වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය – දැනට හින්දි සිනමාවේ සිටින වයස්ගතම නළු, නිළි යුවළ කවුද?

රත්නසිරි අමරසේකර, ගඟුල, පානදුර

අර්ජුන් - දිලිප් කුමාර් සහ කැමිනී කවුෂාල්

ප්‍රශ්නය – අපේ රටේ සිටි හොඳම චිත්‍රපට තිර රචකයා තිස්ස අබේසේකර යැයි මතයක් පවතිනවා. ඔහුගේ තිර රචනා ඇති චිත්‍රපට මොනවාද?

ඩඩ්ලි ගෝමස්, කටුබැද්ද, මොරටුව

අර්ජුන් – බඩුත් එක්ක හොරු, වැලිකතර, නිධානය, අහස් මැලිගා, සුදු සෙවණැලි, විරාගය, අහසින් පොළොවට, වීදුරු ගෙවල්, කුලගෙය, මහ ගෙදර ඇතුළු චිත්‍රපට ගණනාවක් තිබෙනවා.

ප්‍රශ්නය - සුගතපාල සෙනරත් යාපාගේ ‘මිනිසා සහ කපුටා’ යන කෙටි චිත්‍රපටය සදහා ඉන්දියාවේ කී වැනි ජාත්‍යන්තර සිනමා උලෙළෙහි දීද සම්මානය ලද්දේ?

තිලකරත්න විල්වල, තටාකය පාර, කෑගල්ල

අර්ජුන් - සිව්වන ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උලෙළේ දී රජත මයුර සම්මානය.

ප්‍රශ්නය – ‘පාලම යට’ සහ ‘කෙළි මඬල’ චිත්‍රපට සඳහා සරසවිය සම්මාන උලෙළයන් පැවැති වසර සඳහන් කරන්න?

සරත් ලියනගේ, රන්මුතුගල

අර්ජුන් – ‘පාලම යට’ 1990 දී. ‘කෙළි මඬල’ 1992 දී.

ප්‍රශ්නය – ජයවිලාල් විලේගොඩ පිළිබඳ මා ඇසූ පැනයට තවම පිළිතුරක් පළ වුනේ නෑ. නමුත් පසුගිය 31 වැනි දා සරසවියේ ඔහුගේ භාර්යාව ගේ වියෝව සහ දරුවන් පිළිබඳ විස්තරයක් පළ වී තිබුණා. ඔහු ගැන ඔබේ අදහස කුමක්ද?

උපාලි අමරසිංහ, නාන්කුරු ගම, මාවණැල්ල

අර්ජුන් - ඔබගේ ප්‍රශ්නය කුමක්ද? උපාලි, මෙරට සිනමා විචාරයේ දී වඩාත්ම ජනතාවට බලපෑම් කළ විචාරකයා විලේගොඩයි. ඔහුගේ මතවාද පිළිබඳ මා සියයට සියයක් එකඟ නොවූවත් පුරෝගාමී කටයුත්තේ දී ඔහු දැක් වූ අභීත භාවයටත් එයින් ජනතාව කෙරෙහි ඇති වූ බලපෑමත් මගේ ගෞරවයට හැම වෙලේම ලක් වෙනවා.

ප්‍රශ්නය – ‘උඩු සුළඟ’ චිත්‍රපටය ප්‍රදර්ශනය වූයේ මොන වසරේ දීද?

කෙනත් පෙරේරා, වැලිගම්පිටිය

අර්ජුන් - මෙය කවදාවත් තිරගත වූයේ නැහැ.

ප්‍රශ්නය – ‘හිරු’ නාළිකාවේ විකාශය කෙරෙන ‘මං ආදරෙයි’ ‘දෙරණ’ නාළිකාවේ විකාශය කෙරෙන ‘දේදුන්නයි ආදරේ’ දෙකම එකම කතාවයි නේද? මොකද අපේ ලංකාවේ හැම කතාවම කොපි කරන්නේ. අනේ මන්දා මට නම් තේරෙන්නේ නැහැ මේ මොකද කියා.

ක්‍රිෂා, රත්මලාන

අර්ජුන් - හොඳ වෙලාවට මම ඔය කතා දෙකම බලලා නැහැ.

ඔබේ සිනමා පැන විසඳුම්
අර්ජුන්ගෙන් පිළිතුරු.
සරසවිය, ලේක්හවුස්, කොළඹ 10