|
අමරදේවට හොඳ ඉවසීමක් තිබෙනවා
ඥාති සොයුරු බී. ටී. මෙන්ඩිස් පණ්ඩිත් අමරදේවයන්ගේ අප්‍රකට තොරතුරු හෙළි කරයි
‘රන්සළු’ චිත්‍රපටයේ ‘බඳුන් පිරී ඉතිරෙන මී’ ගීතය ලිව්වේ මමයි
කලණ මිතුරෙකු සිටීම ජීවිත ගමන් මඟට මහත් වූ ශක්තියකි. 'මිතුරු තෙමෝ දුක සැප දෙකෙහිම පවතී බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යති' කියන්නේ එවන් වූ මිතුරන් ගැනය. බී. ටී. මෙන්ඩිස් යනු එක්තරා අන්දමින් කල්්‍යාණ මිතුරෙක් ලෙස හැඳින්විය හැකිය. ඔහුව කල්‍යාණ මිතුරා කරගත් තැනැත්තා ඔහුට පමණක් නොව සමස්ත සිරිලකටම සුවිශේෂී අයෙකි. ඒ පණ්ඩිත් අමරදේවයාණන්ය. බී. ටී. අමරදේව සූරීන්ගේ හොඳම මිතුරා වේ. වසර ගණනින් සඳහන් කළොත් ඒ මිතු දම ආරම්භ කොට අඩ සියවසක් ඉක්මවා යයි. බී. ටී. සතු අමරදේව මතකයන් ගුලාවකි. එමෙන්ම ගීත රචකයකු ලෙසින් ද කටයුතු කළ බී. ටී. අමරදේවයාණන් ගැයූ ගීත රැසක් සංස්කරණය කළ තැනැත්තා ද වේ. තම කලා ජීවිතය මෙන්ම අමරදේවයාණන්ගේ මතකයක් පිළිබඳව කතාබහක නියැළීමට බී. ටී. මෙසේ සරසවියට ගොඩ වැදිණ, ඔබ පිළිබඳ හඳුන්වාදීමේ සටහනේ මං ඔබ අමරදේවයන්ගේ ළඟම ඥාතියකු බව සඳහන් කළේ නැහැ. එය පළමුව ඔබ විසින්ම පවසා මේ කතාව අරඹමු? මගේ තාත්තාගේ තාත්තා සහ අමරදේවගේ අම්මගෙ තාත්තා සහෝදරයෝ. ඒ ඥාතිත්වය මත අපි දෙන්නා පොඩි කාලේ පටන් ආශ්‍රය කළා. අමරදේවත් මමත් ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලේ ශිෂ්‍යයෝ. ඔහු මට වඩා ඉහළ පංතියේ. නමුත් පාසලේ විවේක කාලවලදී අප මුණ ගැසුණා. අමරදේවයාණන් කලාවට යොමු වෙද්දී ඔබ ගුරුවරයකු බවට පත් වෙනවා? මාව පේරාදෙනිය සරසවියට තේරෙනවා. ඉන් ඉවත් වන්නට පෙර කෑගලු විද්‍යාලයේ ගණිතය ගුරුවරයකු වශයෙන් පත්වීමක් ලැබෙනවා. එහෙ ඉන්න කොට මට අවස්ථාව ලැබුණා එක්තරා පංතියක සිංහල සාහිත්‍ය ගුරුවරයකු නැති වෙලාවක සිංහල සාහිත්‍ය උගන්වන්න. එම විද්‍යාලයේ විදුහල්පතිගෙන්ම තමයි ඒ ආරාධනාව ලැබුණේ. විශ්ව විද්‍යාලයේ භාෂා සාහිත්‍ය හදාරලා තිබුණු හින්දා මට ඒ විෂය උගන්වන එක අමුතු දෙයක් වුණේ නැහැ. එදා මං උගන්වන අන්දම දුටු විදුහල්පතිතුමා දිගින් දිගටම මට සිංහල සාහිත්‍ය උගන්වන්න ඇරැයුම් කළා. පසුකාලීනව ඒක මට ගීත රචකයකු වන්නට හොඳ පෙරහුරුවක් වුණා. ඒ කාලෙදිත් ඔබට අමරදේවයාණන් මුණ ගැසුණාද? ඔව්. සති අන්තයේ මං කොළඹ ආවම අමරදේවගේ ගෙදර යනවා. ඒ වන කොටත් අමරදේව ජනප්‍රිය චරිතයක්. මං ඔහු ගැන ලියවුණු පත්තර එකතු කරලා ඔහුට ගිහින් දෙනවා. කාර්යබහුලකමත් එක්ක සමහර පත්තර ගන්න ඔහුට මඟ හැරෙනවා. ඒවා මං ඔහුට ගෙනත් දුන්නාම ඔහු බෙහෙවින් සතුටු වෙනවා. ඔබ අමරදේවයන්ගේ ගෙදර ගියාම ඔහුට ඇහෙන්නට පොත් කියවනවාලු. ඇත්තද ඒක? අමරදේව එන්න එන්න කාර්යබහුල වුණා. ඉතින් ඔහුට පොතක් පතක් කියවන්නවත් වෙලාවක් නැහැ. මං එහෙ ගිය වෙලාවට මං කියවපු පොත්වල අන්තර්ගතය ඔහුට පවසනවා. ඒ වගේම පොත් පෙරලගෙන ඔහුට ඇහෙන්නට කියවනවා. අමරදේව හරිම සංවේදියි. පොත්පත්වලටත් බෙහෙවින් ළැදියි. ඒවට වෙලාව තිබුණේ නැති එක තමයි ප්‍රශ්නයක් වුණේ. නමුත් මං කරපු වැඩේ හින්දා පොත් නොකියෙව්වා කියලා පාඩුවක් වුණේ නැහැ. ඔබ ඔය අතරේ ගීත රචනයට යොමු වෙනවා? මට අමරදේව බොහෝ අවස්ථාවල බල කළා ගීත රචනයට එන්න කියලා. නමුත් උනන්දුව නැති හින්දාමදෝ මන්දා මං ඊට වැඩිය යොමු වුණේ නැහැ. නමුත් අමරදේවට ලැබුණු ගීත බොහොමයක් මවිසින් සංස්කරණය කළා. ඒවා බොහෝ විට රචනා කරලා තිබුණේ අති ප්‍රවීණ ගීත රචකයෝ. නමුත් ඒවාහි සමහර වචන වැරැදියි. සත්කුළු පවු වළලු මතින්, වන්දනීය වූ ජයතු ලංකා, හද බැති මල් මා අමරදේවට ලියපු ගීත අතලොස්සෙන් කිහිපයක්. ඔබ චිත්‍රපට සඳහා ගීත රචනා කළා නේද? ඔව්. අමරදේව සංගීත සැපයූ චිත්‍රපට සඳහා පමණයි මං ගීත ලිව්වේ. සාරවිට චිත්‍රපටයේ බන්දා ජය කෙහෙළි, රන්සළු චිත්‍රපටයේ බඳුන් පිරී ඉතිරෙන මී වගේ ගීත මං ලිව්වේ. ඒ වගේම ලක්සෙට කොඩිය චිත්‍රපටයට මං රචනා කළ රට බල්ලට ගියදෙන් ගීතය ගුවන් විදුලියේ තහනමකට ලක් කළා. එස්. මහින්ද හිමියන්ගේ කවි පෙළක් ඇසුරෙන් තැනුණ අමරදේවයන්ගේ ඉතාම ප්‍රකට ගීතයක් වන මුණි සිරිපා සිඹිමින්නේ ගීතයේ වචන ගීතයකට සුදුසු බව ප්‍රථමයෙන්ම කිව්වේ ඔබ නේද? ඔය ගීතය අඩංගු වුණේ 'නිදහසේ දැහැන පොතට' මං අමරදේවට මේ ගැන කිව්වා. ඊට පස්සේ මං ඉන් කවි පේළි කිහිපයක් අරගෙන අමරදේවට දුන්නා. ඔහු බෙහෙවින් කැමැති වුණා. 'මේක කියලා අපට ප්‍රශ්නයක් වේවිද දන්නේ නැහැ' අමරදේව එහෙම කිව්වේ ටිකක් බරෑරුම් විදිහට. ගුවන් විදුලියේ රස මියුරු වැඩසටහන වෙනුවෙන් තමයි ඔහු මේ ගීතය ගයන්න හිටියේ. එහි නිෂ්පාදක වුණේ මඩවල එස්. රත්නායක. මඩවල තරයේම කියා සිටියා ඒ වගේ ගීතයක් තමන්ගේ වැඩසටහනට ගයනවා නම් ගීත රචකයාගෙන් අවසර අරගෙන එන්න කියලා. 'නිදහසේ දැහැන' පොත් රචකයා එස්. මහින්ද හිමි. උන්වහන්සේ ඒ වන කොට අපවත් වෙලා. එම පොතෙහි අයිතිය තිබුණේ එහි ප්‍රකාශක පී. කේ. ඩබ්ලිව්. සිරිවර්ධන කියලා මහත්මයකුට. ඔබේ මතක ශක්තිය නම් අපූරුයි. ඉතින් කියන්නකෝ ඊට පස්සේ වුණේ මොනවද කියලා? මමයි අමරදේවයි ගියා සිරිවර්ධන මහත්මයාව මුණ ගැහෙන්න. ඔහු හිටියේ මරදාන පොත්හලක. සිරිවර්ධන ටිකක් රළු ගතිගුණ තියෙන අමුතු විදිහේ කෙනෙක්. අපි කෙලින්ම එතුමා මුණ ගැහිලා කාරණය කිව්වා. ඔහු කවි පේලි ටික බලලා කිව්වේ නැතෑ ඒ කවි ටික ගත්තම පොතේ ගත යුත්තක් නැහැ කියලා. මං තවදුරටත් කරුණු පැහැදිලි කළා. අවසානයේ ඔහු කිව්වා රාජකාරි ලියුමක් මගින් අවශ්‍යතාව ලිඛිතව දන්වන්න කියලා. ඔබලා එහෙම කළාද? අමරදේවයන් කිව්වේ නැද්ද ඒ වැඩේ අල්ලලා දාමු කියලා? නැහැ. අමරදේවට හොඳ ඉවසීමක් තියෙනවා. අපි ලිඛිතව දැන්නුවා. ඒත් ප්‍රතිචාරයක් නැහැ. ආයේ ලියුමක් දැම්මා ඒත් පිළිතුරු නැහැ. වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද, ඔහු අපි' එවන ලියුම් ලියුම්කාරයාගෙන්වත් ගන්නේ නැතුව ආයෙත් රිටන් කරලා. පුදුම මිනිහෙක්නේ? එකනෙ. අන්තිමේ අපි ගියා ඔහුව හමුවන්න. ඊට පසුව ඔහු ගෙදර එන්න කිව්වා. අපි ගියා, ඔහු අපිට වාඩි වෙලා ඉන්න කියා කිව්වා. සෑහෙන වෙලාවක් එහෙම හිටියා. මිනිහා නැකතක් එනකම් ඉඳලා නැකතට අපට අවසර දුන්නා. ඒවලෙම ගිහින් ගීතය පටිගත කළා. එදාම තමයි එය ප්‍රචාරයත් වුණේ. අමරදේවයන්ට තරහ ගිය වෙලාවල් ඔබ දැකලා නැද්ද? තරහා ගියාට වඩා ඔහුගේ ඉවසීමේ සීමාව පැනපු මොහොතක් මට මතකයි. ගුවන් විදුලියට අමරදේව ගීතයක් නිර්මාණය කළා කරත්ත කවි ආශ්‍රයෙන්. එය පටන් ගන්නේ 'කළුගල් තලාලයි පාරට දමන්නේ' කියන කවි පේලියෙන්. ගුවන් විදුලියේ බලධාරීන් කිව්වා කළුගල් කියන වචනය ගැලපෙන්නේ නැහැ අයින් කරන්නයි කියලා. ඒ වෙනුවට කැටගල් යනුවෙන් යොදන්න කිව්වා. කළුගල් කැටගල් කළාම වෙනස බලන්නකො. අන්න එදා නම් අමරදේවට ටිකක් හිත හොඳ නැති වුණා. ඔය අතරේ ඔබ ගුරු වෘත්තියට සමු දී දිනමිණ පුවත්පතට එනවා. නමුත් ඔබට සේවය කරන්නට අවස්්ථාව ලැබුණේ නැහැ? මාව දිනමිණ පත්‍රයට ගත්තේ එවකට කර්තෘ එම්. ඒ. ද සිල්වා මහතා. ඒ 1965 දී. මං රැකියාවට එන දිනම සිල්වා මහත්මයා හිටියේ නැහැ. ඔහු අයින් වෙලා. ඔහු නැතුව මටත් ඉන්න මොකක්ද වගේ. ඉතින් මම රැකියාවට ආවේ නැහැ. රංජිත් විජේවර්ධන මහත්මයා පවා මට කතා කළා. නමුත් හිතට හරි නැහැනෙ.
|