වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




හෝ ගානා පොකුණ ගතානුගතිකත්වයෙන් මිදුණු චි ත්‍ර ප ට ය ක්

හෝ ගානා පොකුණ ගතානුගතිකත්වයෙන් මිදුණු චි ත්‍ර ප ට ය ක්

යශෝධරා - කුසුම්සිරි

අපව ධෛර්යවත් කළේ ස්වර්ණා මල්ලවාරච්චියි

මේ දිනවල ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙයි. ඒ පිළිබඳ සමාජයේ විවිධ කතිකා ඇති වී තිබේ. ළමා චිත්‍රපටයක් ලෙස මේ නිර්මාණය ඔබට පිදෙන්නට ක අධ්‍යක්ෂවරයා මෙන්ම මුල්වුණු දෙපළක් වෙති. ඒ යශෝධරා සරච්චන්ද්‍ර හා කුසුම්සිරි ලියනාරච්චි ය. ඔවුන් ඊට සහභාගි වන්නේ නිෂ්පාදකවරුන් දෙපළක ලෙස ය. මේ පෙළ ගැසෙන්නේ ‘හෝ ගානා පොකුණ’ට ඔවුන් දැක් වූ දායකත්වය පිළිබඳත්, නිෂ්පාදකවරුන් ලෙස වර්තමානයේ සිනමා ක්ෂේත්‍රයේ මුහුණදෙන ගැටලු පිළිබඳත් ‘සරසවිය’ සමඟ කළ කතාබහකිනි.

නාට්‍ය කරන එක අතහැරලා චිත්‍රපට කරන්න යොමුවෙලා වගෙයි නේද ?

ඇත්තටම මේක හැමෝම අහන ප්‍රශ්නයක්. බොහෝ වෙලාවට ගතානුගතික නිෂ්පාදකවරු නම් වෙන්නේ මුදල් අතිරික්තයක් තියාගෙන, හොඳ පිටපතක් හොයාගෙන, හොඳ අධ්‍යක්ෂවරයෙක් ළඟට ගිහින් චිත්‍රපටයක් කරන එකයි. ඒත් මෙහිදි සිද්ධ වුණේ හාත්පසින්ම වෙනස් තත්ත්වයක්. ඉන්දික ෆර්ඩිනැන්ඩුත් සමඟ තිබුණු අපේ සම්බන්ධයත් එක්ක ඔහු මෙල්බන්වලට ආවට පස්සේ ඇතිවුණු කතාබහේ ප්‍රතිඵලයක් ලෙසයි මේ නිර්මාණය එළිදකින්නේ. ඒ වනවිට ෆර්ඩි තමන්ගේ සිතේ ඇතිවුණු නිර්මාණය පිළිබඳ අදහස අතහැරලයි තිබුණේ. මේ ගැන ඔහු පැවසුව මොහොතේ කොසේ හෝ සිදුවිය යුතු නිර්මාණයක් ලෙසයි අපට හැඟුණේ. එහෙම වුණත් ඒ වනවිට අපේ අතේ මුදල් අතිරික්තයක් තිබුණෙත් නැහැ. ඒ නිසයි අප දෙදෙනා මේ නිර්මාණයට මුදල් අතිරික්තයක් තිබෙන හිතමිතුරු කැලක් සහභාගි කරවා ගන්නේ. ඔවුන් මේ නිර්මාණයට සහභාගි වන්නේ අප ඒ රටේ සිටින විට කරන කටයුතුත් සමඟ ඇතිවන පැහැදීමත් සමඟයි. අවසානය වනවිට හැමදෙනාගේම පරමාර්ථ එක් අරමුණක් බවට පත්වෙනවා.

නිෂ්පාදකවරුන් ලෙස කිසිවෙකු කලඑළි බසින්නේ නැති යුගයකයි ඔබ ඇතුළු පිරිස මේ කටයුත්තට අත පොවන්නේ ?

ඔබ පැවසුව වගේ මේ ක්ෂේත්‍රය ගැන විමසීමක යෙදුණ කිසිවෙක් මේ කාලයේ නිෂ්පාදකවරුන් ලෙස නිර්මාණවලට දායක වෙන්නේ නැහැ. නමුත් ඒ ගතානුගතිකත්වයෙන් මිදෙන්න අපට උවමනා වුණා.

මේ චිත්‍රපටය පවසන්නේ අධ්‍යක්ෂවරයකුගේ හා නිෂ්පාදකවරයකුගේ තිබෙන බැඳීමට වඩා එහා ගිය හිතවත්කමක් ගැන ද ?

නිෂ්පාදක, අධ්‍යක්ෂ කියන ඒ තොප්පි දෙක දාගෙන කරන කර්තව්‍යයකට වඩා යහළුවෝ කිහිපදෙනෙකු සහභාගි වෙලා කරන අවස්ථාවේ ඇතිවන සංහිඳීයාවක් අපි මේ නිර්මාණය නිසා අත් වින්දා. ඒ නිසාදෝ තවමත් අපට නිෂ්පාදක කියන වචනය නුහුරුයි. ඒ වගේම නිෂ්පාදක කියන තොප්පිය දාගන්න බොහොම අකැමැත්තෙන් තමයි මා මේ ඉන්නේ. ඊට වඩා සැහැල්ලුවක් මට උවමනායි. ඒත් ඒ රාමුව ඇතුළේ ජීවත් වෙන්න අපට සිදු වෙනවා. කොහොම නමුත් අප ‘හෝ ගානා පොකුණ’ කියන දරුවා වැඩෙන අයුරු බලාගෙන ඉඳීමින් රස විඳීනවා.

මෙහි සාර්ථකත්වයට මුල්වුණු හේතුව කුමක් කියලද නිෂ්පාදකවරයෙකු විදියට ඔබ සිතන්නේ ?

මුලදි මේ නිර්මාණයට වෙනත් නිෂ්පාදකයෙක් හරහා පසුබිමක් නිර්මාණය වෙලා තිබුණා. ඒ වනවිට එත් ඒක එක තැනකින් අවහිර වෙලයි තිබුණේ. එතැනින් එහාට යන්න හදන මොහොතේ ඉන්දිකගේ කරපිටට වැටුණේ කලින් චිත්‍රපටයක් කරන්න තියෙන වගකීමට වඩා වගකීමක්. ඒ කියන්නේ කොහොම හරි මේ නිර්මාණය සාර්ථක කරගත යුතුයි කියන අදහසේ ඔහු හිටියා. මේ චිත්‍රපටය අද වනවිට යම් සාර්ථකත්වයක් ලබලා තියෙනවා නම් ඒ කාරණාත් බලපාන්න ඇති කියලා අපට සිතෙනවා. ඒ වගේම අපේ තිබුණු බැඳීමත් ඒ සඳහා යම් බලපෑමක් කළා. අපි නෙක්ස්ට්ෆ්‍රේම් ස්ටුඩියෝ කියන ආයතනය නිර්මාණය කරන්නේත් ‘හෝ ගානා පොකුණ’ සඳහාමයි. එතැනදි අපේ කණ්ඩායමට මේ නිර්මාණය ඉදිරිපත් කරන්නේ ප්‍රධාන පරමාර්ථ දෙකක් සමඟයි. එකක් ඒ කාලවකවානුවේ අප අත්වින්ද ආකාරයට ලංකාවේ සිනමාව ඇතුළේ ‘හෝ ගානා පොකුණ’ කියන නිර්මාණය බොහෝ දෙනෙකුට මතක සිටින, හැමෝටම විඳීන්න පුළුවන් විදියේ සිනමා කෘතියක් බවට පත් කළ යුතුයි කියන උත්සාහයයි. අනෙක් කාරණය නම් ලංකාවේ සිනමාවට සුවිශේෂී මැදිහත් වීමක් ඉෂ්ට වෙන නිර්මාණාකරුවකුට සහයෝගයක් ලබාදීම කියන උත්සාහයත් ප්‍රබල වුණා. ඒ සියලු කාරණාවල ඵලයක් විදියටයි අද ‘හෝ ගානා පොකුණ’ මේ විදියට සාර්ථකත්වය කරා පිය නඟන්නේ.

‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයට අවශ්‍ය නළු - නිළියන් තෝරා ගැනීමේ කාර්යයට ඔබත් දායක වෙනවා. ඒ කටයුත්ත සිදු වෙන්නේ කොහොම ද ?

මේ නිර්මාණය ආරම්භ කිරීමේදී සම්මුඛ පරීක්ෂණ පවත්වනවා. ඒ මොහොතේ අනසූයා සුවිශේෂී කාර්යයක් කරනවා. දමින්ද වුණත් එහෙමයි. මොකද ඒ වනවිටත් ඉන්දිකත් ඉන්නේ අපත් සමඟමයි. මේ නිසා අනසූයා ඇතුව පිරිස ළමයි සමඟ සම්මුඛ සාකච්ඡා කරන අතරම ඒ අයගේ වීඩියෝ ඕස්ට්‍රේලියාවට එවනවා. අපි එතැන ඉඳීමින් කතා කරමින් තීරණ ගනිමින් තමයි ඔවුන්ව තෝරා ගන්නේ. මෙතැනදි ඒ ළමයි සමඟ කටයුතු කරන්න මටත් අවස්ථාව උදා වන්නේ කාලයක් තිස්සේ ඔවුන් සමඟ වැඩකටයුතු කළ පසුබිමයි. අන්තිමට මමත් ඇවිත් දවසක් තිස්සේ වැඩමුළුවක් පවත්වනවා. එහිදි ඉන්දිකගේ මූලිකත්වයෙන් තමයි මේ මේ චරිතයට මේ මේ ළමයින් තෝරාගමු කියන අවසන් තීරණවලට එළැඹෙන්නේ. ඒ රූගත කිරීම් කරන්න හරියටම දවස් දෙකකට කලින්. මේ අය අතරින් ඒ චරිතවලට අදාළම දරුවන් දහඅට දෙනෙක් තෝරා ගැනෙන්නේ ඒ ආකාරයෙන්.

චිත්‍රපටට රූගත කිරීම් කෙරෙන්නේ කොළඹින් බොහෝ ඈතකයි. මේ නිර්මාණයට දායක වන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ඇතුළු කාර්මික ශිල්පීන් ප්‍රමාණයත් බොහොමයි. නිෂ්පාදකවරුන් විදියට මේ කාරණය ඔබ ඇතුළු පිරිසට ප්‍රශ්නයක් වුණේ නැද්ද ?

ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මෙහිදි ඇතැම් මොහොතක අපිත් නිෂ්පාදක කියන තනතුරෙන් එහාට ගිය නිර්මාණකරණයේ නියැළෙන ශිල්පීන් වෙනවා. ඉන්දිකත් මෙහෙමමයි. ඒ නිසා නිතරම අපි උත්සාහ ගත්තේ මීට සහභාගි වුණු ශිල්පීන්තේ සුබ සාධන කටයුතු අපට හැකි උපරිමයෙන් ඉටු කරන්නයි. ඒ කාරණය නිසා අපේ අයවැය ඉහළ ගියත් හැකි උපරිමයෙන් ඒ කටයුතු ඉෂ්ට කළා කියන හැඟීම අද වනවිට අපට තිබෙනවා. ඒ බව තහවුරු වෙන්නේ මේ නිර්මාණයට සහභාගි වුණු පිරිස අපත් සමඟ බැඳෙන විදියෙන්. උදාහරණයක් කිව්වොත් එහෙම ඩබින් කරලා අවසන් වනවිට එක තාක්ෂණික ශිල්පියකුගේ ගෙවීම්වල පුංචි කොටසක් හැරෙන්න අනෙක් සියලුම අයගේ ගෙවීම් කටයුතු කරලා අවසන් වුණා. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාර කිව්වේ සිනමා කර්මාන්තයේ මෙහෙම වෙන්නෙ බොහොම කලාතුරකින් කියලා. ඒ ගැන අපට ස්තූතිවන්ත වුණු විශාල පිරිසක් සිටියා.

එවැනි තීරණයකට පැමිණෙන්න විශේෂ වූ කාරණය කුමක් ද?

මුල ඉඳලාට අපි විශ්වාස කළ දෙයක් තිබුණා. ඒ අප අපටම අවංක වුණොත් ස්වභාව ධර්මයෙන් ප්‍රතික්‍රියා ලබාදෙන බවයි. එහෙම කරන්න බලපෑව අනෙක් කාරණය වුණේ නළු - නිළියන් විදියට අපට මුල අමතක නොවීමයි. නළුවකු හෝ නිළියක විදියට වේදිකාවේ අප ගත කළ කාලයක් තිබුණා. ඒ මගින් අප විඳී බොහෝ දේවල් ගැන අපගේ මතකයේ තිබුණා. ඒ වින්ද දේවල් තමයි මෙවැනි තීරණයකට එන්න මග පෑදූ බව අප සිතන්නේ.

උමා ටීචර්ගේ චරිතයට අනසූයා වැනි සිනමාවට නවක මුහුණක් යොදා ගැනීම සම්බන්ධයෙන් නිෂ්පාදකවරුන් විදියට ඔබ දෙපළ එකඟ වුණා ද ?

ඉන්දිකට මුණ ගැසුණු කලින් නිෂ්පාදකවරුන්ගේ ප්‍රධාන බලපෑමක් තිබුණා ප්‍රචලිත චරිතයක් මේ කොඳුනාරටියට භාවිත කළ යුතුයි කියලා. ඔවුන් ඒ අදහසේ සිටියේ චිත්‍රපටය අසාර්ථක වේවි කියන මතයේ සිටිය නිසයි. ඒත් වේදිකාවේ තිබුණු ඉවත් එක්ක මේ පිටපතේ අපි වින්ද රසය ඒ නිෂ්පාදකවරු කියන විදියේ නිර්මාණ ශිල්පිනියක යොදා ගැනීමෙන් මතුවේද කියන ගැටලුව අපගේ සිතේ පහළ වුණා. එහෙම කෙනෙක් සහභාගි වුණොත් මේ නිර්මාණයට විය හැකි හානිය අප දුටුවා.

ඒ නිසා කිසිම තර්කයකින් තොරව අප දෙදෙනො ඉන්දිකත් සමඟ උමාගේ චරිතයට අනසූයාව තෝරා ගැනීම පිළිබඳ එකඟ වුණා. එහෙත් එතැනදි නිෂ්පාදකවරුන්ගේ මඬුල්ලේ අනෙක් අයට එක්වරම මේ කාරණය තේරුම් ගියේ නැහැ. ඒ නිසා ඇතිවුණු සංවාද, කතාබහ මගින් ඔවුන්, අපව විශ්වාස කළා. ඒ විශ්වාසය රැකීම පිළිබඳ ඉන්දික ඇතුළු පිරිසට ගෞරවය පුද කරනවා. ඒ වගේම අනසූයා ඒ අදහස ඉෂ්ට නොකළා නම් මේ චිත්‍රපටය අද තිබෙන්නේ වෙනස් තැනකයි. මේ නිසා අප එදා ගත්ත තීරණය අද වනවිට මම හිතන්නේ නිවැරැදි කියලයි. චිත්‍රපටය රසිකයෙකු විදියට රස විඳීද්දි අද දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. අපේ විනිශ්චයේ අප දෙදෙනා තෘප්තිමත්.

ළමයින්ට නිර්මාණ කිරීම පහසු කාර්යයක් නොවේ. එහෙත් ඒ කාරණය ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය ජය ගන්නවා ?

මගෙයි, යශෝධරාගේ නාට්‍ය කලා අභ්‍යාසයේ දි අපි ළමයාව කියන්න පුරුදු වන්නේ වෙනස් ආකාරයටයි. එතැනදි ඉන්දිකගේ ළමයා පිළිබඳ කියැවීම අපගේ ළමයා කියැවීමට කොයිතරම් සමාන වුණා ද කියන කාරණයත් මේ නිර්මාණයට වැදගත් වුණා. ඒ සමහර තැන්වලදි අපට වඩා ඔහු ළමයාව කියවන්නේ පොහොසත් ආකාරයෙන්. ඒ කාරණය අපි කොයිතරම් දුරට විවෘතව පිළි ගන්නවාද කියන කාරණාවත් මේ නිර්මාණයට බලපෑවා. ඒ කියැවීමේ ප්‍රතිඵලයයි ‘හෝ ගානා පොකුණ’ නිර්මාණයෙන් ඔබ මේ දකින්නේ.

මොන වගේ කට්ටටක් කාලා හෝ මේ චිත්‍රපටයත් සමඟ තවමත් රැඳී ඉන්නේ ඔබගේ පියා වූ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ජීවිතයෙන් ලැබුණු පන්නරය ද?

තාත්තාගේ දර්ශනය අප දෙදෙනා නිතරම අපේ ජීවිතවල කොටසක් කර ගන්න උත්සාහ කරනවා. මනුෂ්‍යත්වය කියන එක බොහෝ වෙලාවට අපි වැලඳ ගන්න උත්සාහ කරන්නේ අනෙක් දේවල් අබිබවායි. ඒත් එක්කම අප දෙදෙනාගේ මුලික පරමාර්ථවලින් එකක් තමයි මේ පවුල කියන සංකල්පය. අප සෑම වෙලාවකම කලා නිර්මාණ කරන්නේ හුදෙක් වැඩිහිටියන්ටවත්, දරුවන්ටවත් පමණක් නොවෙයි. සියලුදෙනාටම පොදුවේ බලා රස විඳීන්නයි අප නිර්මාණ කරන්නේ. අපේ පවුල කියන සංකල්පය ඊට බලපෑවා. ඒ සංකල්පය හරහායි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. තාත්තා වුණත් ඔහුගේ සෑම නිර්මාණයක් මගින්ම අදහස් කළේ රසිකයන්ගේ රසඥතාව වර්ධනය කරන්නයි. ඒවැනි තත්ත්වයක් ඇති කරන්නයි ඔහු නිතරම උත්සාහ දැරුවේ. මේ නිර්මාණය ඔස්සේ අප කරන්නේත් ඒ කාරණය වර්ධනය කිරීමයි.

සුනිල් ටී. කියන නිෂ්පාදකවරයාත් මේ නිර්මාණයට සහභාගි වෙනවා ?

චිත්‍රපටයේ ගොඩක් කටයුතු නිමවුණාට පස්සේ ඉදිරි වැඩකටයුතු සඳහා අප හිරවන මොහොතේ දී අත්දැකීම් අතින් ධෛර්යවත් කරන්න සහභාගි වන්නේ ස්වර්ණා මල්ලවාරච්චියි. ඇය විධායක නිෂ්පාදකවරියක් විදියට අපේ කටයුත්තට දායක වන්නේ පළමු වතාවටයි. සුනිල් ටී. මහත්තයා අපේ කටයුත්තට සම්බන්ධ වෙන්නේත් ඇය හරහායි. ඒ සම නිෂ්පාදකවරයකු වශයෙන්. ඒ අපට හිරවුණු මොහොතේ අත්දැකීම් ඇති සුනිල් ටී. මහත්තයා වගේ කෙනෙකුගේ ආගමනය ඇත්තටම අපට ශක්තියක් වුණා. ඔහුගේ සහභාගි වීම අපි සිහිපත් කරන්නේ ගෞරවයෙන් හා ආදරයෙන්. ඒ වගේම මේ අවස්ථාවේදි බිමල් ප්‍රනාන්දු, නිරෝෂා ප්‍රනාන්දු, දයානන්ද ලියනාරච්චි, ගීතා මුතුමාල යන අනෙක් නිෂ්පාදකවරුවන්වත් සිහිපත් කළ යුතුයි. විධායක නිෂ්පාදකවරයෙකු විදියට ආනන්ද අයියාගෙන් ලැබුණු සහයෝගයත් මිල කළ නොහැකි බවත් කියන්න ඕනෑ.