වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




මට ඇත්ත කියපං නංගී

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්
 

මට ඇත්ත කියපං නංගී

මානවී යටි ගිරියෙන් කෑ ගසමින් නැගිට්ටාය. ඇයගේ සියොලඟම දහඩියෙන් නෑවී තිබිණ. අත්තම්මා ඇයගේ හිස අතගෑවාය. ඇය අද්දරින් සිටගෙන සිටියේ අත්තාය. ඔහු පීරිසියකට යමක් දාගෙන යමක් මතුරමින් සිටියි.

'මයෙ අප්පා මේක බීලා හිටියනං'

මානවී අත්තාගේ කරුණාවන්ත බහට කන් දුන්නාය. වැඩිහිටියන් කිහිප දෙනෙකුගේම කසු කුසුව ඇසී ඇය ඇඳෙන් බැස්සාය. අහල පහල ගෙවල්වල සිටි වැඩිහිටි ගැහැනු කිහිප දෙනෙක්ම කම්මුලේ අත තබාගෙන මානවී දෙස බලා සිටියහ.

'මේකෙන්ම ඔය බය අත් ඇරලා යාවි'

අත්තා විශ්වාසය පළ කළේය. පසුගිය සතියේම මානවීට නින්දක් නොවිණ. නින්ද යා ගෙන එද්දීම ඇයට පෙනෙනුයේ වැව් කණ්ඩිය මත සිටින දැවැන්ත හස්තිරාජයාය.

ඒ මොහොතේ සඳ වලාකුළකට මුවා වී තිබී නිරාවරණය වූවා පමණි. මානවී සුමිත්ගේ උරමඬලෙහි සුවඳට ඉව ඇල්ලුවා පමණි. එකවරම බයිසිකලය නතර විණ. මානවීගේ මුහුණ ඔහුගේ උරහිසෙහි වැදිණ.

'අලියා'

ඒ තත්පරයේ සියලු හැඟීම් නතර විණ. සඳ මඟ හෙළි නොකරන්නට මෝටර් සයිකලය තවත් ඉදිරියට ඇදෙනු ඇත. එහි දුබල එළියට වඩා හඳ මඟ නිරවුල් කර දුන්නා සේය.

හෙමින් හෙමින් දැවැන්තයා ඉදිරියට ආවේය.

සුමිත් ආපසු මෝටර් සයිකලය හරවන්නට තැත් කළේය. එයට වඩා ඉක්මන් වන්නට මානවීට කව්දෝ කිව්වා වැනිය. ඇය බයිසිකලයෙන් පැන වැව් බැම්ම දිගේ පහළට දුවගෙන ගියාය. වැව් බැම්මේ පහළට වන්නට ඇති කටු අතු ඇයට පෙනුණේ නැත. නැතහොත් මර බය එයට වඩා වැඩි වූවා වැනිය. ඇය දුවන ගමන් මරලතෝනි දී කෑගෑවාය.

එහෙත් එය පරයා ඊටත් වඩා හඬ ඇසුණේ සුමිත්ගෙනි. ඒ සමඟ යකඩ ගොඩක් පොඩි වන ශබ්දය තදින් ඇසිණ. මානවී ඒ දෙස නොබලා වැව් බැම්ම පාමුලට දිව ගියාය. ගලක හෝ යමක තදින් ඇයගේ පය වැදිණ. ඇය එයටත් උඩින් විසි වී ගියා මතකය.

අලියා සුමිත් පසුපස පන්නාගෙන ගියේය. සද්දන්තයාට මෝටර් සයිකලයේ වේගය අබිබවා යන්නට කල් නොවූවේය. වැව් බැම්ම කිලෝ මීටරයක් පමණ දිගය. සුමිත් දන්නා වීරියෙන් මෝටර් සයිකලය ගෙන ගිය ද යන්තරයට යා හැකි වේගයක් විය. සද්දන්තයා යන්තරයට සමීප වූයේය. ඒ සමඟ උගේ හොඬය දිග හැරිණ. එහි සුළං පහර සුමිත්ට දැනිණ. මර හඬ පැතිරුණේ ඒ සමඟය. ඒ හඬත් සමඟ ගැමියෝ වහා අවදි වූවා වැනි විය.

කෙනෙකුට උපකාර කිරීමේ දී තම දිවිය සිහිපත් වන්නේ හෙමිහිටය. මුලින්ම හඬ ඇසුණේ වැව් බැම්ම ළඟ ගෙදර ඇත්තන්ටය. ගැහැනියකගේ මරලතෝනියත් තවකෙකුගේ හඬත් සමඟ ගෙපැළින් එළියට පැන ගත් ඔවුහු මුලින් හඬ ඇසුණු දෙස හඳුනා ගත්හ. විපත්තිය කවරෙක්දැයි වටහා ගන්නට ඔවුහු ඊළඟ මොහොතේ ඉවෙන් මෙන් සමත් වූහ. දින කිහිපයක් වනාන්තරයෙන් මෑත්ව වැව් තාවුල්ලේ සැරිසැරූ සද්දන්තයා ගොදුරකට සමීපව ඇත්තේය.

එබැවින් ඔවුහු වහා ක්‍රියාකාරී වූහ. වැව් බැම්මට ඔවුහු දිව ආහ. ගම්මානයට අධිපති නොපෙනෙන බලවේගයක් ද ක්‍රියාත්මක විණැයි තවත් මොහොතකදී ගැමියෝ කියන්නට වන්හ. ඒ වන විට ගමේ අසල්වැසි බොහෝ දෙනා හඬ නඟමින් පන්දම් ද දල්වමින් වැව් බැම්මට පිවිස සිටියහ.

ඔවුන් දුටුවේ මහ හඬක් නඟන සද්දන්තයාය. බිම වැටුණු මෝටර් සයිකලයක දුබල එළිය ඊළඟ මොහොතේ ඔවුනට පෙනිණ. සද්දන්තයා සියල්ල අතහැර දිව යන්නේ කුමක් නිසාවෙන්දැයි කිසිවකුට නොවැටහිණ. ගැමියෝ ඉදිරියටම ගියහ. කොයින්දෝ මතුවූ රතිඤ්ඤාවක් දෙදරා පුපුරා ගියේය.

ඉදිරියට ගිය ඔවුහු දුටුවේ මෝටර් බයිසිකලයක් හා ඒ අසල වැටී සිටි තරුණයෙකි. ඔහු වේදනාවෙන් කෑගෑවේය. තරුණයා නැගිටින්නට වෙර දැරුවේය.

'දෙයියනේ සුමිත් මහත්තයා'

කිසිවකු කෑගෑවේය. නැගිටින්නට වෙර දැරූ ඔහු වෙත දෙතුන් දෙනෙකුම ළං වූයේය. ඔසවා ගත් සුමිත් මරලතෝනි දුන්හ.

කිසිවකු මෝටර් සයිකලයට ළං වූයේය. එය පොඩි පට්ටම් වී තිබිණ. සුමිත් කෑගෑවේය.

'අලියාගෙන් බේරුණා, මගේ කකුල අමාරුයි'

හාස්කම එය යැයි ගැමියන් පැවසුවේ එබැවිනි. අලියාගේ හොඬ පාරේ සුළඟ වැදුණ සැනින් මොකක්දෝ වාසනාවකට සුමිත් විසි වී ගියේය. සිය ගොදුර වැරදුණ සද්දන්තයා කෝප වූයේය. ඔහුගේ ඇස ගැටුණේ මෝටර් සයිකලයයි. මේ සද්ද කරන යකඩ සත්වයාට පාඩමක් උගන්වන්නට සද්දන්තයාගේ වුවමනාව විය. එබැවින් බිම වැටී දඟලන යකඩයා පොළවේ ගැසීමට සද්දන්තයා සූදානම් වූයේය. එහෙත් තමාට වඩා සිරුරින් කුඩා වුව ද යකඩ යකාට තමාට රිදවිය හැකි බව ඒ මෙහොතේ සද්දන්තයා වටහා ගත්තේය. ඌ හොඬ පටලා ගත්තේ යකඩයාගේ දුම්බටයේය. ඒ වන විට එහි පැවති රස්නය සද්දන්තයා අන්දමන්ද කළේය. සද්දන්තයාගේ අභිමානවත් හඬ ලතෝනියක් වූයේ ඒ සමඟය. සියල්ල අතහැර පලා යන්නට ඌ තීරණය කළේ එවිටය.

ගැමියන්ට සුසුමක් හෙළිණ, සුමිත්ගේ පය බිඳී ඇත. ඔවුන් ඔහු ඔසවා ගත්තේය. ඒ මැද සුමිත් පියවි සිහිය එළැඹ ගත්තේය.

'මාත් එක්ක මානවී සිටියා දෙයියනේ'

ගැමියෝ අන්දුන් කුන්දුන් වූහ.

'මං ඒකිව ඇරලවන්න ආවේ. බයිසිකලේ පිටිපස්සේ හිටියේ'

ඊ ළඟට නැඟුණ හඬ මවිත කරවන සුලු විය.

'මානවියේ'

කවුදෝ කෑගැසුවේය. ඊළඟට නැගුණ නිහැඬියාවෙන් පෙරළා පිළිතුරක් නොලැබිණ. නැවතත් මානවීගේ නම කියා කෑගැසිණ. ඊළඟට සුමිත් ඔසවාගෙන යන පිරිසට ඉඩ හැර ගැමියෝ වහා එහා මෙහා දිව ගියහ.

'මං ගැන නෙමේ කෙල්ල හොයාපල්ලා'

සුමිත් කෑගෑවේය. ඒ වන වට සුනීතාටත්, අත්තම්මාටත් පණිවිඩය ගොස් තිබිණ. සුනීතා දිව ආවේ මහ හඬින් විලාප දෙමිනි. මහලු මිත්තනියට මොක්දෝ ජීව සම්පන්න බවක් ලැබී තිබිණ. ඇඟපත පුරා වයස විසින් උරුමකම් ලබා දෙන වාත අමාරු වෙහෙස ඒ සියල්ල විපත්තිය විසින් අමතක කර දමනු ලැබිණ.

'අනේ මගේ කෙල්ලට මොකද වුණේ'

මිත්තනියගේ විලාපය ගම පුරා පැතිර ගියේය. ගැමියෝ ඒ වන වටත් ක්‍රියාත්මකව සිටියහ. කිසිවකුගේ විදුලි පන්දමකට සොරොව්ව අසල මල්ගවුමක් අසුවිණ. ඔහුගේ කෑගැසීමට සියල්ලෝ එදෙසට දිව ගියහ.

'දුවේ! මානවී'

ගැමියා කෑගෑවේය. ඇය උත්තරයක් දුන්නේ නැත. පළමුව ඔවුහු සමීප වුව ද ඇයට සිදු වූ විපත්තිය කවරේදැයි ඔවුහු ක්ෂණයකින් විමසා බැලූහ. පෙනෙන්නට තුවාලයක් තිබුණේ නැත.

'උස්සල ගනිල්ලා'

තරුණයකු ඇය දෝතට ඔසවා ගන්නට තැත් කළේය. එහෙත් ඇය ඔසවා ගෙන වැව් බැම්ම මතට නැඟීම පහසුවක් නොවේ. විදුලි පන්දම් මඟ එළි කළේය. මානවී ඔසවා ගත් තරුණයා වැව් බැම්මට පිවිසියේය. කිසිවකුගේ අණ පනතකින් තොරවම අත් ටැක්ටරයක් කව්දෝ ඒ වන විටත් ගෙනැවිත් තිබිණ. සුමිත් හා මානවී නංවා ගත් එය නගරයට ඉගිළුණේ එයට ඉහිළුම් නොදෙන වේගයකිනි. එය බිම ගැටෙන පාරක් ගානේ සුමිත්ගේ බිඳුණු පයේ වේදනාව දෙගුණ තෙගුණ විය.

මානවී ඇස් ඇර බැලුවේ තවත් පැයකට පසුවය. ඒ වන වට ඇය සිටිනුයේ කොතැනදැයි විමසා බලන්නට ඇයට ඇවැසි විය. ඇය එය රෝහලක් බව වටහා ගත්තේ අනතුරුවය. ඇයට සිදු වුණේ කුමක්දැයි සිහිපත් කළාය. සුමිත් අලියාට හසුවන්නට ඇතැයි සිතූ ඇයට හැඬුම් ආවාය. හෙදියක් ඇය සමීපයට පැමිණ යළි එන්නතක් දුන්නාය. තවත් දවසකට පසු ඇයට රෝහලෙන් නික්ම යන්නට අවසර ලැබිණ.

'ආයෙ අලි දැක්කොත් කරනම් ගහන්න එපා'

හෙදියක විහිළුවට පැවසුවාය. අත්තම්මා කඳුළක් පිස දැම්මාය. සුමිත් ඒ වන විටත් උන්නේ රෝහලේය. ඔහුගේ පය බිඳී තිබිණ. රෝහලෙන් ටිකට් කප්පවා මහඉලුප්පලම්මට ගෙන යාම ඔහුගේ නෑයන්ගේ වෑයම වුවත් වෛද්‍යවරු එයට ඉඩ දුන්නේ තවත් ටික දවසකට පසුවය.

නිවසට පැමිණිය ද මානවීට නින්ද නොගියාය. රාත්‍රියේ නින්ද යාගෙන යද්දී ඇය දකින්නේ සද්දන්තයාය. ඌ ඇයට සමීප වෙයි. ඇය පිබිදෙයි. අත්තා මන්තර මතුරා සාත්තුවක් කළේ බැරිම තැනය.

'සුනීතා අක්කා ඇවිත්'

කව්දෝ කියනු ඇයට ඇසුණේ හීනෙන් මෙනි. ඇයගේ ඇඳ අසල සුනීතා වාඩි වී සිටියාය. ඇය මානවී දෙස හොඳින් බැලුවාය.

'දැන් උඹට කොහොමද නංගියේ?'

ඇය ඇසුවාය.

'මම දන්නේ නෑ සුමිත් අයියා උඹ ඇරලවන්න එනවා කියලා'

මානවී තිගැස්සුණාය. සුනීතා කෙළින්ම මානවීගේ මුහුණ දෙස බැලුවාය.

'වෙනදාට මං කලින් යනවනේ අක්කේ. එදාමයි ආවේ. මං ඒත් එපා කිව්වා. ඒ පාර අයියම කිව්වා අලියා හිටියා කියලා'

සුනීතා යමක් අසන්නට තැත් කරමින් වට පිට සැරිසරන බව මානවීගේ ඉවට වැටහී තිබිණ.

'ඇයි අක්කේ?'

'නෑ මේ ගමේ මිනිස්සු කියන කතා'

සුනීතා මානවීට සමීප වූයේ රහසක් කියන්නට මෙනි.

'ඇත්තටම මට උඹව විශ්වාසයි නංගියේ. මට ඇත්ත කියපං'

සුනීතාගේ වූයේ හැඬුම්බර ස්වරයකි. මානවී කිසිත් නොකියා බිත්තිය පැත්තට හැරුණාය.