|
සඳ ඔබයි පියාණනී පරම්පරා තුනක ගී ඇසෙන ප්රසංගයක්රනිල් මල්ලවාරච්චි
මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ අද වනතුරුත් ලොකු කුඩා කාගෙත් හදවත්වල ජීවත් වන ගායකයෙකි. ඔහුගේ පුත් රනිල් මල්ලවාරච්චි මේ දිනවල ලංකාවට පැමිණ සිටියි. හදිසියේම මෙලෙස මව් රටට පැමිණියේ ඇයි දැයි අපි ඔහුගෙන් විමසුවෙමු. හදිසියේම ඔබගේ මේ පැමිණීමට හේතුව කුමක් ද? මේ මාසේ 09 වැනිදා රාත්‍රී 7.00ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී තාත්තා වෙනුවෙන් ‘සඳ ඔබයි පියාණනී’ නමින් ප්‍රසංගයක් පැවැත් වෙනවා. ඒ පැවැත්වෙන ප්‍රසංගය සඳහායි මා පැමිණියේ. මේ ප්‍රසංගය පවත්වන්නට තීරණය කළේ ඇයි ? තවත් මාස කිහිපයකින් තාත්තා අප අතරින් සමුගෙන වසර දහ අටක් වෙනවා. ඒ කාරණයත් සිහිපත් කරමින් තමයි මේ ප්‍රසංගය සිදු වෙන්නේ. එහිදී ඔහු ගැයූ පැරැණි ගී විසි හයක් පමණ මේ ප්‍රසංගයේ දී ගයන්නට නියමිතයි. ‘සඳ ඔබයි පියාණනී’ ප්‍රසංගයේ දි විශේෂ වූ කාරණයකුත් සිදු වෙනවා ? ඔබ ඔය කියන්නේ ඒ ප්රසංගයේදී මගේ පුතාත් ගී ගැයීම ගැන වෙන්න ඕනෑ. ඔව් ඒ කාරණය ඇත්තක්. ඒ කියන්නේ පරම්පරා තුනක් දක්වා වූ ගමනක් බවයි පෙනෙන්නේ ? මෙහිදී සිදුවන පරම්පරා තුනේ කතාව මම මෙහෙම කියන්නම්. ඒ කාරණය සම්බන්ධ වෙන්නේ තාත්තාගේ එක් ගීතයක් සමඟයි. ඒ ගීතය මොකක්ද ? මේ ගීතය ගැන මම රහසක් වශයෙන් තබා ගන්නම්. එය හෙළි කිරීම මා ප්‍රසංගයේ දීම කරන බවට මගේ රසික - රසිකාවන්ට පොරොන්දු වෙන්නම්. ඒ ගීතයේ නම නොකිව්වත් මම මෙහෙම කියන්නම්. මේ ගීතය මුලින්ම ඇන්ජලින් ගුණතිලකයන් ගයන්නේ මගේ තාත්තා සමඟයි. පසුව මමත් මේ ගීතයම ඇන්ජලින් මහත්මිය සමඟ ගායනා කළා. මෙවර ඇය මේ ගීතය ගයන්නේ මගේ පුතාත් සමඟයි. ඒ නිසයි මා මේ ගීතය පරම්පරා තුනක ගීතයක් ලෙස හඳුන්වන්නේ. එදිනට ගැයෙන අනෙකුත් ගීත මොනවා ද? විශේෂයෙන්ම තාත්තා යෙදූ තනු තිබෙන ගීතයි අපි එදා ප්‍රසංගයට ගයන්න තෝරා ගත්තේ. අවසර නැත මට, සිහිනෙන් ඔබ මට, මධුමල ලෙස මුදු, ඔබේ නිල් නුවන් තලාවේ වගේ ජනප්‍රිය ගීත ඊට ඇතුළත්. ඔබගේ පුතාත් ගයන්නේ මේ ගීතම ද ? එදාට පුතා තාත්තාගේ ගීත පහක් ගයනවා. ඉන් තුනක් ජනප්‍රිය ගීතයි. අනෙක් ගීත දෙක මිනිස්සු අතරට නොගිය බොහොම ලස්සන ගීත කිහිපයක්. ඔහු ඒ වගේ මිනිස්සු අතරට නොගිය ගීත ගයන්න තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවද ? ඒ ගීත පුතා එදාට ගයන්න තෝරා ගත්තේ ඒවා නැවතත් මිනිස්සු අතරට රැගෙන යන අදහසින්. ‘සඳ ඔබයි පියාණනී’ නම් ප්‍රසංගය නම් කරන්නේ ගීතයක නාමයෙන් ද ? මේ ගීතය අලුත් ගීතයක්. එය ලිව්වේ ආනන්ද පද්මසිරි විසින්. සංගීතය කළේ ග්‍රේෂන් ආනන්දයන්. එහෙම අලුත් ගීතයක් වුණත් මීට වසර දහ අටක් දක්වා පරණ ඉතිහාසයක් තියෙනවා. ‘සඳ ඔබයි පියාණනී’ ගීතය මා ගයන්නේ 1998 වසරේදි බව මට හොඳට මතකයි. නමුත් ඒ ගීතය ඒ තරම්ම ගුවන්විදුලියෙන් ප්‍රචාරය උන්නේ නැහැ. ප්රසංගයේදී මෙය ගැයෙන්නේත්, ප්‍රසංගය ඒ නමින් නම් කරන්නේත් තාත්තාට උපහාරයක් වශයෙන්. ඉන් මුල්පද කිහිපයක් ගැයුවොත් ?
‘ සඳ ඔබයි පියාණනී ඒ වගේම තවත් කිහිපදෙනෙකුත් මේ ප්‍රසංගයේදි යුග ගායනයෙන් සහභාගි වෙනවා නේද ? ඇන්ජලින් ගුණතිලක මහත්මියත්, අතුල, සමීතාගේ දුව කාවින්දි අධිකාරීත් ඒ සඳහා සහභාගි වෙනවා. සංගීතය සපයන්නේ ? සංගීතය අධ්‍යක්ෂණය කරන්නේ සංගීත අධ්යක්ෂ සරත් ද අල්විස් සංගීතවේදියා. කථනය කැලුම් ශ්‍රීමාල්. මේ කටයුත්ත කෙරෙන්නේ මගේ පියාගේ ෆවුන්ඩේෂන් එකෙන්. කාලයකට පසුවයි මේ විදියේ ප්‍රසංගයක් ඔබ පවත් වන්නේ ? මා හිතන්නේ වසර තුනකට පසුවයි මේ විදියට මා පියාගේ ගීත ප්‍රසංගයක් පවත්වන්නේ. ඒ නිසා මා සියලුම රසික - රසික රසිකාවන්ට ප්‍රවේශ පත්‍රයක් රැගෙන ඇවිත් මේ ප්‍රසංගය නරඹන්න කියලා ආරාධනා කරනවා. විදේශ ගතවීමත් සමඟ ඔබගේ සංගීත කටයුතු පෙළ ගැසෙන්නේ කුමන අයුරින් ද ? එහේ ඉන්න කාලයේ සංගීත ප්‍රසංගවලට ආරාධනා ලැබුණොත් මම ඒවා සඳහා සහභාගි වෙනවා. පසුගිය දවස්වලත් ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් පැමිණියා. ඒ ප්රසංගයටත් මා සහභාගි වුණා. ඉදිරියේදි අප්‍රේල් මාසයේදි වගේම මැයි මාසයේදිත් ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේදී ප්‍රසංග කිහිපයක් පැවැත් වෙනවා. ඒ සඳහා සහභාගි වෙන්න සිතාගෙන ඉන්නවා. විදෙස් ගතවුණත් ප්රසංගවලින් නම් අඩුවක් නෑ වගෙයි ? ලංකාවේ වගේ නිතර නිතර ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැහැ. වසරකට සැරයක්, වසර දෙසරයකට සැරයක් රටවල්වල ඒ කටයුතු සඳහා සහභාගි වෙනවා. ලංකාවේ ඉදිද්දි නම් වෘත්තිය ගායකයෙක්. එහෙත් එහේදි වෘත්තිය ගායකයෙකු විදියට නොවෙයි පෙනී සිටින්නේ. පූර්ණ කාලීනව සංගීත කටයුතුවල නියැළෙන්නේ ලංකාවට ආවට පසුවයි. යළිත් ඔබගේ නිර්මාණ එකතුවක් එළිදැක්වීමක් කරන්න අදහසක් තියෙනව ද? මේ වනවිට සී.ඩි. පට හතරක් එළිදක්වා තියෙනවා. මගේ ක්ෂේත්රයට පැමිණීම සිදු වෙන්නෙත් ‘මධුමල් වසන්තය’ කියන සී.ඩි.පටයත් සමඟයි. මේ කොහොම වුණත් අපේ ගීත ගුවන්විදුලියෙන් ඒතරම් ප්‍රචාරයක් වුණේ නැහැ. ඒ නිසා අපේ ගීත උඩට ආවෙත් නැහැ. පියවරුන්ගේ ගීත ගයනවා යැයි කියමින් ඔබගේ පරපුරේ බොහෝදෙනාට චෝදනා එල්ල වෙනවා. මේ ගැන ඔබගේ අදහස මොන වගේ ද ? ප්‍රසංග වේදිකාවට ගියා පස්සේ අපට ආරාධනා ලැබෙන්නේ අපේ ගීත ගයන්න නොවෙයි. තාත්තාගේ ගීත ගයන්නයි. ඒ වගේම අපව නිතරම වේදිකාවේදි හඳුන්වලා දෙන්නේ තාත්තාගේ පුතා කියන නමින්. ඒකත් හරියට දැන් අර තරුවලට ඉදිරියෙන් තියෙන නමක් වගේ අපේ නමටත් ඉදිරියෙන් තියෙන නමක් වෙලා. ඒ කියන්නේ ඔවුන්ව හඳුන්වලා දීමේදි මේ අහවල් තරුව, අහවල් එකෙන් ආව කෙනා කියලයි හඳුන්වලා දෙන්නේ. අපවත් ඒ විදයටයි හඳුන්වලා දෙන්නේ. අහවල් ගායකයාගේ පුතා කියලයි අපව හඳුන්වලා දෙන්නේ. එහෙම වුණාම අපට ගයන්න වෙලා තියෙන්නේ තාත්තලාගේ ගීත තමයි. මේ සඳහා ඇඟිල්ල දික්වෙන්නේ කාට ද? අපෙත් යම් වරදක් තියෙනවා. මගෙත් ගීත සීයක් විතර තියෙනවා. ඒ දවස්වල සංගීත කණ්ඩායම්වලදි මේ ගීත ගායනා කළා නම් කියලා හිතනවා. මොකද සංගීත කණ්ඩායම් අපේ ගීත වයන්න සූදානම් වෙලා පැමිණියෙත් නැහැ. පැමිණියේම තාත්තලාගේ ගීත වයන්නමයි. ඒ නිසා මේ කාරණය හැමෝටම වගේ අමතකම වෙලා ගිහින්. නමුත් ඒ ඒ කාලයේ මා ගැයූ ගීත ජනතාව අතර ජනප්‍රිය වුණා. ඔබගෙන් පස්සේ මේ ක්ෂේත්රයට පැමිණෙන්නේ පුතා ද? පුතා පවන් මල්ලවාරච්චි. ඔහුට අවුරුදු දාසයක්. දුව අනුපජා මල්ලවාරච්චි. ඇයට අවුරුදු දහ තුනක්. බිරිය නිරාශා. පුතාත් ගීත ගයන්න දක්ෂයි. ඔහු වඩාත් ගයන්නේ බටහිර ගීතයි. ඒ වගේම සිංහල ගීතවලටත් එයා කැමැතියි. සීයාගේ වගේම තාත්තාගේ ගීතත්, අනෙක් පැරැණි ශිලපීන්ගේ ගීතත් එයා දන්නවා. මේ වනවිටත් සංගීතය හදාරනවා. ඒ සම්බන්ධ විභාග දෙක, තුනකින් එහෙමත් පාස්වෙලා තියෙනවා. සංගීතය ඉගෙන ගත්තට කිසිම වරදක් නැහැ නේ. වෘත්තියෙන් සංගීතවේදියෙක් වෙන්න ඔහුගේ කිසිම කැමැත්තක් නැහැ. ගුවන් නියමුවෙක් වෙන්නයි ඔහුගේ අනාගත පැතුම වෙන්වෙලා තියෙන්නේ.
මිල්ටන්ගේ බාල පුතු ගී ලොවට...
සිය පියාණන් වූ මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණන්ගේ ගීත මෙතෙක් ගායනා කළ මිල්ටන්ගේ බාල පුත් තාරක මල්ලවආරච්චි (රනිල් මල්ලවආරච්චිගේ සොහොයුරා) සිය මුල්ම ගීතය පසුගියදා ඔහු පදිංචි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පටිගත කළේය. ලංකාවේ තරුණ සංගීතවේදියකු වන රුක්ෂාන් කරුණානායක එය සංගීතවත් කළ අතර වත්මන් ගුවන් විදුලි සංස්ථා සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නන්ද මුරුත්තෙට්ටුවෙගම ගීතය රචනා කළේය.
'අමතක කරන්න බෑ හැත්තෑව දශකයේ මිල්ටන්ගේ ගීතවලට සමානවම මේ ගීතය නිර්මාණය වී තිබේ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ රුක්ෂාන් විසින් ගුවන් විදුලි සභාපතිතුමා වෙත එම ගීතය ඇතුළත් තැටිය පිරිනමන අයුරුයි. පටිගත කිරීම සම්බන්ධීකරණය කළ ගීත නිබන්ධක මාධ්‍යවේදී ආනන්ද පද්මසිරි ද මෙහි වෙයි.
|