|
ජන ගීතය කියන්නේ අපේ ගීතයයිචන්ද්රකාන්ති ශිල්පාධිපති
ගීතය රූපයට මුසු කරන ප්‍රාසාංගික අත්දැකීම ‘ ගී රූ’ 10 වැනිදා ලයනල් වෙන්ඩ්ට්හිදී එළිදැක්වේ
ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික නර්තනය සහ බෙර වාදනය පිළිබඳ කතා කිරීමේදී ආචාර්ය පියසාර ශිල්පාධිපති සහ චන්ද්‍රකාන්තිි ශිල්පාධිපති යුවළ විශේෂ වන්නේය. මන්ද ශිල්පාධිපති යුවළ එකී ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර අනුපමේය වන බැවිනි. එපමණක් නොව චන්ද්‍රකාන්තිි ශිල්පාධිපති ජන ගායනාවේ උන්නතිය වෙනුවෙන් කළා වූ සේවයද අනගිභවනීය වේ. ශිල්පාධිපති යුවළ අපේ සාම්ප්‍රදායික කලාවන් සුරක්ෂිත කිරීමේ කාර්යයේ පමණක් නොව ජාත්‍යන්තරය වෙතද ගෙන යමින් අපේ අභිමානය ලෝපුරා ප්‍රචලිත කිරීමේ ගෞරවයද දිනා සිටින්නේය. චන්ද්‍රකාන්ති ශිල්පාධිපති දශක තුනකට ආසන්න කාලයක් පුරා ගුරු වෘත්තියේ නියැළෙමින් පාසල් දරුවන්ගේ නර්තන හැකියාව ඔප් නැංවීමේහි ලා සුවිශාල මෙහෙවරක නිරත වූවාය. එසේම දේශීය ජන සංගීතයේ උන්නතිය සේම ජාත්‍යන්තරමය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ද ඇය සම්මානනීය වූවාය. නව වසරේදී ඇය දේශීය ජන සංගීතයට පෙම්බැඳි රසික රසිකාවන් වෙනුවෙන් ‘ගී රූ’ සංයුක්ත තැටිය තිළිණ කරන්නට සූදානම්ව සිටින්නීය. Voice From The History තේමාව ඔස්සේ එළිදකින ‘ගී රූ’ ගැන චන්ද්‍රකාන්ති ශිල්පාධිපති සරසවිය වෙත අදහස් මෙලෙස සටහන් වේ. ගීතයට රූපය මුසු කෙරෙන මේ අලුත්ම නිර්මාණ කාර්යය ගැන කියමින් අපේ කතාබහ අරඹමු? දේශීය නර්තනය හා ජන සංගීතය වෙනුවෙන් මේ දක්වා මම සංයුත්ක තැටි හතරන් එළිදක්වා තිබෙනවා. පළමු වැන්න හෙළ ‘ජන ගී’. ජන ගී වල තාල කිහිපයක් රැගෙන සාම්ප්‍රදායික ලෙසින් ඉදිරිපත් කිරීම එහි අරමුණ වුණා. පැල් කවි, නෙළුම් කවි, පාරු කවි ආදී දේ එහි ඇතුළත් වුණා. අනතුරුව සාම්ප්‍රදායික නර්තනයේ දහඅට වන්නම සංයුක්ත තැටි දෙකකට නිර්මාණය කළා. මම දරුවන් වෙනුවෙන් ගීත රචනා කර ‘ගී රඟ රේඛා’ සංයුක්ත තැටියෙන් ඉදිරිපත් කළා. එහි සංගීතය නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. ඒ නිර්මාණ කාර්යයේ නව පියවර ලෙසින් ‘ගී රූ’ සංයුක්ත තැටිය ලබන ජනවාරි 10 වැනිදා එළිදකින්න නියමිතයි. මට උවමනා වුනේ ජන ගීයේ තියෙන මව් ගුණය වෙනස් නොකර නර්තනයට උචිත අයුරින් නිර්මාණය කර ජනතාව අතට පත් කිරීමයි. ගීතයෙන් රූ රටා මැවීම අරමුණු කෙරෙන නිසා මෙය ‘ගී රූ’ නමින් නම් කළා. අපේ රටේ සාම්ප්‍රදායික නර්තනය, බෙර වාදනය මෙන්ම ජන ගායනාවේද උන්නතිය වෙනුවෙන් කැප වූ ඔබ වර්තමානයේ මේ කලාවන්ට තිබෙන තැන පිළිබඳ අදහස? එදා තිබූ සංස්කෘතියට වඩා අද සංස්කෘතිය ගොඩක් වෙනස්. සංස්කෘතිය එක තැන පල් විය යුතු දෙයක් නොවෙයි. එය කාලයට අනුරූපව යාවත්කාලීන විය යුතු දෙයක්. නමුත් ඒ යාවත්කාලීනවීම අපට දරාගන්න හැකි අපට ගැළපෙන දෙයක් විය යුතුයි. අද වෙනකොට සාම්ප්‍රදායික බව ගිළිහෙමින් වෙනත් නිර්මාණ බිහි වෙනවා. ඇත්තටම ජන සිංදු මිසක් ජන ගායනාවේ මූලික ලක්ෂණ ඒ නිර්මාණවල දකින්න නැහැ. එකම තාලයට ගැයෙන ගායන ලෙසින් බොහෝ දෙනා ජන ගී අර්ථ දක්වනවා. ඇත්තටම ඒකාකාරිබව විඳින්න සංසුන් ජීවන රටාවක් අපට නැහැ. ඒ නිසා හැමෝටම අවශ්‍ය වන්නේ ඒකාකාරි බවෙන් අත්මිදෙන්නයි. මේ සමඟින් අපේ ජන ගායනා ගිළිහී යාවිදෝ කියන සැකය මට ඇති වුණා. අපේ ජන ගායනා, ශාන්තිකර්ම ආදියෙහි තියෙන ඇතැම් නාද රටා ජනතාව අතරේ ප්‍රචලිත වුණා මදි. ඒ වෙනුවෙන් ‘ගී රූ’ මෙහෙවරෙහි සූදානම කෙසේද? පැරණි මුතුන්මිත්තන් ගෙන් අපට උරුම වූ මේ ජන ගීතයෙන් ඔවුන්ගේ සිතුම් පැතුම්, අපේ සංස්කෘතිය, දේශීය සංගීතය, ආගම දහම ආදී මේ හැමදෙයක්ම පිළිබිඹු කෙරෙනවා. අපි වර්තමානයේදී මේ දේවල් ආරක්ෂාකර නොගත හොත් අනාගතයට ඒවා ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ කාර්යය තරුණ පිරිසක් සමඟින් සිදු කරන්න තීරණය කළා. මගේ ගෝලයෝ ඔවුන්ගේ ගෝලයන් සමඟින් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඇත්තටම මම මේ නිර්මාණ කාර්යය ඉටු කළේ මුදල් සෙවීමේ පරමාර්ථය මූලික කරගෙන නොවෙයි. එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් සියලු දෙනාටම විවෘත ආරාධනයක් කරනවා. ලබන ජනවාරි 10 වැනිදා පස්වරු 6.30ට ‘ගී රූ’ එළිදැක්වීම වෙනුවෙන් ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවට එන්න කියලා. ඒවගේම මම මෙය සංයුක්ත තැටියක් ලෙසින් ඉදිරිපත් කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. මොකද මම ඩීවිඩි තැටියක් ලෙසින් ඉදිරිපත් කළා නම් අනාගතයේ බිහි වෙන්නේ මේ නිර්මාණයේ කොපියක් විතරයි. නමුත් මේ ඔස්සේ තව අලුත් නිර්මාණ බිහි කරන්න උනන්දුවක් ඇති වෙනවා. අපේ ජන ගීයේ ගමන් මඟ ගැන සඳහන් කළොත්? ජන ගීතය කියන්නේ අපේ ගීතය යි. එය රටේ ජනතාවගේ ගීතය යි. මේ ගීතය තුළ තිබෙන්නේ රටේ සංස්කෘතියේ පිළිබිඹුවයි. අපේ රටේ වගේ වෙනත් රටවල අම්මලා දරුවන් උකුළේ තියාගෙන ගීත ගයන්නේ නැහැ. දරුවා නැළවෙන්නේ අම්මාගේ නැළවිලි ගීතයෙන්. අපේ විවාහ මංගල උත්සවයක් ගත්තත් එහි අපේ සංස්කෘතික උරුම ගැබ් වෙලා තියෙනවා. ඒ වගේමයි අපේ සදාචාරයත් විශේෂයි. අපි දෙමව්පියන්ට වඳිනවා. ඒ වගේම ජන ගීත ගත්තොත් ඒවා ආගම දහම සමග සම්බන්ධ වෙලා තියෙනවා. අපි තුන් සරණේ කියනවා. පැල් කවි, පාරු කවි, කරත්ත කවි, ගොයම් කවි සමඟින් අපේ ජීවන වෘත්තින් සමඟ ජන ගීයේ බැඳීම විශේෂ වෙනවා. දැන් කාලයේ වගේ අතීතයේ රූපවාහිනිය එහෙම තිබුණේ නැහැනේ. ඒ කාලයේ පාලුව, කාන්සිය මකා ගන්න ගැමි ජනතාව විවිධ ක්‍රීඩාවල නිරත වුණා. අවුරුදු උත්සව, පෙරහැර ආදී හැම කටයුත්තකදීම ජන ගීය ප්‍රධාන වුණා. මේ හැම දෙයක් ගැනම සිතා බැලුවොත් උපතේ සිට මරණය දක්වා සෑම කාර්යයකදීම අපේ ජන ගීතය ප්‍රධාන තැනක් ගන්නවා. ඒ කියන්නේ අපේකම. රටක පොත පතේ දැනුමෙන් යුතු බුද්ධිමතුන් පිරිසක් ඉන්නවා. ඔවුන් රචනා කළ ගීත ‘සේ ගීත’. ප්‍රශස්ති, හටන් කවි, ශාන්ති කර්ම කවි, සන්දේශ කාව්‍ය සේ ගීත අතරට ඇතුළත්. ඒ වගේම පොත පතේ දැනුමෙන්ම නොවුණත් දැනුමෙන් පොහොසතුන් ගම්වලත් ඉන්නවා. මේ ගැමි ජනතාවගේ දුක, වේදනාව, සතුට ආදී වූ හැම දෙයක්ම ගැබ් වෙන්නේ ගැමි ගීතයේ. ‘ගී රූ’ එළිදැක්වීමෙහිලා ගුරු - ගෝල දායකත්වයත් විශේෂයි? ගුරුවරයෙක් දරුවෙකුට දෙන්න තියෙන දේ නම් තම ශිල්පය හදවතින්ම දරුවන්ට ලබා දීමයි. අපට කෙනෙකුගේ ආදරය බලෙන් ලබා ගන්න බැහැ. ඒ වගේම ගුරු ගෞරවයත් බලෙන් ලබා ගන්න බැහැ. මම එදා පටන්ම දරුවන්ට ආදරයෙන් ශිල්ප ලබා දුන්නා. කවදාවත් ගුරු මුෂ්ටියක් තියා ගත්තේ නැහැ. ඒ බැඳීම දරුවන් කෙතරම් උස්මහත් වෙලා වෙන් වෙලා ගියත් නැති වෙන්නේ නැහැ. ඉතිං මේ අවස්ථාවත් මට මගෙන් ඉගෙන ගත් හැම දරුවෙකුටම දෙන්න බැහැ. කිහිප දෙනෙක් විතරක් ‘ගී රූ’ වෙනුවෙන් දායක වෙනවා. චන්දන වික්‍රමසිංහ ශාස්ත්‍රීය නර්තනය ඉගෙන ගන්න අපි ලඟට ආවා. ඔහු අද මෙරට වගේම ජාත්‍යන්තරය පවා ජය ගත් නර්තන ශිල්පියෙක්. අපෙන් වෙන් වෙලා ගියත් අදටත් ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකදීම අපි ගැන සොයා බලනවා. රඛිත වික්‍රමරත්නත් ‘නාද්‍රෝ’ සමඟින් අද බෙර වාදනයෙන් ජාත්‍යන්තරයට ගිය දරුවෙක්. රඛිත අපේ ළඟට බෙර වාදනය ඉගෙන ගන්න එනකොට වයස අවුරුදු හයයි. අපෙන් ඉගෙන ගත් විදූෂා සූරිගේ අද ඔස්ට්‍රේලියාවේ ජීවත් වුණත් එරටදී අපේ නර්තනයේ ඉදිරිය වෙනුවෙන් විශාල මෙහෙවරක නිරත වෙනවා. ‘ගී රූ’ එළිදැක්වීමේ ප්‍රසංගය වෙනුවෙන් ඇය ඇයගේ ගෝලයන් දස දෙනෙක් සමඟින් පැමිණෙනවා. ප්‍රසන්ත රූපතිලක අපෙන් සාම්ප්‍රදායික බෙර වාදනය පුහුණු කළ දක්ෂ දරුවෙක්. ඔහුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. මගේ දුව මාධවී පුංචි කාලයේ පටන් හැදුනේ වැඩුනේ බෙර සද්දේ සමඟින්. වයස අවුරුදු හතේදි ඇය මුලින්ම අපි සමඟ විදේශ සංචාරයකට සහභාගි වුණා. ඇය මානව සම්පත් කලමනාකරණ අංශයට යොමු වුණා. ‘ගී රූ’හි ඇයගේ දායකත්වයත් විශේෂයි. නිර්මාණ කාර්යයට පමණක් නොවෙයි වෙනත් කාර්යයන් රැසක් ඔස්සේ තවත් බොහෝ දෙනා දායක වෙනවා. මෙහිදී ජන සංගීතයේ නව සංයෝජනය ගැනත් කතා කළොත්? ‘ගී රූ’ සංයුක්ත තැටියේ එන සෑම නාද රටාවක්ම නිර්මාණය කළේ මම. නවතාවයකින් ජන ගීයේ තාලය මෙහිදී ඉදිරිපත් කරලා තියෙනවා. වර්තමාන තරුණ පරම්පරාව පැරණි දේ භාවිතයෙන් අලුත් නිර්මාණ බිහි කිරීම පිළිබඳ ඔබේ අදහස? අපි නැටුම සංගීතය ගැන විග්‍රහ කළොත් ඒක විවිධාකාරයි. අපේ දේ අරගෙන ජාත්‍යන්තරයට ගිය බොහෝ යොවුන් නිර්මාණ ශිල්පීන් ඉන්නවා. භාතිය - සන්තුෂ් ගත්තාම ජන ගී වලින් නොයෙක් නිර්මාණ ඔවුන් බිහිකරලා තියෙනවා. සහන් රන්වල ජන ගීතයෙන් නිර්මාණ කරන්නේ තවත් වෙනස් පැත්තකින්. ඒ ඔස්සේ විවිධ සේවයන් ඉටු වෙනවා. අපේ නාද රටා රැකෙන්නේ පාසල් පද්ධතියේ තියෙන විෂය ධාරා, විශ්වවිද්‍යාවල අධ්‍යයන කටයුතු ආදියට එක් වූ අංග මඟින්. ‘ගී රූ’ ගැන කතා කළොත් විශාල පරාසයක විහිදී ගිය අපේ ජන සංගීතය මේ සංයුක්ත තැටියට ලඝුකර ගත්තේ කෙසේද? මම විවිධ පැති තෝරා ගත්තා. මෙහි පළමු අංගය වෙන්නේ ‘සෙනෙහස’. අම්මා කෙනෙකුට දරුවෙක් කෙතරම් උස්මහත් වුණත් පුංචි දරුවෙක්ම තමයි. දරුවා වයසින් මුහුකුරා ගියත් අම්මා තම දරුවා ලෙස බලන්නේ අර පුංචි කාලයේ බැලූ ලෙසින්මයි. ඒ වගේම දරුවෙකුගේ සිත තුළත් අම්මා වෙනුවෙන් සෙනෙහසක් පවතිනවා. ‘ගී රූ’ හි අපේ ජන ගී ඇසුරෙන් එය සෙනෙහස තුළින් ඉදිරිපත් කරනවා. දෙවැන්න ‘මංගලම්’හිදී සුබ මුහුර්තියට ආසිරි ගෙනෙමින් රැඟුමින් ගී රූ මැවෙනවා. තෙවැන්නට රජුන්ගේ ගුණ ගැයෙන ‘ප්‍රශස්තිය’තෝරා ගත්තා. ඊළඟට මම තොරා ගත්තේ ‘මුසලඩි වන්නම’ යි. මේක ටිකක් සාම්ප්‍රදායික පැත්තෙන් එළියට ගියා. නාද්‍රෝ සමඟින් රඛිත එය නිර්මාණාත්මකව ඉදිරිපත් කරනවා. ‘ගී රූ’ හිදි ‘නාරිලතා’ විශේෂ වෙනවා. මගේ ගුරු දේවයන් පණීභාරතයන්ගේ බොහෝ ඉදිරිපත් කිරීම්වල තිබූ අංගයක් තමයි නාරිලතා. මම දහස්වාරක් නාරිලතා ගායනා කරලා ඇති. මගේ ජන ගායනාවට අත් වැලක් වුණේ පණිභාරත සර් කියන ගෞරවය හැමදාම මගේ හිතේ තියෙනවා. මේ නිර්මාණ කාර්යයේදී සර්ට උපහාරයක් වෙනුවෙන් නාරිලතා මේ වෙනුවෙන් ඇතුළත් කළා. ‘රැඟුම් ගී’ මෙහි එන තවත් අංගයක්. රැඟුම් ගී කියන්නේ අපේ සන්දේශ කාව්‍යවල තිබූ නළඟන රැඟුම් ඇසුරෙන් කළ නිර්මාණයක්. ගැමියාගේ ජීවත වෘත්තිය ගැන කියන්නේ ‘සකපෝරුව’ යි. වළං කර්මාන්තය කෙරෙන මේ සකපෝරුවෙහි කටයුතු ආරම්භ කිරීමට පෙර චාරිත වාරිත්‍ර රැසක් අනුගමනය කරනවා. මේ සියල්ල සමඟින් වළං වෙළෙඳ පොළට යාම දක්වා වන ක්‍රියාවලිය එයින් දැක්වෙනවා. මල්බලි උපත ගත්තේ බලි ශාන්ති කර්මයෙන්. ඒ වගේම ගැවුලත් විශේෂයි. මේ ගැවුල අතීතයේ තිබූ වාද්‍ය භාණ්ඩයක් නොවෙයි. ආචාර්ය පියසාර ශිල්පාධිපති විසින් ගැටබෙරයත් දවුලත් එකතු කළ නිර්මාණය ගැවුල ලෙසින් නම් කළා. මේ වෙනුවෙන් මම උපත් කවියකුත් නිර්මාණය කළා. ප්‍රසන්ත රූපතිලක මේ ගැවුල ප්‍රචලිත කිර්මේ කාර්යයේ නිරත වෙලා ඉන්නවා. ‘ගී රූ’ එළිදැක්වීමේ ප්‍රසංගයේදී එය ඔබට දැක ගන්න පුළුවන්.
|