වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




කවීෂා හොඳට රඟපාලා තියෙනවා
අවුරුදු දහතුනකට පසු ලංකාවට පැමිණි ඩිලානි සරසවිය සමඟ විශේෂ පිළිසඳරක...

කවීෂා හොඳට රඟපාලා තියෙනවා - ඩිලානි

අම්මා හොඳයි කියන්නේ හොඳම නම් තමයි - කවීෂා

බැලූ බැල්මට මේ සුරූපිනියෝ දෙන්නා හරියට අක්කයි, නංගියි වගේ. ඒත් ඇත්ත කතන්දරේ ඒක නෙවෙයි. මේ ඉන්නේ අම්මයි, දුවයි. කාලයක් අපේ සිනමාව බැබළ වූ ජනප්‍රිය තාරකාවක්. සම්මානනීය නිළියක් වූ ඩිලානි අබේවර්ධන තමයි මේ දයාබර මව. ඇගේ ආදරණීය දියණිය කවීෂා කාවින්දි.

මවගේ අඩි පාරේ යමින් සිංහල සිනමාවට එක් වූ මේ යොවුන් සුරූපිනිය තමයි අපේ අලුත්ම කතා නායිකාව. ඇය එසේ නිළි වරම් ලැබුවේ ලාල් වීරසිංහ හා හා පුරා අධ්‍යක්ෂණය කළ ‘සිංග මචං චාලි‘ චිත්‍රපටයෙන්.

අමෙරිකාවේ, නිව්යෝක් නගරයේ පදිංචිව ඉන්න මේ දෙන්නා මේ දිනවල ඉන්නේ ලංකාවේ. ඔවුන් ලංකාවට එන පුවත ඩිලානි, කාටත් කලියෙන් දැනුම් දුන්නේ සරසවියේ අපට. ඒ අනුවයි මමත්, ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්නත් ඔවුන් හමුවෙන්න කැලණිය, පට්ටිය හන්දියේ නිවසට ගොඩ වැදුණේ.

ඩිලානිගේත්, කවීෂාගේත් මුවඟ රැඳුණු සොඳුරු හසරැළි මාලන්ගේ කැමරා කාචයේ සටහන් වෙන්නේ විවිධ ඉරියව් එක්ක. ඒ අතරෙම මම ඩිලානිත් එක්ක පුංචි කතාබහකට මුල පිරුවා.

කවදද දෙන්නා ලංකාවට ආවේ?

දෙසැම්බර් 29 වැනිදා. 2016 ලබන කොට සෑහෙන කාලෙකට පස්සේ ඔන්න මම ලංකාවෙ හිටියා. හරියටම කිව්වොත් අසංක අවුරුදු දහතුනකට පස්සේ. මම මෙහෙන් ගියේ 2002 දීනේ.

කාලෙකින් තමන්ගේ මවු රටට ආවාට පස්සේ ඔයාට මොකද හිතුණේ?

ඇත්තටම මට ගොඩක් මිස් වෙලා තිබුණා ලංකාව. හරි සතුටක් දැනුණා ෆ්ලයිට් එක Land කරද්දී මගේ රටට ආවා කියලා. මම මෙහෙන් යනකොට තිබුණ රට නෙවෙයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ පාරවල් වෙනස් වෙලා. අලුත් ගොඩනැගිලි හැදිලා. ඒත් ගොඩක් දේවල් බලන්න තාම මට වෙලාවක් හම්බ වුණේ නෑ.

මම හිතන්නේ ඩිලානි ලංකාවට ආවේ කාරණ දෙකක් මුල් කරගෙන?

ඔව්. එකක් මගේ අම්මා අසනීප වුණ නිසා එයා බලන්න. අනෙක කවීෂා ඇක්ට් කරපු ‘සිංග මචං චාලි‘ ෆිල්ම් එකේ ප්‍රිමියර් එක තිබුණ නිසා. ඇත්තටම ෆිල්ම් එක ගොඩක් හොඳයි මම හිතුවාට වඩා. බලන් ඉන්න පුළුවන්.

මොකද හිතුණේ දුවගේ රංගනය ගැන?

එයාගේ රඟපෑම් මීට කලින් මම දැකලා තිබුණේ නෑනේ. කවීෂා හොඳට රඟපාලා තියෙනවා ඒ චිත්‍රපටයේ.

අම්මා වගේම දුවත් ජනප්‍රිය, සම්මානනීය නිළියක් වෙයිද?

මම හිතනවා එහෙම.

ඔයාට ලංකාව මිස් වුණා වගේම රංගන ජීවිතයේත් ලොකු පැතිකඩක් ඇහිරී ගියා. ලංකාවේ හිටියා නම් නිළියක හැටියට ගොඩක් දේවල් කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?

ඒ ගැන විතරක් හිතුවා නම් මට එහෙම හිතන්න තිබ්බා. හැබැයි ඉතින් මම පවුලක් විදිහට මගේ ළමයි ගැන හිතලා ඒ තීරණය අර ගත්තා. මොකද එහෙයි, මෙහෙයි හිටියා නම් ඒගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙනවා. දැන් දුව යුනිවර්සිටි එකට ගිහින් ඉන්නේ. යුනිවර්සිටි එකට ගියා කියන්නේ ලොකු ජයග්‍රහණයක්.

ඒ ජයගග්‍රහණය පසුපස ඉන්න දිරිය මව ඔයා?

ඇත්තටම ඉතින් සමන්, මම අපි ඔක්කොම ලොකු කැපවීමක් කළා. දැන් කවීෂා අවුරුදු දහ අට ඉක්ම වූ කෙනෙක්. එයාට තනියම තීරණ ගන්න පුළුවන්කම තියෙනවා. එයා පිළිබඳ අවබෝධය එයාට තියෙනවා. අම්මා කෙනෙක් විදිහට මම මගේ යුතුකම ඉටුකළා. ඒ වෙනුවෙන් සැක්රිෆයිස් කළා මගේ ලයිෆ් එක.

ජනප්‍රිය නිළිය, හොඳම නිළිය විදිහට ‘සරසවිය’ සම්මාන ලබලා ක්ෂේත්‍රයේ ස්ථාවර වෙලා ඉන්දැද්දී තමයි ඩිලානි රට හැරලා ගියේ. ඔයාට වගේම අපේ සිනමාවටත් ඒක පාඩුවක් කියලයි මට නම් හිතෙන්නේ?

ඒක එහෙම වෙන්නැති. ඒත් මම ඒ ගැන ලොකුවට හිතන්නේ නෑ. පුංචි දුකක්, කනගාටුවක් හිත ඇතුලේ තිබුණත් මවක් හැටියට මම දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් කළා නේද කියලා හිතෙන කොට ඒ දුක පහවෙලා යනවා.

ලංකාවට ආවාට පස්සේ පරණ හිත මිත්‍රයෝ හම්බ වුණාද?

ඔව්, මට ‘සිංග මචං චාලි‘ ප්‍රිමියර් එකේදී ගොඩක් කට්ටිය හම්බ වුණා. ඒ වගේම ජීවන් - ෂෙරීන් එකතු වෙලා ඒගොල්ලන්ගේ නිවසේ සාදයක් පැවැත්තුවා මා වෙනුවෙන්. ක්ෂේත්‍රයේ එදා මා එක්ක එකට හිටපු ගොඩක් අය එතනදි මට මුණ ගැසුණා. ගොඩක් සතුටුයි.

කවුරුත් ෆිල්ම්ස්වලට එහෙම කතා කළේ නැද්ද?

සුනිල් ටී, මට කතා කළා මොනවා හරි ප්‍රොඩක්ෂන් එකක් කරමු කියලා. ඇත්තටම ඒ වගේ දෙයක් කරන්න මට වෙලාව මදි. මොකද බොහොම කෙටි කාලෙකට මම මෙහෙ ආවේ. මේ දහ අට වෙනිදා මම ආපහු යනවා. සමන්ගෙයි, පුතාගෙයි වැකේෂන් එකට ආයෙත් ලංකාවට ඇවිත් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

රංගනයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා නෑ ඒ කියන්නේ?

නෑ එහෙම නෑ . . .?

අපේ සිනමාවේ වර්තමානය ගැන මොකද හිතෙන්නේ?

අපේ සිනමාවේ අර්බුදයක් තියෙනවා කියනවා. ඒ ගැන මට එහෙම ලොකු අවබෝධයක් නෑ. අද ගොඩක් දක්ෂ, ලස්සන තරුණ පිරිසක් නම් ඉන්නවා. ඉතින් ඒ අයගෙන් වැඩක් ගන්න හොඳ ප්‍රොඩක්ෂන්ස් ටිකක් හැදුණොත් හොඳයි කියලා මං හිතනවා.

අලුත් සිංහල චිත්‍රපට එහෙම බලනවාද?

ගොඩක් නෙවෙයි, සමහර ඒවා. මොකද අපි හරි කාර්යබහුලයි. දවස ගෙවෙනවා අපිට තේරෙන්නේ නෑ. අවුරුදු දහතුන නිකං අද ඊයේ වගේ මට දැනෙන්නේ. නමුත් අලුත් අධ්‍යක්ෂවරු කරපු හොඳ නිර්මාණ ටිකක් මම දැක්කා. ඇත්තටම හොඳ දෙයක් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. අපේ සිනමාවට ගොඩක් උදව් අවශ්‍යයි. ආණ්ඩුව පැත්තෙන්. දැන් අද චිත්‍රපටයක් හදනවාට වැඩිය අමාරුයි ඒක රිලීස් කරන එක. ඉතිං ඒ තත්ත්වය නැති වුණා නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඒක කරන්න පුළුවන් රජයට විතරයි.

ඔයාගේ සමකාලීන නළුවෙක් වුණත් මම දන්න තරමින් ඩිලානි, ලාල් වීරසිංහගේ පෙම්වතිය වෙලා නෑ සිනමාවේ?

ඔව්. ලාල් එක්ක මම කවදාවත් පෙම් චරිත රඟපාලා නෑ.

එතකොට ඔයාගේ දියණිය ලාල් එක්ක ඒ විදිහේ චරිතයක් රගපාද්දී මොකද හිතුණේ ඔයාට?

ඒක චිත්‍රපටයක්. වයස පිළිබඳ ප්‍රශ්නයක්, රූපය පිළිබඳ ප්‍රශ්නයක් නෑ චිත්‍රපටයක් වුණාම. මම දුවටත් තේරුම් කරලා දුන්නේ ඒකයි. ඒක නිරූපණයක්, චිත්‍රපටයක්. ලාල් දවසක් මට දුරකතනයෙන් කතා කරලා ඇහුවා මෙහෙම චිත්‍රපටයක් කරනවා. ඒකේ ප්‍රධාන චරිතයට දුව තෝරා ගත්තා. කැමැතිද කියලා.

මොකද ඩිලානි කිව්වේ?

කිසිම ප්‍රශ්නයක් නෑ, ඔයා අධ්‍යක්ෂවරයා හැටියට හිතනවා නම් ඒ චරිතයට කවීෂා සුදුසුයි කියාලා එයාව අර ගන්න කියලයි මම ලාල්ට කිව්වේ. ලාල්ගේ තෝරා ගැනීමට දුව සාධාරණයක් ඉෂ්ට කළා කියලා දැන් මට හිතෙනවා.

ඩිලානි එහෙම කිව්වේ කවීෂාගේ පිටට තට්ටුවක් දමමින්. කවීෂාගේ මුවඟ රැඳුණු සිනහව ඇත්තටම සුන්දරයි. ඇයවත් මේ කතාබහට හවුල් කර ගත යුතු වුණත් ඊට කලින් ඩිලානිත් එක්ක තව ටිකක් කතා කරන්න ඕනෑ කියලා මට හිතුණා.

අමෙරිකාවේදී කොහොමද ඔයාගේ දෛනික කටයුතු සිද්ධ වෙන්නේ?

ඇත්තටම මම එහේ රැකියාවක් කරනවා. මම වැඩ කරන්නේ රූපලාවන්‍ය උපදේශිකාවක් හැටියට ‘සෆෝරා’ කියන ආයතනයේ. ලංකාවේ වැඩිදෙනෙක් ඒ ගැන නොදන්නවා වුණාට ඒක වර්ල්ඩ් වයිඩ් රුපලාවන්‍ය ආයතනයක්. ඒකෙ මම බියුටි ඇඩ්වයිසර් කෙනෙක් වගේම සර්ටිෆයිඩ් මේකප් ආ(ර්)ටිස්ට් කෙනෙක්.

ගෙදර දොර කටයුතු?

ගෙදර දොරේ කටයුතුත් මගේ අතින් කෙරෙන්නේ. මොකද අපිට එහෙම වැඩ කරන අය නෑ. ඒ රටේ ගත්තොත් අපි සාමාන්‍ය වැඩ කරන ජනතාව.

ඒ කියන්නේ ඔයාලට සර්වන්ට්ස්ලා නෑ?

එහෙම නෑ. එහෙදි මමත් සාමාන්‍ය ගැහැනියක්. උදේ නැගිටලා මම පුතාව කොලේජ් යන්න සූදානම් කරනවා. දුව යුනිවර්සිටි එකට යනවා. සමන් වෙනම වැඩට යනවා. ඊට පස්සේ මම වැඩට යනවා. ආයේ හවසට එනවා. උයනවා, කනවා. ඉතිං ඔය විදිහට තමයි ජීවිතේ ගෙවෙන්නේ. ඉරිදා තමයි අපේ එකම නිවාඩු දවස. සතියේ කර ගන්න බැරි වෙච්ච වැඩ ටික කර ගන්නේ එදාට තමයි.

රට තොට බලන්නත් යනවා?

ඔව්. මේ අවුරුදු දහතුන පුරාම අපි අමෙරිකාවේ සුන්දර වගේම සුවිශේෂි තැන් ගොඩක් නරඹලා තියෙනවා. නිව්යෝක් ඉඳලා කැලිෆෝනියාවට ගුවනින් යන්න පැය හයක් විතර ගත වෙනවා. ඒ රට ඇතුළෙම බලන්න දේවල් ගොඩයි. නැති දෙයක් නැති තරම් ඉතින්.

ලංකාව අමතක වෙන තරමට අමෙරිකාව සුන්දරයි?

අපෝ නැහැ. තමන්ගේ උපන් බිම තරම් දෙයක් කෙනෙකුට තියෙනවාද? ඒ ආදරය, ගෞරවය තියෙන හින්දා තමයි ලංකාවට ආවේ. ඒත් ඇත්තටම මට ජීවිතයේ යථාර්ථය අවබෝධ වුණේ අමෙරිකාවට ගියාට පස්සේ.

ඒ කිව්වේ?

නෑ ජීවිතේ මොකක්ද කියලා තේරෙන්න ඒ වගේ රටක ජීවත් වෙන්න ඕනෑ. අපි මෙහෙ ඉන්නකොට අපට අපේ වැඩ කරලා දෙන්න කට්ටිය ඕනෑ තරම්. සමන්ගේ ව්‍යාපාරයෙන් සල්ලි හම්බ වුණා. දැන් එහෙම නෑ. පැය ගානට වැඩ කරන්නේ. ඒ අනුව තමයි පඩිය හම්බ වෙන්නේ. ඒක එතකොට ක්‍රමානුකුලව මැනේජ් කරන්න ඕනෑ. අපේම කියලා නිවසක් තියෙනවා නිව්යෝක්වල අපි මිලට ගත්ත. හැම දේම හරියට පිළිවෙලට කරන්න ඕනෑ. අතට පයට වැඩ කරලා දෙන්න කවුරුවත් නෑ. උයන්න, පිහින්න ඕනෑ, රෙදි හෝදන්න ඕනෑ, ගෙවල් අස් කරන්න ඕනෑ, ළමයි බලාගන්න ඕනෑ. මේ සියලු දේවල් තනියම.

ජීවිතේ යථාර්ථය වැටහුණා කිව්වේ ඒකයි?

ඔව්. මෙහෙදිනම් අම්මා හිටියා. වැඩ කරන අය හිටියා. අරක කරලා දෙන්න, මේක කරලා දෙන්න. එහෙ අඩු ගානේ අම්මත් නෑ. යාළුවෝ, නෑදෑයෝ කිසි කෙනෙක් නෑ. මුළු ජීවිත කාලයටම අමතක නොවන දෙයක් තමයි ඒ රටේ ජීවත්වීම.

දැන් ලංකාව දාලා යන්න හිතෙන්නේ නැද්ද?

ඇත්තටම සමන්, පුතා දෙන්නා එහෙ දාලා ආපු නිසා දුකයි.

ඇයි ඒ දෙන්නා ආවේ නැත්තේ?

පුතා ස්කෝලේ ග්‍රේඩ් ෆයිව්වල ඉන්නේ. පාඩමක් මිස් වුණාම ඒගොල්ලන් අමාරුයි කැචප් කරන්න පොඩි අයනේ. එන සමර් හොලිඩේස්වලට ආයේ අපි ඔක්කොමලා ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා.

කොහොමද ලංකාවට ආවයින් පස්සේ ඔයාට ලැබුණු රසික ප්‍රතිචාර?

මට තාම දැනෙනවා, හැඟෙනවා ඒගොල්ල මට ආදරෙයි කියලා. හැමෝම ඇවිත් මා එක්ක කතා කරනවා. තාම ඒගොල්ලන්ට මාව මතකයි. මම හිතුවේ අවුරුදු දහ තුනකට පස්සේ එනකොට කාටවත් මාව මතක නැතිව ඇති කියලා. මොකද අවුරුදු දහතුනක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයිනේ.

ඩිලානි මේ වෙනකොට චිත්‍රපට කීයක රඟපාලා තියෙනවාද?

චිත්‍රපට පනස් දෙකක.

එතකොට ඒ මතකය අදටත් රසිකයන් තුළ තියෙනවානේ?

ඔව්. ඒ මතකය තියෙන නිසා හැමෝම මාව හඳුනා ගන්නවා. ඒ ගැන සතුටක් තියෙනවා. ඒක කියලා වැඩක් නෑ.

ඔයා රඟපෑ වඩාත්ම ප්‍රිය කරන චරිතය මොකක්ද?

ඇත්තට මම කැමැතියි ‘බිතු සිතුවම්’ චිත්‍රපටයේ චරිතයට. ‘සරසවිය’ හොඳම නිළිය සම්මානයත් මට ලැබුණා ඒ චරිතයට. ඒ වගේම ‘සීතල ගිනි’ කඳු’ චරිතයටත් මම ගොඩක් කැමැතියි’. තව චිත්‍රපට කීපයක්ම තියෙනවා. ඒත් මේ වෙලාවේ මතක් වෙන්නේ නෑ.

ඩිලානි වැඩිපුරම රංගනයෙන් දායක වුණේ වාණිජ සිනමාවට. ඒත් අද වෙනකොට කලාත්මක සිනමාව නියෝජනය කරන සම්මානනීය අධ්‍යක්ෂවරන් රැසක් අපේ සිනමාවට එක් වී සිටිනවා. ආරාධනාවක් ලැබුණොත් වඩාත් කැමැති කා යටතේ රඟපාන්නද?

ගුණාත්මක චිත්‍රපටයක මගේ වයසට, මට ගැළපෙන චරිතයක් ලැබුණොත් මම දෙපාරක් හිතන්නේ නෑ ඒකට කැමැති වෙනවා. අලුත් අධ්‍යක්ෂවරු ගොඩක් අය ගැන මම දන්නේ නෑ. ඒත් ඇත්තටම මෙතනදී සත්‍යා ගැන කතා කරන්න ඕනෑ. සත්‍යජිත් මාඉටිපේ ඔහු හොඳ අධ්‍යක්ෂවරයක්. ‘බොර දිය පොකුණ’ ඔහු අධ්‍යක්ෂණය කළේ මීට අවුරුදු දහතුනකට එහා පැත්තේ. ඉතිං එයගේ වෙලාව ද, රටේ වෙලාව ද, කර්මාන්තයේ වෙලාවද දන්නේ නෑ ඒ චිත්‍රපටය හරි වෙලාවට එළියට දාගන්න ලැබුණේ නෑ. ඒ නිසා තවත් හොඳ අධ්‍යක්ෂවරයෙක් එතැන හිරවුණා කියලා මට හිතෙනවා.

ඩිලානි සමඟින් කතාබහට විරාමය තබන්නට කාලය එළඹෙද්දී මා දෙනෙත් දිව ගියේ ඇය සොයා. ඒත් කවීෂා ගේ රුව නෙත් මායිමේ නැහැ. ඒ් විපරම ඔස්සේ මගේ සිතැඟියාවන් තේරුම් ගන්නට ඩිලානිට ගත වුණේ තත්ත්පරයයි.

‘අක්කී . . .’

ඇය එහෙම ආමන්ත්‍රණය කළේ තම ආදරණීය දියණිය කවීෂාට. කවීෂා මා ඉදිරියේ සුව පහසු අසුනකට බර වුණේ සිනහමුසුව. ඒ වතෙහි දිස් වන්නේ තරමක ලජ්ජාශීලී ස්වභාවයක්.

මොකද ඔයාට ‘අක්කි’ කියන්නේ?

නෑ මගේ මල්ලී මට කියන්නේ ‘අක්කි’ කියලානේ. ඉතින් අම්මි කතා කරන්නෙත් එහෙමයි.

තාත්තා කතා කරන්නෙත් එහෙමද?

තාත්ති කියන්නේ ‘කවීෂා, ‘කවී’ කියලා.

ඔයාගේ සම්පූර්ණ නම?

කවීෂා කාවින්දි. ලාස්ට් නේම් එක පාවිච්චි කරන්න කැමැති නෑ.

දැන් සාමාන්‍යයෙන් නිළියෝ වයස කියන්න කැමැති නෑනේ. ඒත් මම හිතන්නේ ඔයාට නම් එහෙම ප්‍රශ්නයක් නෑ?

මම පොඩියිනේ. වයස දැන් අවුරුදු දහනමයයි. 1996 සැප්තැම්බර් 12 තමයි මගේ උපන් දිනය.

ඔයා තාම ශිෂ්‍යාවක්. මොකද හිතුණේ මෙහෙම රඟපාන්න ආරාධනාවක් ලැබුණාම?

ඇත්තටම මට ගොඩක් පුදුම හිතුණා. අවුරුදු හයේ දී තමයි මම ලංකාවෙන් ගියේ. ඒ කියන්නේ අවුරුදු දොළහක් වගේ කාලයක් මාව කවුරුවත් දැකලත් නෑ. අම්මිව දන්න නිසා ජ්චජඥ ඕධධඬ එකෙන් මාව දැකලා තමයි ලාල් වීරසිංහ මහත්මයා අම්මිගෙන් අහලා තිබුණේ.

කොහොමද අහලා තිබුණේ?

මේ දුවව අපට දෙන්න පුළුවන්ද චිත්‍රපටයක ප්‍රධාන චරිතයට කියලා. ඉතිං අම්මි කිව්වා ‘මටවත් පළවෙනි ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ලැබුණේ නෑ. ඔයාට මේක හොඳ බ්‍රේස් එකක්. ඔයාට මම යන්න දෙන්නම්’ කියලා.

මොකද ඔයාට හිතුණේ හා හා පුරා ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබුණු එක ගැන?

ගොඩක් සතුටු වුණා. ඇත්තටම අම්මි නිසයි මට ඒ අවස්ථාව ලැබුණේ. ගොඩක් අය මාව හඳුනා ගත්තේ ඒ හින්දයි. අම්මිත්, තාත්තිත් නැතිව මම ලංකාවට ඇවිත් ඒ ෆිල්ම් එක ෂූට් කරලා ගියා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන අත්දැකීමක්.

ප්‍රිමියර් එකට ආපහු අම්මි එක්ක ආවා?

ඔව්නේ.

ඔයාගේ රඟපෑම් ස්ක්‍රීන් එකේ දකිද්දී මොන වගේ හැඟීමක් ද ඇති වුණේ?

මාවම බලන්න මට ලැජ්ජයි. ඒ නිසා අත් දෙකෙන් මුණ වහගෙන හොරෙන් තමයි බැලුවේ. මගේ රූපේ බලන්න, වොයිස් එක අහන්න මම කැමැති නෑ. ඒ නිසා මූණ වහගෙන බැලුවේ. ගීතමය ජවනිකා නම් ආසාවෙන් බැලුවා.

ඇයි ඒ?

ඒවා මම ගොඩක් සැහැල්ලුවෙන් රඟපාලා තියෙනවා කියලා හිතෙනවා. දෙබස් කියන්න මට ටිකක් අමාරු වුණා. ඒත් දෙතුන් පාරක් කියලා හොඳට මතක තියාගෙන කොහොම හරි දෙබස් ටික කිව්වා.

රඟපෑමේදී අම්මිව ඉමිටේඩ් කළාද?

අම්මාව ඉමිටේඩ් කළේ නෑ. ඒත් හැමෝම කියනවා ඩිලානිමයි, ඩිලානිමයි කියලා. මම දන්නේ නෑ ඒක ඉතින්.

අම්මි මොකද කිව්වේ ෆිල්ම් එක බලලා?

ෆිල්ම් එක ඉවර වුණ ගමන් අම්මා මට ‘Good Job’ කියලා ලොකු හග් එකක් දුන්නා. ඉතිං මට ගොඩක් සතුටුයි. අම්මා සාමාන්‍යයෙන් මට හොඳක් කියන්නේ නෑ. හොඳම නම් විතරයි හොඳක් කියන්නේ. එහෙම නිකං කියන්නේ නෑ. ඒ නිසා මට ලොකු සතුටක් ඒක.

අම්මා රඟපාපු චිත්‍රපටවලින් ඔයා වඩාත්ම කැමැති?

බිතු සිතුවම්, ඉන්ද්‍රඛීලය වගේ චිත්‍රපට, එතකොට ‘පිස්සු පූසෝ’. ඒක වෙනමම චරිතයක්. අම්මි ඒකත් නියමෙට කරලා තියෙනවා. හැම චරිතයක්ම රඟපාන්න සුදුසුකම් තියෙනවා එයාට. ඒ නිසා මට එහෙම එක චරිතයක් කියලා තෝරා ගන්න බෑ. මොකද හැම චරිතයක්ම වෙනස්.

හොලිවුඩ්වල ඔයාගේ ප්‍රියතම නළු නිළියො කවුද?

එහෙම විශේෂයක් නෑ. එහෙ එක්කෙනාට හැම ෆිල්ම් එකක්ම ලැබෙන්නේ නෑ. හැමෝම වෙනස්. කාලෙන් කාලෙට අලුත් අය බිහි වෙනවා. ඒ හැමෝම දක්ෂයි. මෙහෙ වගේම දක්ෂයි.

කවුද චිත්‍රපටය බලලා කවීෂාට සුබපැතුවේ?

සුනිල් ටී අංකල්, ආනන්ද පද්මසිරි අංකල්, ජීවන් කුමාරතුංග අංකල්. අම්මිගේ හුඟක් සමීප අය මට සුබ පැතුවා. ඒක මට ලොකු ශක්තියක්. ධෛර්යයක් වේවි ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න.

ඒ කියන්නේ දිගටම රඟපානවද?

ඔව්. මගේ නිවාඩු කාලෙට මොකක් හරි චිත්‍රපටයක් හම්බ වුණොත් මං රඟපානවා. ටෙලි නාට්‍යය කරන්නත් කැමැතියි. හැබැයි මට වෙලා නැති හින්දා තමයි බැරි.

දැන් කවීෂාට අවුරුදු දහනමයයි?

ඔව්.

යෞවනයේ සුන්දරම අවධියක්. කොහොමද ආදරවන්තයෙක් එහෙම ඉන්නවද?

නැහැ. නැහැ. මම අම්මිට කියලා තියෙන්නේ ‘ඔයාට හොඳ කෙනෙක් මටත් හොයලා දෙන්න’ කියලා. මොකද අම්මි මාව දන්නවා මට වඩා. මම එයාව මට වඩා විශ්වාස කරනවා.

එතකොට කියන්නකෝ ඔයාගේ අනාගත බලාපොරොත්තු?

ඇත්තමට මම එහෙම විශේෂ දෙයක් ගැන තාම හිතලා නෑ. යුනිවර්සිටි එකේ ස්ටඩීස් ඉවර වෙලා ලංකාවට ඇවිත් ව්‍යාපාරයක් පටන් ගන්න තමයි කැමැත්ත තියෙන්නේ. මොනවා වෙයිද දන්නේ නෑ ඉස්සරහට.

කොහොමත් ඔයා අමෙරිකාවට වඩා ලංකාවට කැමැතියි?

ඔව්. ලංකාවට ගොඩක් කැමැතියි. ඒත් එහෙ ඕනෑ දෙයක් කරන්න ලේසියි. මෙහෙ පොඩ්ඩක් අමාරුයි. මොකද රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑනේ.