එය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ ද ජනක විසිනි. කෝපි කඩේ මූලාරම්භයේදී එහි සාර්ථකත්වයට එක්වෙමින් එහි 1500 කොටස අධ්‍යක්ෂණය කිරීමට ලැබීම එක අතකින් කෙනෙකුට හිමි වූ විරළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. ජනක අප මේ කතාවට එකතු කර ගත්තේ එහෙයිනි. ජනක, මතකද ඔබට වසර විසි නවයකට පෙර? හොඳට මතකයි. මං කෝපි කඩේට එකතු වුණේ ග්‍රැෆික් නිර්මාණකරුවකු විදිහට එහි නාමාවලිය සකසන්නටයි මං සහභාගි වුණේ. කොටස් දහයක් එහෙම වැඩ කරනවා. ඊට පසුව දහ වැනි කොටසේ සිට පනස් දෙවැනි කොටස දක්වා කලා අධක්ෂවරයා හැටියට මමයි දායක වන්නේ. පනස් තුන්වැනි කොටසේ පටන් මම තමයි කෝපි කඩේ අධ්‍යක්ෂණය කරන්නේ. පුදුමාකාර සතුටක් දැනුණේ කෝපි කඩේ වගේ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට ලැබීම ගැන. මොකද ඒ වන විටත් කෝපි කඩේ ආරම්භ කොට වසරක් සපිරිලා තිබුණේ. එහෙයින් මෙරට තුළ කෝපි කඩේ සඳහා සැලකිය යුතු මට්ටමක ජනප්‍රසාදයක් ලබලා තිබුණා. මුල් අදියරේදී ඔබ කොටස් කීයක් අධ්‍යක්ෂණය කරනවාද? කෙටස් දෙසීයකට අධික ප්‍රමාණයක් මං අධ්‍යක්ෂණය කරනවා. ඊට පසුව තුන්සිය පනස් එක් වැනි කොටසේ ඉඳලා මම, ලක්ෂ්මන් මත්තුමගල සහ සුමිත් ජයන්ත ඩයස් සතියක් හැර සතියක් මාරුවෙන් මාරුවට අධ්‍යක්ෂණය කළා. අපෙන් පසුව චන්දික විජයසේන, සමන් ප්‍රනාන්දු හා සුදම් දයාරත්න කෝපි කඩේ නිර්මාණය කළා. ඔබ කොයි කාලේ විතරද කෝපි කඩේ අතහැර යන්නේ? අවුරුද්ද හරියට මතක නැහැ. කොහොම හරි කෝපි කඩේ පන්සීය වෙනකම් මම හිටියේ නැහැ. ඒ වුණාට එහි 50, 100, 150, 200 වගේ සන්ධිස්ථානවල මං හිටියා. මං නැවතත් කෝපි කඩේට එන්නෙ පසුගිය වසරේ මාර්තු මාසයේ. කාලයක් කෝපි කඩේ ඉහළ ජනප්‍රසාදයක් තිබුණා. නමුත් පසුකාලීනව එහි රේටින්ග්ස් හුඟක්ම අඩු වුණා. මොකද ඒ? ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. කෝපි කඩේ රස ගැන් වූ චරිත කිහිපයක්ම ජීවිතයෙන් සමුගැනීමත් ප්‍රධාන කරුණක්. ඔවුනට ආදරය කරපු මිනිස්සු ඔවුන් නැතිවීම තුළින් මහත් වූ සංවේගයට පත් වුණා. එමෙන්ම මෙරට තුළ නාලිකාවන්හි නාට්‍ය වැඩිවීමේ ප්‍රවණාතවය නිසා ද කෝපි කඩේ බලන ප්‍රමාණය අඩු වුණා. කෝපි කඩේ පටන් ගනිද්දී ඔච්චරටම තරඟයක් තිබුණේ නැහැ. ඔබ කියන කතාව ඇත්ත. නමුත් කෝපි කඩේ කතාවල තිබූ දුර්වලකම සහ අනවශ්‍ය චරිත කෝපි කඩේට රිංගීම තුළින් ද ප්‍රේක්ෂකයා ඈත් වූවා නොවේද? ඇත්තම කිව්වොත් ඔව්. පහුගිය කාලයේ කෝපි කඩේ මමවත් බැලුවේ නැහැ. බලන්න තරම් දෙයක් තිබුණ ද කියන සැකය මා තුළ තියෙනවා. ඒ වගේම මගේ හිතවත් කිහිප දෙනෙකුම මට කිව්ව අපි දැන් කෝපි කඩේ බලන්නේ නැහැ කියලා. විවිධාකාර හේතු ඔවුන් ඒ සඳහා ඉදිරිපත් කෙරුවා. හොඳම කතාව තමයි මේක. අපි පින්නවල අලි අනාථාගාරයට ගියා කෝපිකඩේ රූගත කිරීමත් සඳහා. එහි අධ්‍යක්ෂවරයකු කෝපි කඩේට නොසෑහෙන්න දොස් කිව්වා. කෝපි කඩේට වෙළෙඳ දැන්වීම් ඇතුළත් කොට කතාංග නිර්මාණය කිරීම නිසයි ඔහු කෝපි කඩේ නැරැඹීමට නැවතීමේ තිත තබලා තියෙන්නේ. ඔන්න ඔය වගේ දුර්වලකම් නිසා කෝපි කඩේ ප්‍රේක්ෂකයන් බහුතරයක් නැති කර ගත්තා. අනික ඔබ කිව්වා වගේ කෝපි කඩේ තුළ වර්තමානයේ සිටින ඇතැම් චරිත ඒවා කතාංගය තුළට බලෙන් එල්ලපු ආකාරයක් තියෙනවා. ඇතැම් විට ඒවා අනවශ්‍යයි කියලා හිතෙනවා. ඔබ මොනවද ඊට ගත්තු පිළියම්? පළමුව මං කතාංගයන්හි ප්‍රබලත්වය ඇති කළා. මොකද සියල්ලටම පෙර ඒක කරන්න ඕනෑ. කතාව මත නාට්‍යයේ සාර්ථකත්වය 50% කටත් වඩා රඳා පවතිනවා. දෙවනුව මං අනෙකුත් චරිත ද ආවා ගියා ස්වභාවයෙන් නැතුව නාට්‍යයට අනුරූපීව එකතු කර ගත්තා. නව පරපුරේ පිරිස කෝපි කඩේට පැමිණි සිටීම ගැන මොකද කියන්න තියෙන්නේ? කෝපි කඩේ ඉන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ හොඳට පදම් වෙච්ච නළු නිළියන් පිරිසක්. ඔවුන් එක්ක නව පරපුරේ ඇතැම් අයට හැරෙන්නවත් බැහැ. මං මේ ඉතාම වගකීමෙන් කියන්නේ. අලුත් අය මීට වඩා උනන්දු වෙන්න ඕනෑ. නැත්නම් ඉබේම හැලිලා යාවි. මං විසින් තෝරා ගන්නා ලද තවත් අලුත් චරිත කිහිපයක්ම කෝපි කඩේට ගන්න හිතාගෙන ඉන්නවා. ඔවුන් දක්ෂයෝ. කෝපි කඩේට තවත් චෝදනාවක් තිබුණා. ඒ ඉස්සර තරම් ගම පෙන්වන්නේ නැහැ කියන එක? ඔය කතාව මං බැහැර කරන්නේ නැහැ. කෝපි කඩේ වටා බොහෝ පිරිසක් එක් රොක් වුණේ ගම නරඹන්න. අව්‍යාජ ගැමියන් දකින්න. එහෙම නොවුණාම එය ප්‍රබල ගැටලුවක්. මේ වගේ ඇත්ත ගම්මාන ලංකාවේ ඕනෑතරම් තිබිලා තියෙනවා. නමුත් එය ටී. වී. එකේ පෙන්නුවේ කෝපි කඩේ හරහා. ඒ වගේම කෝපි කඩේ චරිත ඉතාම ඉක්මනින් ජනගත වුණා. පොලී මුදලාලි කිව්වම මතක් වෙන්නේ කෝපි කඩේ චරිතය. ඕපදූප හොයන අයට කිව්වේ අබිලිං කියලා. මෙච්චරටම ජනගත වූු ගැමි චරිත ඇති නාට්‍යයක් වෙන නැහැ. මමම ආයෙත් ගම පෙන්වන්න පටන් ගත්තා. මේ වන විට රේටින්ග්ස් පවා වැඩි වෙලා තියෙනවා කෝපි කඩේ. කෝපි කඩේ අතහැර ගිය චරිත නැවත ගෙන එන්නට අදහසක් නැතිද? එහෙම කරන්න අදහසක් තියෙනවා. නමුත් ප්‍රායෝගිකව කරන්නට අමාරු තත්ත්වයකුයි ඇත්තේ. කාලෙකට පසුව ගජං ළමයව ගෙනවා. සුවඳව නැවතත් ගෙන එන්න අමාරුයි. මොකද ඔහු මේ වන විට ගොඩක් මහතයි. අපි දැක්කෙ කෙට්ටු කෙනෙක්වනෙ සුවඳා හැටියට. බලමු ඉදිරියට කරන්න පුළුවන් මොනවද කියලා. ඔබ මේ වන විට කෝපි කඩේ 1500 වැනි කතාංගය අධ්‍යක්ෂණය නිම කරලයි මේ සිටින්නේ. මොකද හිතෙන්නේ? එදා වගේම අදත් මහත් වූ සතුටක් දැනෙනවා. මං බෙහෙවින් වාසනාවන්තයි. මෙවන් වූ නාට්‍යයක 1500 කතාංගය මං වගේ කෙනෙකුට අධ්‍යක්ෂණය කිරිමට ලැබීම කෙනෙකුගේ ජීවිතයේ ලැබෙන මහඟු වූ අවස්ථාවක්. අනික මං කෝපි කඩේ ආරම්භක සාමාජිකයෙක්නෙ. මං නැවතත් කෝපි කඩේ පවුලට එක් වුණා. යළි ඉපදුණා හා සමානයි. කෝපි කඩේ අධ්‍යක්ෂණය කරන්න ගිහින් සිදු වුණ අමතකම නොවන අත්දැකීම ගැන සඳහන් කරමින් මේ කතාව අවසන් කරමු? කෝපි කඩේ රූගත කළ හෝකන්දර ගමේ ලොකු මී හරකෙක් හිටියා. අපිට දර්ශනයකට ඌව අවශ්‍ය වුණා. ඩිංගි මහත්තයා සහ රත්නෙ ළමයා මී හරකගේ ඇඟ උඩ නැගලා එන්න ඕනෑ. ඒ දෙන්නා වැඩේට කැමැති වුණා. හරකත් හරිම හීලෑයි. කියපු විදිහටම ඩිංගි මහත්තයයි රත්නෙ ළමයයි හරකගෙ පිට උඩ නැගලා කැමරාව ඉදිරියට ආවා. එතෙක් ඌ ශාන්තව සිටියේ. නමුත් ඒ අවට ගහලා තිබුණු ලයිට්වලට ඌ කුලප්පු වුණා. ඔළුව වන වනා ඒ මේ අත දිව්වා. අපි ඌට වඩා කුලප්පු වෙලා හිස්ලූ ලූ අත දුවලා බේරුණා. හරකාගේ පිටේ උඩ හිටපු දෙන්නා උඩින් විසි වෙලා වැටිලා තිබුණේ මඩවලකට. හරකා නිසා එදා ෂූටිං කැන්සල්. අපි එදායින් පස්සේ සත්තු නාට්‍යයට ගන්න කොට දැඩි ලෙස කල්පනා කළා.
|