වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

උසාවිය නිහඬ වනු සිනමා පටයට අවසරයි

සම්මානනීය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද මුල්ම අර්ධ වෘත්තාන්ත සිනමා කෘතිය වන මේ වනවිටත් ලොවපුරා ආන්දෝලනයට පාත්‍රව ඇති ‘උසාවිය නිහඬ වනු’ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් අනුමැතිය ලද්දේය. එය ළඟදීම ඩිජිටල් සිනමා ශාලාවල්වල තිරගත වීමට සූදානම් වෙයි.

‘උසාවිය නිහඬ වනු’ අර්ධ වෘත්තාන්ත චිත්‍රපටය සඳහා පාදක වන්නේ කලක් ලංකාවේ ජනතාව අතර කතාබහ වුණු ‘රාවය’ පුවත්පත ඔස්සේ වික්ටර් අයිවන් හෙළි කරන ලද සත්‍ය කතාවකි. ඒ ආශ්‍රය කර ගනිමින් නිර්මාණය වූ මේ චිත්‍රපටයෙන් හෙළි වන්නේ නීතියේ ඇති හිඩැස් හා නිතීය ක්‍රියාත්මක කරන අයගේ අකටයුතුකම් නිසා කාන්තාවක විඳී අතෝර ය. එවැනි අවස්ථාවකදී ඒ කාන්තාව පමණක් නොව මුළු මහත් කාන්තාවන්ටම මුහුණ දීමට සිදුවන ඛේදය අධ්‍යක්ෂවරයා මේ චිත්‍රපටය ඔස්සේ සංයමයෙන් යුතුව අපට ගෙනහැර පායි.

‘අනන්ත රාත්‍රිය’, ‘ඉරමැදියම’, ‘ආකාස කුසුම්’, ‘පුරහද කළුවර’, ‘ඔබ නැතුව ඔබ එක්ක’, ආදී සිනමා නිර්මාණ රැසක් ලාංකේය සිනමා රසිකයන් වෙත රැගෙන පැමිණි ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය මේවන විට ලොවපුරා දැඩි කතාබහට ලක්ව ඇත.

රේඛාවට සම්බන්ධ අය ඕනෑ සංස්ථාවෙන් ඉල්ලීමක්

මුල්ම කතානාද චිත්‍රපටය තිරගත වී වසර 69 ක් පිරීම නිමිත්තෙන් මෙම මස 21 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ රේඛාව චිිත්‍රපටය ප්‍රදර්ශනය සහ එයට සම්බන්ධ වූ දැනට ජීවතුන් අතර සිටින සියලු ශිල්පීන්ට උපහාර පිදීමක් ද සිදුවනු ඇත. මේ වන විට එම ශිල්පීන්ගෙන් වැඩි ප්‍රමාණයකට සංස්ථාව මඟින් මෙම උත්සවය පිළිබඳ දන්වා ඇති අතර රේඛාවට දායක වී දැනට අප්‍රකටව සිටින ශිල්පීන්ට එදින සහභාගිවීමට ආරාධනා කිරීමට අවශ්‍යව ඇත. එහෙයින් රේඛාවට සම්බන්ධ වුණු කිසියම් ශිල්පියකු සිටී නම් ජාතික චිත්‍රපට සංස්ථාවේ 0112593430 අංකයට කතා කොට විස්තර දන්වන්න යැයි සංස්ථාව ඉල්ලිමක් කරයි.

හෝ ගානා පොකුණ සම්මන්ත්‍රණයක් 14 වැනිදා...

ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘හෝ ගානා පොකුණ’ ළමා සිතුවම පිළිබඳ සම්මන්ත්‍රණයක් සහ විචාරාත්මක අදහස් දැක්වීමක් මෙම මස 14 වැනිදා එනම් එන බ්‍රහස්පතින්දා උදෑසන 9.00 ට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වෙයි. මේ සඳහා ආරාධිත දේශකයන් වශයෙන් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම සහ සිනමා විචාරක සරසවිය සිනමා පුවත්පතෙහි නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර සහභාගි වනු ඇත. සිනමාව පිළිබඳ උනන්දුවන සියලු දෙනා හට මේ සඳහා එකතුවන්නට යැයි සංවිධායක කමිටුව විවෘත ආරාධනාවක් කරයි.

හායි ඩිරෙක්ටර් ළඟදීම වැඩ ඇරඹේ...

කීර්ති බණ්ඩාරගේ සිව්වැනි සිනමා පටයෙහි මුහුරත් උලෙළ මෙම මාසයේ දී පැවැත්වීමට නියමිතය. විනෝදාත්මක සිනමා සිතුවමක් වන එය ‘හායි ඩිරෙක්ටර්’ ලෙස නම්කොට ඇත. හායි ඩිරෙක්ටර් චිත්‍රපටයට රංගනයෙන් දායක කර ගනිමින් නවක නළු, නිළියන් කිහිප දෙනෙකු සිනමාවට හඳුන්වා දීමට අධ්‍යක්‍ෂවරයා අපේක්‍ෂා කරයි. ඒ වෙනුවෙන් සම්මුඛ පරීක්‍ෂණයක් මෙම මස 08 වැනි දා සුදර්ශී ආයතනයේ දී පැවැත්වෙනු ඇත.

ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය පිළිබඳ කතිකාව අද...

ශ්‍රී ලංකාවේ යෝජිත ජාතික සංස්කෘතික ප්‍රතිපත්තිය වෙනුවෙන් කලා අංග සහ කතිකාවතක් ඇතුළත් සංස්කෘතික සන්ධ්‍යාවක් මෙම මස 07 වැනිදා (අද) සවස 4.00 සිට රාත්‍රි 8.00 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙයි. මෙම උලෙළ සංවිධානය කරනු ලබන්නේ කලා සහ සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකය විසිනි.

සංස්කෘතිය සම්බන්ධයෙන් දැනට පවතින ගැටලු සහ එයට ජාතික සංස්කෘතික ප්‍රතිපත්තියකට ඇති අවශ්‍යතාව සාකච්ඡා කිරීම උදෙසා දිවයිනේ ප්‍රමුඛ කලාකරුවන් සහ බුද්ධිමතුන් එක් වේදිකාවකට ගෙන ඒම මෙහි අරමුණයි. දිවයිනේ විවිධ දෙසින් විවිධ වයස් කණ්ඩයන් නියෝජනය කරමින් කලකරුවෝ රැසක් මෙහිදී කලා අංගයන් ඉදිරිපත් කරනු ලබති.

කලා සහ සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකය යනු කලාකරුවන්ගේ සහ පොදු ජනතාවගේ උපදෙස් රැස් කිරීමේ ක්‍රියාවලියක් හරහා සැකසෙන නව කලා සහ සංස්කෘතික ප්‍රතිපත්ති යෝජනාවලියක් සැකසීම උදෙසා ඉදිරිපත් වූ කලාකරුවන් සහ බුද්ධිමතුන් ගේ ස්වාධීන එකමුතුවකි. සැකසුම් ක්‍රියාවලිය අවසානයේදී මෙම ප්‍රතිපත්තිය පාර්ලිමේන්තු පණතක් මඟින් බලාත්මක කෙරෙනු ඇත.

මෙම සංවිධානයේ සභාපති ජ්‍යෙෂ්ඨ කලාකරු පරාක්‍රම නිරිඇල්ල සහ ආචාර්ය සුනිල් විජයසිරිවර්ධන විසින් මූලිකත්වය ගෙන ක්‍රියාත්මක වන කලා සහ සංස්කෘතික ප්‍රතිපත්ති ඒකකය පුළුල් සහ පරිග්‍රාහක ප්‍රතිපත්ති යෝජනා මාලාවක් සකස් කරන අතර දීප ව්‍යාප්තව ශ්‍රී ලාංකික ජනතාවගේ සංස්කෘතික විඥානය ඉහළට එසවීම උදෙසා වැඩ පිළිවෙළක් ද දියත් කිරීමට වසර දෙකක කාලයක් ඔවුන්ටම නියම කොට ඇත. මෙම සංවිධානයේ ලේකම් වශයෙන් සුදත් මහදිවුල්වැව කටයුතු කරයි. හිරණ්‍යාදා දේවසිරි සම්බන්ධීකාරකවරයා වේ.

ප්‍රින්ස් රෝහලේ ඔබේ උදව් ඕනෑ

ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මේ වන විට කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව සරසවියට වාර්තා විය. ඔහුගේ මොළයට විෂ බීජයක් ඇතුළුවීම හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත වී ඇත. ප්‍රින්ස්ගේ සොහොයුරිය වන ශිරෝමි ප්‍රනාන්දු පවසන අන්දමට ප්‍රින්ස්ට මේ වන විට ඇවිදීමට පවා නොහැකිය. එමෙන්ම මතක ශක්තිය ද දුර්වලව ඇති වග ඇය වැඩිදුරටත් පවසා සිටියේය. ප්‍රින්ස්ට මේ මොහෙතේ ඔබගේ නොමසුරු පරිත්‍යාගශිලීත්වය අවශ්‍යය. ආර්ථික අතින්ද දුර්වල වී සිටින ඔහුට හැකි පරිදි යම් මුදලක් ඇල්පිටිය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 100948803862 අංකය යටතේ ඇගේ සොයුරි ශිරෝමි ප්‍රියංගිකා ප්‍රනාන්දු නමට බැර කිරීම මේ මොහොතේ යම් අස්වැසිල්ලක් වනු ඇත. 0769111838 හෝ 0777576128 යන අංකයන්ට ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.

චන්නගේ පුංචි වීරයෝ චිත්‍රපටයක් වෙයි

චන්න පෙරේරා කලකට ඉහතදී නිර්මාණය කළ පුංචි වීරයෝ ටෙලි සිතුවම ඔබට මතක ඇති. එම සංකල්පය පාදක කර ගනිමින් රිදී තිරයට එම නමින්ම සිනමා සිතුවමක් නිර්මාණය කිරීමට චන්න සූදානම් වෙයි. එය නම් කොට ඇත්තේ ද පුංචි වීරයෝ නමිනි. පසුගියදා නාමෙල් මාලිනී පුංචි තියටර්හි පැවති මුහුරත් උළෙලෙන් අනතුරුව එහි මූලික වැඩ කටයුතු ඇරැඹිණි.

විජයරත්න වරකගොඩ, අයිරාංගනී සේරසිංහ, රජිත හිරාන් චාමිකර, සරත් කුලාංග සහ දීපානි සිල්වා මෙහි චරිත මවති. පුංචි වීරයෝහි ළමා නළුවන් පස් දෙනෙකි. ඒ නෙතිනි, රෙහාන්, එෂිනි, දුආශා සහ සදීෂ වෙති.

අජිත්-අජන්ත සොහොයුරන්ගේ පියා මියයයි

මාධ්‍යවේදී අජිත් අලහකෝන් සහ කලා අධ්‍යක්ෂ අජන්ත අලහකෝන් යන දෙසොහොයුරන්ගේ ආදරණීය පියාණන් වූ ඩී. එස්. අලහකෝන් මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු අසූ පහකි. ඩී. එස්. අලහකෝන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් කාර්මික නිලධාරියකු වේ. ඔහුගේ අවසන් කටයුතු පසුගිය සඳුදා එඬේරමුල්ල ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සුසාන භූමියේදී සිදු කෙරිණ.

මාරියෝගෙන් අලුත්ම වීඩියෝවක්

ප්‍රවීණ ගායන ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්දගේ පුත් මාරියෝ ආනන්දගේ ගීත දහයක් රැගත් රූප රචනා සහිත වීඩියෝ පටයක් ඔබ හමුවට පැමිණ ඇත. ‘නුඹ අත බලා’, ‘නා දලු සැලෙනා’, ‘හඳුනන්නේ’, ‘සීත නලරැල්’ ආදී ගීත රැසක් එහි ඇතුළත් ය.

නූතන බෝසත්තු

ප්‍රියන්ත ජයරත්නගේ ‘නූතන බෝසත්තු’ කුලුදුල් නවකතාව පසුගියදා එළිදැක්විණ.

වත්මන් මිරර් සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කිරීමට පෙර සිනමාව හා තවත් විෂයයන් අලළා ග්‍රන්ථ රචනා කර ඇති ඔහුගේ මේ නවකතාවේ එන මනඞකල්පිත චරිත බොහොමයක් කර්තෘවරයාගේ ජීවිතයට සමීප බව හේ පවසයි. මේ කෘතිය සංහිඳ ප්‍රකාශනයකි.

ආධුනික කලාකරුවන් වෙනුවෙන් සංසදයක්

ඌවතැන්නේ සුමන හිමිගේ ප්‍රධානත්වයෙන් ඇරැඹෙන ආධුනික කලාකරුවන් වෙනුවෙන් පිහිටුවන සංසදයක් සඳහා මේ දිනවල අයැදුම් පත් කැඳවයි. ආධුනික නළු - නිළියන්, ගායක - ගායිකාවන් සඳහා ඉඩහසර වෙන්වන මේ සංසදයට බැඳීමට කැමැත්තක් දක්වන්නෙකු වෙතොත් මේ මස 25 වැනිදාට පෙර බෝධිරාජාරාම අධ්‍යාපනික සංස්කෘතික හා සමාජ සේවා සුබ සාධක පදනම, ශ්‍රී බෝධිරාජාරාමය, බෝධිරාජාරාම මාවත, මාළිගාවත්ත, කොළඹ 10 යන ලිපිනයට තම විස්තර දන්වා අයැදුම් පතක් එවිය හැකිය. වැඩි විස්තර 0777-421929 හෝ 0713-757637 යන දුරකථන අංකවලට කතා කිරීමෙන් දැන ගත හැකිය.

පොත් මිතුරෝ වෙතින් වැඩසටහන් රැසක්

කර්තෘ ප්‍රකාශකයන්ගේ ජාතික සංසදය ( පොත් මිතුරෝ ) උදා වූ නව වසරේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඒ අතර කර්තෘ ප්‍රකාශකයන්ගේ ජාතික සංසදයේ 5 වැනි සංවත්සරය පැවැත් වීම, ග්‍රන්ථ කර්තෘවරුන්ට ඇති ගැටලු සඳහා විසඳුම ලබා ගැනීමට ජනාධිපතිතුමාට සංදේශයක් ඉදිරිපත් කිරීම, ජාතික පුස්තකාල සේවා හා ප්‍රලේඛන මණ්ඩලයේ සහයෝගයෙන් ‘ග්‍රන්ථකරණයේ නිවැරැදි සැකැස්ම පිළිබඳ ග්‍රන්ථ කතුවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් පැවැත් වීම, කවි ලිවීමේ උනන්දුවක් ඇති ලේඛක - ලේඛිකාවන් වෙනුවෙන් වැඩමුළුවක් පැවැත් වීම හා ඒ අයගේ කවි ඇතුළත් කවි පොතක් එළිදැක්වීම, පොත් ලිවීමට අදහස් කරන විදේශගතව සිටින ලේඛක - ලේඛිකාවන්ගේ පොත් ප්‍රකාශනයට පහසුකම් සලසා දීම, පහසු මුදලට මුද්‍රණ පහසුකම් සලසා දීම, පොත් ප්‍රදර්ශන මාලාවක් පැවැත් වීම, කර්තෘවරුන්ගේ සුබ සාධනය සඳහා වැඩසටහන් දියත් කිරීම ආදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඒ අනුව මේ සංසදයට සහභාගි වීමට කැමැත්ත දක්වන්නෙක් සිටියි නම් මේ මාසය ඇතුළත ඒ පිළිබඳ විස්තර පොත් මිතුරෝ, 53, දෙවන මහළ, පළමු මරදාන, කොළඹ 10 යන ලිපිනයට ලිවීමෙන් ලබාගත හැකිය. නැතිනම් 077619655 යන දුරකථන අංකයට මේ සංසදයේ ජාතික සංවිධායක මනෝජ් රූපසිංහ ඇමතීමෙන් විස්තර ලබාගත හැකිවෙයි. එසේත් නොමැති නම් [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් විමසිය හැකිය.