වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




තව ටිකකින් මම මැරෙනවා

තව ටිකකින් මම මැරෙනවා

වසර විසි පහක් පුරා කලා ලොවේ සැරිසරන

උපාලි කීර්තිසේන

‘සල්ලි’ කාලීන ප්‍රසංගයක්

වසර විසි පහක් වෘත්තීය කලාකරුවකු විදිහට ජීවත් වීම ලෙහෙසි දෙයක් නෙවෙයි. එහෙම දිගු කාලයක් කලාව පමණක් වෘත්තීය කර ගත්තු අතලොස්සක් අපේ මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා. උපාලි කීර්තිසේනත් අන්න ඒ කුලකයට වැටෙන කෙනෙක්. ඔහු මෙතෙක් කල් ජීවත් වුණේ කලාවෙන්. ඒ විතරක් නෙවෙයි තමන් එලෙස උපයන ධනය වැයකොට නවකයන්ට නොමිලයේ රංගනයත් ඔහු උගන්වනවා. ඒ වගේම උපාලි ඔහුගේ 'සල්ලි' වේදිකා නාට්‍ය ආරක්ෂක අංශයේ පිරිස වෙනුවෙන් රඟ දක්වන්නේ නොමිලයේ. එහෙම දර්ශන වාර කිහිපයක්ම පහුගිය දිනවල උතුරු නැගෙනහිර පළාත්වල යුද කඳවුරු තුළ වේදිකා ගත කළා. කොහොම හරි උපාලි කලාවට ඇවිත් මේ වසරට අවුරුදු විසි පහයි.

* උපාලි ඔබ අවුරුදු විසි පහක් කලා ලෝකයේ සැරිසරනවා. සුලුපටු කාලයක් නෙවෙයි?

ඇත්ත, මං පාසල් වේදිකාවෙන් තමයි කලාවට එන්නේ. පසුකාලිනව ප්‍රසිද්ධ වේදිකාවට එනවා. ඒ කාලේ අද වගේ නෙවෙයි අතේ සල්ලිත් නැහැ. ඒත් වේදිකා නාට්‍යවලට තියෙන උණ නිසා කොහොම හරි රිහසල්වලට ආවා. එහෙම ඇවිත් වසර හයක් පමණ වේදිකාවේම රැඳී සිටියා.

* සල්ලි නැතිකමින් කිලෝ මිටර් ගණනාවක් පයින් ආව කතාවත් ඔහොම්මම කියමුද?

මං ඉස්සර හිටියේ තොටළඟ එහෙ ඉඳන් බොරැල්ලට පයින් එනවා. කිලෝ මිටරේ වශයෙන් ගත්තොත් දහයකට එහා. සමහර වෙලාවට දිනපතා එන්න කියනවා. ඒත් එනවා.

* ඔබ වේදිකාවට එකතු වන්නේ අත්වැල් ගායකයකු විදිහට. නමුත් ඔබ අද වන විට ජනප්‍රිය නළුවකු ලෙසයි?

ඔව්. මං ගායනයෙහි යෙදී සිටින අතරතුරදී නළුවකු නොමැති අවස්ථාවක මට රඟපාන්න කතා කළා. ඒ චරිතයට මමයි ඒ නළුවා වෙනුවෙන් ගී ගැයුවේ. ඉතිං මං එදා පුළුවන් විදිහට රිහසල් එකට සහභාගි වුණා. එදා ඉඳලා මං නළුවා.

* ඔබ ටෙලි නාට්‍යවලට සහ සිනමාවට එකතු වූ අන්දමත් මතක් කළොත්?

මට ඒ ක්ෂේත්‍ර දෙකටම කතා කළේ රෝයි ද සිල්වා මහත්මයා. ඔහුගේ හොටෙල් ඩී කලබල මගේ පළමු ටෙලි නාට්‍ය. එතකොට රෑ දනියල් දවල් මිගෙල් තමයි පළමු සිනමාපටය.

* සොල්දර ගෙදර නමින් නාට්‍යයක් ඔබ විසින් වේදිකාවට ගෙනාවා. අනතුරුව 'සල්ලි'?

සොල්දර ගෙදර අවුරුදු හතක් වේදිකා ගත කළා. දෙවන නාට්‍ය හැටියටයි සල්ලි නිර්මාණය කළේ. ඒක කාලීන ප්‍රහසනයක්. මේ වන විට දර්ශන වාර දහසකටත් වැඩි ප්‍රමාණයක් පෙන්වලා තියෙනවා. දිනෙන් දින අලුත් පිරිසක් මං සල්ලි සඳහා එකතු කර ගන්නවා.

* 'සල්ලි' සල්ලි බලාගෙන කරන වැඩක් නෙවෙයි නේද?

'සල්ලි' සල්ලි බලාගෙන කළා නම් අද වන විට මං කෝටිපතියෙක්. ඇත්තම කිව්වොත් බොහෝ අවස්ථාවල සල්ලි නොමිලයේ පෙන්නලා තියෙනවා.

* සල්ලි නොමිලයේ පෙන්වන්න පුළුවන්ද?

පුළුවන්. ඒ නිසානේ පෙන්වන්නේ. ආරක්ෂක අංශයේ බොහෝ දෙනෙක් අපේ නාට්‍ය ඉල්ලලා තියෙනවා. ඒ වගේ වෙලාවක මං නාට්‍ය නොමිලයේ පෙන්වලා අවසානයේදී හැට් කලෙක්ෂන් එකක් දානවා. එතකොට රුපියල් තුන් දාහක් හාරදාහක් විතර එකතු වෙනවා. ඒවත් මං අපේ ශිල්පීන්ට බෙදලා දානවා.

* වෘත්තීමය කලාකරුවකු විදිහට ඔබට ලැබෙන ආදායම ප්‍රමාණවත්ද?

දෙවියන්ගේ පිහිටෙන් මට මේ වෙනකම් කාටවත් අතපාන්න සිදු වෙලා නැහැ. කොහොම හරි මට මුදල් ලැබෙනවා ජීවත්වන්න. ගෙදර අයටත් සලකාගෙන මං හොඳින් ජීවිතය ගෙවනවා.

* නමුත් ඔබ තවමත් යන්නේ බස් එකේ කෝච්චියේ. ඔබගේ සමකාලීනයෝ යාන වාහන එහෙම අරගෙන?

මගේ වාහනය ගැන තමයි ඔබ ඔය කිව්වේ. පොදු වාහනය සැපයි මට. එහෙම බස් එකේ කොච්චියේ යද්දී මට මගේ රසික රසිකාවෝ මුණ ගැහෙනවා. ඔවුන් එක්ක කතා කර කර තමයි මං මගේ ගමන යන්නේ. ඒ වගේ වෙලාවන්වලදී මට නොඅඩුව රසික ආදරය ලැබෙනවා.

* නමුත් කලාකරුවා කියන්නේ නිතර පෙනී සිටින්න ඕනෑ කෙනෙක් නෙවෙයි නේද?

නැහැ. මං හිතන්නේ කලාකරුවා කියන්නේ පොදු ජනයා අතරේ ඉන්න ඕනෑ කෙනෙක්. අනික අපි නළුවො වෙන්න ඕනෑ කැමරාව ඉස්සරහ විතරයිනෙ. මේක ජොබ් ඒකක් පමණයි. ඕක අපේ අය තේරුම් ගන්නේ නැහැ.

* ඔබ කියන්නේ කලාකරුවී හැමෝම බස් එකේ යන්න ඕනෑ කියලද?

අපෝ නැහැ. මං කිව්වේ නිතර පොදු ජනයා අතරේ හිටියට කමක් නැහැ කියන එක පමණයි.

* ඔබ වැඩිපුරම කළේ හාස්‍යෝත්පාදක චරිත. එහෙම නළුවකු ලෙසට ඔබව හඳුන්වා දුන්නට කමක් නැතිද?

මං කැමැතියි මාව චරිතාංග නළුවකු ලෙස හඳුන්වනවාට.

* ඒත් ඔබ මතක හිටින වෙනත් චරිතයක් කළේ නැහැනෙ?

ඇයි නැත්තේ හිරු දහසක් යට නාට්‍යයේ මං කළ චරිතය බලන්න. ඒක තනිකරම මැර චරිතයක්නෙ. ඒ නාට්‍ය විකාශය වෙන කාලේ අනුරාධපුරයේදී එහෙ පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිය ශ්‍රී මහා බෝධිය අසලදී මුණ ගැහිලා මට හොඳටෝම බැන්නා. චරිතෙ හරියට කළේ නැතිනම් එහෙම වෙන්නේ නැහැනෙ.

* නමුත් ඔබව වැඩිපුර පිරිසක් දන්නේ විකට රංගන ශිල්පියකු විදිහට?

ඒක හරි. හැම නළුවකුටම විකට චරිත කරන්නට බැහැ. ඒ හින්දා එක අතකින් විකට නළුවකු කියනවට සතුටුයි.

* ඊයේ පෙරේදා දිනයක ඔබව මාරක අනතුරකින් බේරෙනවා. අද වනතුරු ගෙදර අයවත් ඒ ගැන දන්නේ නැහැ?

මීරිගම ගිය වෙලාවක ඒ ළඟ තිබුණු ඇල්ලකට ගියා මං නාගන්න. වතුරට බැහැපු ගමන් මාව ගිලුණා. හොඳටම වතුර පෙවුණා. මට ජීවිතයේ ඔක්කොම දේවල් මතක් වුණා. තව ටිකකින් මං මැරෙනවා නේද කියලත් හිතුණා. ඒත් හාස්කමකින් වගේ දෙයක් වුණා. කවුදෝ කෙනෙක් මගේ කකුල් දෙකෙන් අල්ලලා තල්ලු කළා. ඒ වේගයෙන්ම මං ගොඩට ආවා. මං දෙවියෝ බුදුන් අදහන මිනිහෙක්. මං හිතනවා ඒ ආනුභාවයකින් තමයි මං බේරුණේ.

* වසර විසි පහක කලා ජීවිතය අගයන්න විශේෂ මුකුත් කරන්නේ නැතිද?

අනේ එහෙම මුකුත් කරන්නේ නැහැ. මං තවම පොඩි මිනිහනේ. සුපුරුදු විදිහට ජීවිතය ගෙවිලා යාවි.

* ඒත් උත්සවයක් තිබ්බොත් නේද හොඳ?

තව කාලෙකට පස්සේ පරිණත වුණාම එහෙම එකක් තියන්නම්කො.

* කලාව ගැන ඇහැව්වා ඇති. දැන් මං අහන්නම් ඔබේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්නයක්?

අහන්න, අහන්න. ඕනෑ එකක් අහන්න.

* ඔබ මොකද තවම තනිකඩ?

ඉරණම්කාරිය මුණ ගැසුණේ නැහැ. ඉරණම් නොවන කාරියක් බඳින්නත් බැහැනෙ. ඒ හින්දා තවම තනිකඩයි මං.