වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ගුරුවරයා වුණේ මගේ තාත්තා

මගේ ගුරුවරයා වුණේ මගේ තාත්තා

සම්මානි කොස්තා

ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ පළමු අංගරචනා ශිල්පිනිය ලෙස නම් දිනූ සම්මානි කොස්තා මෙවර ‘හැඩවැඩමැද’ ට සහභාගි වෙයි. අවුරුදු තුනේ පටන් චිත්‍රපට හඬ කැවීම් සඳහා සහභාගි වූ ඇය වෙළෙඳ දැන්වීම් හඬකැවීම් ශිල්පිනියක ලෙස ද සිය දායකත්වය දක්වන්නී ය. ඉන්පසුව ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්වීම් සඳහා හඬකැවූ ඇය රංගනයෙන් චිත්‍රපට කිහිපයකට හා වේදිකාවට ද දායක වූවා ය. ප්‍රවීණ අංගරචනා ශිල්පියෙකු වූ එස්.පී.කොස්තාගේ දියණිය වන සම්මානි අංගරචනා ශිල්පයට යොමු වන්නේ තරුණ වියේ දීම ය.

අංගරචනා ක්ෂේත්‍රයට පැමිණෙන්නට පෙර අවධිය පිළිබඳ සිහිපත් කිරීමක් කරමු ද?

අවුරුදු තුනේදි මම මුලින්ම චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්වීම් සඳහා හඬ කැවීම් කළේ ‘සිතක පිපුණු මල්’ කියන චිත්‍රපටයටයි. මේ වයසේ දි මා මුලින්ම චරිතයක් සඳහා හඬ කැවීම් කළේ ‘කල්‍යාණි ගංගා’ චිත්‍රපටයේදි. එහි රඟපාන පුංචි දියණියටයි මම හඬ දුන්නේ. මට තාම මතකයි එහි හඬ කවන්න මම පුටුවකටත් නැග්ගා. ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක් විදියට කටයුතු කරන කාලයේ මම තමයි එතැන හිටිය පුංචිම ළමයා. වේදිකාවේදි ඩේෂන් අමරිසිංහගේ කිරිගරුඬා කියන නාට්‍ය යෙත් රඟපෑවා. චිත්‍රපට රංගනයක් සඳහා මම මුලින්ම සහභාගි වන්නේ පතිරාජ එල්.එස්. දයානන්දගේ ‘චණ්ඩි පැටව්’ සඳහා. ඊට පස්සේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දෙන නිසා මේ සෑම කටයුත්තකින්ම ඈත් වෙන්නට මට සිදුවුණා.

කුඩා කාලයේදීම අංගරචනා ශිල්පියෙකු වීමට ද ඔබ අදහස් කරගෙන සිටියේ ?

ඒ විදියේ අදහසක් පුංචි කාලයේ මගේ සිතකවත් තිබුණේ නැහැ. ඒ කාලයේ මම හිතාගෙන හිටියේ ඉංජිනේරුවෙක් හෝ ගණකාධිකාරිවරියක් වෙනවා කියලයි.

මේ අදහස ඔබගේ සිතේ පිළිසිඳ ගන්නේ කොයි කාලෙ ද ?

ඕලෙවල් කරලා මම ගෙදර ඉන්න කාලයේදියි මේ අදහස මගේ සිතේ ඇති වෙන්නේ. මගේ තාත්තාගේ රැකියාව ගෙන යන්න අපේ පවුලේ කෙනෙක් හිටියේ නැති නිසා මම ඒ වගකීම භාරගත යුතු යැයි සිතුවා. ඒ වගේම ඒ වනවිට චිත්‍රපට ක්ෂේත්‍රයේ කාන්තාවක් අංගරචනා ශිල්පයට යොමුවෙලා සිටියේත් නැහැ. ඒ නිසා ඒ කටයුත්ත මා ආරම්භ කළ යුතුයැයි කියන අදහසත් මගේ සිතට පැමිණියා. මේ හැම අදහසක්ම සිතේ තියාගෙන මට අංගරචනා ශිල්පිනියක් වෙන්න ඕනෑ කියලා මම මුලින්ම කිව්වේ තාත්තාටයි.

තාත්තා ඒ අදහසට එකඟ වුණාද ?

ඒ කාලයේ මම කිසිම කෙනෙක්ගේ මූණක්වත් බලලා කතා කරන කෙනෙක් නොවෙයි. මේ නිසා ඔහු එකපාරටම ඇහුවේ එහෙම කෙනෙක් කොහොමද මේකප් කරන්නේ කියන ප්‍රශ්නයයි.

තාත්තාගෙන් අනුමැතිය නොලැබුණු නිසා ඔබ අදහස අත්හැරිය ද ?

මුලින්ම මම කළේ තාත්තාගේ වැඩ ගැන ලියලා තියෙන දිනපොත අරගෙන ඉදිරි කටයුතු පිළිබඳ විමසිල්ලෙන් සිටින එකයි. ඒ අනුව ලුම්බිනියේ නාට්‍යයක් තියෙන දවසට හවස ෂෝ එකට කලින් මමත් තාත්තා ඉන්න තැනට යන්න පුරුද්දක් කරගෙන සිටියා. ඒ නාට්‍යය නරඹන මුවාවෙන් අංගරචනා කරන හැටි ඉගෙන ගැනීමේ පරමාර්ථයෙන්. එතැනට ගිහින් තාත්තා වැඩ කරන හැටි හොඳට බලාගෙන හිටිය විතරක් නොවෙයි ඔහු කරන දේ පිළිබඳ ප්‍රශ්න කරන්නත් අමතක කළේ නැහැ. තාත්තා ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරුත් මට ලබා දුන්නා.

ඔයාගේ මේ අපේක්ෂාව කාලයක් යද්දි තාත්තාට දැනුණා ද ?

පුංචි කාලයේ ඉඳලාම නාට්‍ය නරඹන්න යන එක පුරුද්දක් කරගෙන සිටිය නිසා තාත්තාට ඒ ගැන ගණනක් තිබුණේ නැහැ. එහෙත් කාලයක් යනවිට නම් ඒක ඔහුට දැනෙන්න ඇති කියලා මට හිතෙනවා. මේ අතරදි දවසක් අපූරු අකරතැබ්බකට මට මුහුණ පාන්න වෙනවා. ඒ එදා තිබුණු ‘අල්ලපු ගෙදර’ වේදිකා නාට්‍ය යේදි. “ලොකුදුව ඔයාට බැරිද මේ අයගෙන් එක්කෙනෙක්ගේ අංගරචනා කරන්න” කියලා තාත්තා මගෙන් අහන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා ප්‍රමාද වී තිබෙන අංගරචනා කටයුතු ඉක්මන් කරන්නයි. ඒ අනුව මුලින්ම අංගරචනා කටයුතු කරන්න මට භාර වෙන්නේ පතිරාජ එල්.එස්. දයානන්ද අංකල්ගේ. ඒ කාරණයත් මට විශේෂත්වයක්. මොකද මා මුලින්ම රගපෑ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේම අංගරචනා කරන්න අවස්ථාව හිමිවීමයි. මේ කටයුත්තෙන් පස්සේ මට ගොඩක් හොඳ ප්‍රශංසා හිමි වෙනවා. හැමදාම අංගරචනා කටයුතුවලට මාව එක්ක එන්න කියලත් ඒ අය තාත්තාට යෝජනා කරනවා. එහෙම කියන්න තරම් මා කළ අංගරචනා කටයුත්ත ඔවුන්ගේ හිතට අල්ලනවා.

ඊළඟ වතාවේදි තාත්තා ඔබටත් අංගරචනා කටයුතු කරන්න නිර්මාණයක් භාර දෙනවාද?

කාලයක් තාත්තාත් සමඟ මා අංගරචනා කටයුතුවල යෙදුණා. ඒ ඉන්න අතරතුරදි දවසක් හදිසියේම වගේ මට තාත්තා වේදිකා නාට්‍යයක් භාර දෙනවා. ඒ නිශාන්ත ද අල්විස්ගේ ‘ලෝඩ්’ කියන නාට්‍යයයි.

ඒ වනවිට තාත්තාත් අංගරචනා ක්ෂේත්‍රයේම නියැළීම ඔබගේ කටයුතු කරගෙන යන්න පහසුවක් වුණා ද ?

තාත්තා නිසා මට ක්ෂේත්‍රයේ හොඳ පිළිගැනීමක් තිබුණා. හැමෝම මාව ආදරයෙන් පිළි ගත්තා.

ඔබටම අංගරචනා කටයුත්තකට ආරාධනාවක් ලැබෙන්නේ කුමන නිර්මාණයකට ද ?

ඒ නිශාන්ත ද අල්විස්ගේ ‘අඹුසැමියෝ’ කියන චිත්‍රපටයටයි. මටම ලැබුණු මේ නිර්මාණය මා භාර ගත්තා. ජෝ අබේවික්‍රම, ගීතා කුමාරසිංහ, අමරසිරි කලංසූරිය, වසන්ති චතුරාණි, රුබී ද මෙල්, සිරිල් වික්‍රමගේ වැනි ප්‍රවීණ නළු - නිළි පිරිසක් එහි රඟපෑවා. ඒ ශිල්පීන්ගෙන් හා ශිලිපිනියන්ගෙන් මගේ කටයුතුවලට සම්පූර්ණ සහයෝගයකුත් ලැබුණා.

මේ අතර සම්මානයක් ලබන්නටත් ඔබට හැකියාව ලැබෙනවා.

ඒ 1988 වසරේදි යොවුන් නාට්‍ය සම්මාන උලෙළේ දි නිශාන්ත ද අල්විස්ගේ නාට්‍යයක් වෙනුවෙන් කුසලතා සම්මානයක්. මේ නාට්‍ය තමයි මටම ආරාධනා ලැබිලා කළ පළමු වේදිකා නාට්‍යය වෙන්නේ. ඊළඟට විජය ධර්ම ශ්‍රීගේ ‘ඉරබටුතරුව’ ඒකාංගික ටෙලි නාට්‍යයට මට ආරාධනා ලැබෙනවා. මේ විදියට ඊට පස්සේ මට දිගටම නිර්මාණ රැසකටම දායක වෙන්න අවස්ථාව හිමි වෙනවා.

මේ වනවිට ඔබ අංගරචනයෙන් සහභාගි වුණු නිර්මාණ කොපමණ ද ?

චිත්‍රපට හයකට විතර පස්සේ වැඩිපුර චිත්‍රපටවල අංගරචනා කටයුතු මා භාර ගත්තේ නැහැ. එහෙත් දිගටම ටෙලි නාට්‍ය නිර්මාණ නම් භාර ගත්තා. මේ වනවිට ටෙලි නාට්‍ය තිස්පහකට පමණ අංගරචනා කටයුතුවලින් සහය වෙලා තියෙනවා.

කාලයක් ඔබ ආයතන ගත වෙනවා ?

යන්ග් ඒෂියා ටෙලි විෂන් ආයතනයේ මම වැඩ කරන්නේ 1997 වසරේදි. මා ඉන් ඉවත් වෙන්නේ 2007දි. ඉන් පස්සේ වෙළෙඳ දැන්වීම් කටයුතු රැසකටම සහභාගි වෙනවා. පුතාලා ඉපදුණ නිසයි තරමක් හෝ මේ විදියට ඒ කටයුතුවලට මා සීමාවක් පනවා ගන්නේ. වෘත්තිය වෙනුවෙන් කාලය ගත කිරීම කොහොම වෙතත් දරුවන් දෙදෙනා මගේ ජීවිතය වෙනවා. ඔවුන් දෙදෙනා දමා දවස් ගණන් ඈත ගිහින් ඉන්නට මට ඉන්න බැහැ. ඒ නිසා දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් වැඩ පමණක් භාර ගෙන කරන්න පෙලඹෙන්නේ මේ අතරදියි.

‘කස්තිරම’ ඔබගේ ජීවිතයේ අමතක නොවන ටෙලි නාට්‍යයක් ද ?

මී මුරේ තමයි මෙහි රූගත කිරීම් කෙරුණේ. ඒ කාලයේ අද වගේ ලෙහෙසියෙන් එහි යන්න බැහැ. බොහොම දුෂ්කර ඒ ගමන මගේ සිතෙන් කවදාවත් මැකිලා යන්නේ නැහැ. වාහනයක් වත් යන්නේ නැති ඒ පළාතේ යන පාරේ මැදින් තැනින් තැන වතුර ගලනවා. ඒ තැන්වලින් බැහැලා එගොඩ වෙලා ගිහින් නැවතත් අපි වාහනයට නැඟිය යුතුයි. මේ විදියට මහන්සි වෙලා බොහෝදුර ගිහින් අපේ නවාතැනට යන්න නම් කන්දකුත් නඟින්න වුණා. ඊළඟ දවසේ රූගත කිරීම්වලට යන්න අර බඩුත් උස්සගෙන කන්ද බැසිය යුතුයි. මේ වගේ වෙලාවකදි යුනිට් එකේ අය වගේම නළු - නිළියන් වුණත් මට බොහොම උදව් කළා. සමහර වෙලාවට මමත් ඔවුන්ට උදව් කළ අවස්ථා තිබුණා.

අංගරචනා කටයුතුවලදි කරදරයක් බවට පත්වුණු නිළියන් ඔබට හමුවෙලා තියෙනවද ?

බොහෝදෙනෙක් මාත් සමඟ සමයෝගයෙන් කටයුතු කළා. ඒත් අංගරචනා කටයුතුවලදි එකම නිළියක් එයාව වයස කරනවාට කැමැති වුණේ නැහැ. ඇය වියපත් නිළියක්. කොණ්ඩය සුදු කරනවාට, දත් කළු කරනවාට ඇය කැමැති වුණේ නැහැ. එහෙම වුණත් මම ඒ කටයුත්තේ නියැළුණා. නිතර නිතර ඒ දේවල් මකා ගත්තත් මම නැවතත් ඇයව අංගරචනය කළා.

ඔබ වඩාත් අංගරචනය කරන්න කැමැත්තෙන් ඉන්න නළු - නිළියන් කවුරු හෝ ඉන්නවා ද ?

කවදා හෝ දවසක නිළි රැජන මාලිනී ෆොන්සේකාව අංගරචනා කිරීමේ කැමැත්තක් මගේ සිතේ තිබෙනවා. ඒ විදියට විජය කුමාරතුංග අංගරචනා කටයුතු කරන්නත් මම සිටියේ බොහොම කැමැත්තෙන්. ඒ අවස්ථාව මගෙන් ගිලිහිලා යන්නේ බොහොම අසුන්දර විදියටයි. ඔහු රඟපෑව ‘මධුසමය’ චිත්‍රපටයේ අංගරචනා ශිල්පියා විදියට සිටියේ මගේ තාත්තා. මගේ ආශාව පිළිබඳ ඔහුට කියලා තිබුණා. ඒ නිසා මාව අංගරචනා කටයුතුවලට එක්කගෙන යන්න තාත්තා පොරොන්දුවක් දීලයි සිටියේ. ඒත් මගේ අවාසනාවට දෝ ඒ කාලයේ හරියටම විජය කුමාරතුංග මිය ගියා.

නිර්මාණ කටයුත්තකදි මෙතෙක් කාටවත් නොකියූ අමතක නොවන සිදුවීමක් තිබෙනවා ද?

ඒක වුණේ විජය ධර්ම ශ්‍රී මහත්තයාගේ නාට්‍යයකයි. ඒ චරිතය කළේ වික්‍රම සෙනෙවිරත්නයි. ඔහුට තිබුණේ ප්‍රශ්න නිසා ගල් වළෙන් පැනලා මැරෙන දර්ශනයක්. ඒ සිද්ධියේදි මැරුණු ඔහුව අංගරචනා කටයුතු කරන්න තිබෙනවා. කොහොම හරි මම ඒ තුවාල ටික දමලා අවසන් වුණා විතරයි මාව සිහිසුන් වෙන්න එන වග මට දැනුණා. කාටවත් නොකියා මම ඔහුව සෙට් එකට භාරදීලා ඉක්මනට ඇවිත් ඔළුව ගහගෙන සිටියා. මොකද මට ලේ බලන්න බැරි ප්‍රශ්නය ඒ වනවිට බොහොම දැඩිව තිබුණු දෙයක්. ඒත් මේ ගැන අද වනතුරුත් කිසිම කෙනෙක් දන්නේ නැහැ.

ඔබ අංගරචනා ශිල්පිනියක් වීම පිළිබඳ පසු කාලයේ දී තාත්තා සතුටු වුණා ද ?

මුලින්ම මේ පැත්තට තාත්තා විරුද්ධ වුණත් පස්සේ බොහොම සතුටු වුණා. ඒ එයාගේ නම ගෙනියන්න කෙනෙක් ඉන්න එක ගැනයි. ඒ කාලයේ එයා මටත් හොරෙන් මගේ වැඩ කටයුතු ගැන හොයලා තිබුණා.

ඔබගේ සැමියා වන චන්දන හේවාපතිරණගේ නිර්මාණවලට ඔබ අංගරචනා කටයුතුවලින් දායක වුණා ද?

ඔහු අධ්‍යක්ෂවරයෙක් වුණාට පස්සේ ඔහුගේ ඒකාංගික නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියෙනවා. ඉදිරියේදි හොඳ චිත්‍රපටයකට අංගරචනා කටයුතුවලින් සහභාගි වෙන්න මම කැමැත්තෙන් ඉන්නවා.