|
සුනිල්, මහින්ද, ගාමිණී නිම්වළල්ලට එක් වෙති
'නිම්වළල්ල' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට නළුවකු තවම තේරා ගත්තේ නැත. නාලන්දාවේ ඉගෙනුම ලබමින් සිටි තිස්ස විජේසුරේන්ද්‍ර එවකට කලණ මිතුරෝ චිත්‍රපටයේ රඟපා තිබුණි. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනීමෙන් පසු මහනුවරම ඡායාරූප ශාලාවක සේවය කළ අමරසිරි කලංසූරියත්, ආනන්දයේ ඉගෙනුම ලැබූ නිමල් හෙට්ටිආරච්චි (ආචාර්ය), රත්නසිරි රාජපක්ෂ (පසුව නගරාධිපති), ශ්‍රී ලාල් ජයමහ, ජයන්ත කළුපහන ('රිවිර' කර්තෘ මණ්ඩලයේ සේවය කරයි) මේ අතර වූහ. එහෙත් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා තෝරා නැත. 'නිම්වළල්ලට' චරිත තේරීමේදී අධ්‍යක්ෂ රංජිත් ලාල් මගේ සහාය නිරතුරුව බලාපොරොත්තු වූයේය. 'සත් සමුදුරේ' රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චි හා ජානකී කුරුකුලසූරිය ඒ වන වට අප තෝරා ගෙන තිබුණි. චිත්‍රපටයේ තිර නාටකය ලිවීමට අවසන් වරට කරට ගත්තේ ද ආනන්දයේ ඉංජිනේරු අංශයේ ශිෂ්‍ය අසෝක ඩයස් වීරසිංහය. ඔහු එකල ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ උඩු කයේ මූර්තියක් සාදා ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රසාදය දිනා තිබුණි. අසෝක විශ්ව සම්භාවනීය සිනමා කෘති මෙන්ම තිස්ස අබේසේකරගේ පුස්තකාලයෙන් තිර නාටක ගැන ලියූ පොත පත පරිශීලනය කළ ශිෂ්‍යයෙකි. ඔහුගේ ප්‍රියතම තිර නාටක රචකයා වූයේ රොබට් බෝල්ට්ය. 'රංජිත් නිම්වළල්ලේ ජීවනාලිය ප්‍රධාන චරිතය ජිනේ. ඔහු ආර්ථික අපහසුකම් ඇති අසහනශීලී චරිතයක්' අසෝක මට කීවේය. 'බලමු' මම කීවෙමි. මගේ මතකයට ආවේ කොස්ගස් හන්දියේ ස්වර්ණ චෛත්‍ය පාරේ (මෝල වත්තේ) දැක පරුදු චරිතයකි. වෙසක් කාලයට අපි කොස්ගස් හන්දියේ ස්වර්ණ චෛත්‍ය පාරේ වෙසක් තොරණක් ඉදි කළෙමු. ඒ සඳහා ජාතක කතා වස්තු සපයා දීමේ කාර්යය මට පැවරිණ. මමත් තුංගසේනත් දෙබස් ලියා නාට්‍යය සකස් කළෙමු. ස්වර්ණා කොස්ගස් හන්දියේ සිටි ගුවන් විදුලියේ ළමා ගායිකාවක් වූ මානෙල් උපසේන ද මා ද තුංගසේන ද මෙහි රඟපෑවෙමු. පසුබිම් සංගීත සඳහා වාද්‍ය ඛණ්ඩ තේරා ගත්තේ මාමා ළඟ තිබූ 'නව්රාන්' හින්දි චිත්‍රපටයේ සංගීතය ඇතුළත් ඹ්. ර්‍ථ තැටියයි. වෙසක් තොරණ ලහි ලහියේ ඉදි වෙයිි. ඒ අසල සිටි තරුණයෙකුට මගේ සිත යොමු වෙයි. අසෝක සිනමාහලේ සේවය කළ අමරසිංහගේ සොහොයුරෙකි ඔහු. ඔහුගේ වැඩිමහල් සොහොයුරු උපාලි අමරසිංහ නිතර අපේ නිවසට පැමිණියේ ස්වර්ණ චෛත්‍ය විහාරස්ථානයේ දායක සභාවේ වැඩවලට තාත්තා හමුවීමටය. මේ තරුණයාගේ නම නිශ්ශංක අමරසිංහය. ඒ වන විට ඔහු විදේශීය කම්පැණියක ආරක්ෂක සේවයේ රැකියාවක් කරමින් සිටියේය. තවත් විශේෂයක් වූයේ ඔහු විවාහ වූ රත්නමාලී මා සමඟ ආමර් වීදියේ ජේතවනාරාමයේ ධර්මපරායණ දහම් පාසලේ මගේ පන්තියේ එකට ඉගෙන ගැනීමය. අපේ වෙසක් තොරණේ වැඩ කටයුතුවලට අනිත් තරුණයන් හා උරෙන් උර ගැටෙමින් සිටි නිශ්ශංක කෙරෙහි මගේ සිත යොමු විය. 'ඔයා කැමැතිද චිත්‍රපටයක රඟපාන්න' මම විවෙකී අවස්ථාවක ඔහුගෙන් ඇසීමි. ඔහු හිස සලා එයට අනුමැතිය දුන්නේය. 'චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වෙන්න කැමතිද?' 'මම කැමැතියි. ඒත් . . . එච්චර ලොකු චරිතයක් මට රඟපෑමට පුළුවන් වෙයිද? අඩු තරමේ සුමිත්‍රා ස්ටුඩියෝ එකේ වෙසක් නාට්‍යයකවත් රඟපාලා නෑ' 'ඒක අපේ අධ්‍යක්ෂකගේ කැමැත්ත බලා තීරණය කරමු' මම ඔහුගෙන් සමු ගනිමින් කිවෙමි. 'ඔන්න ලාලේ, තිර නාටකයට අනුව ජිනේගේ චරිතෙට ඕනෑ කියලා හිතන කොල්ලව හමු වුණා' මම පසුදා රන්ජිත් ලාල්ට කීවෙමි. 'උඹට ෆිට් නම් ඒක බලන්න ඕනෑ නෑ. හෙටම එක්ක වරෙන්' ඔහු කීවේය. පසුදා නිශ්ශංක ද කැටුව මම ආනන්දයට ගියෙමි. රන්ජිත් ලාල් ප්‍රමුඛ අපේ 'නිම්වළල්ල' පිරිස ආනන්දයේ ලෙඩ්බීටර් ගොඩනැගිල්ලේ උඩු මහලේ සිට අප එනතරු බලා සිටියෝය. අප එහි යාමටත් පෙර ඔවුන් විදුලි වේගයෙන් පහළට පැමිණියෝය. 'මෙන්න ඉන්නවා නිම්වළල්ලේ ජිනේ' රංජිත් ලාල් නිශ්ශංකගේ අතින් අල්ලා ගත්තේය. 'ලාල් අපි ඉස්සෙල්ල ස්ක්‍රීන් ටෙස්ට්' එකක් තියලා බලමුද?' මම යෝජනා කළේය. 'මොන කෙහෙල්මල් ස්ක්‍රීන් ටෙස්ට්ද? මූ හරියටම හරි' ඔහු කීවේය. නිශ්ශංක ලැජ්ජාවෙන් ඇඹරුණේය. 'උඹ එහේනං නිම්වළල්ලේ ප්‍රධාන චරිත දෙකම (නිශ්ශංක හා ස්වරණා) කොස්ගස් හන්දියෙන්ම හොයලා දුන්නා' නිම්වළල්ලේ පිරිස මට කාලයක් යනතුරුම වදේ දුන්හ. නිශ්ශංක රඟපෑමට කැමැති වුණත් බිරිඳගේ මනාපය ගන්නට මට වෙහෙසක් ගන්නට සිදු විය. 'රංජිත් හින්ද මං අවසරය දෙනවා' රත්නමාලි කැමැත්ත දෙමින් කීවාය. දැන් නළු නිළියන් සියල්ල තෝරා අවසන්ය. ඊළඟ ලොකුම කාර්යය වූයේ ජිනේ ජීවත් වූ මුඩුක්කුවේ ඔහුගේ නිවසේ ඇතුළත දර්ශන සඳහා ගෙයක් නිර්මාණය කිරීමය. 'අපි නවජීවන චිත්‍රාගාරයේ ඒ ගෙය හදමු' මම කළ යෝජනාව ස්ථිර විය. අභාවයට යන නටඹුන් සහිත කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේ මම මේ ගෙය නිර්මාණය කළෙමි. මුල්වරට චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයකු ලෙස දොරට වැඩි චිත්‍රපටයේ පසුතල නිර්මාණය කිරීමට මේ චිත්‍රාගාරය තෝරා ගැනීම මගේ ජිීවිතයේ අමරණීය අවස්ථාවක් නොවේද? එහි එවකට පාලනය කල හෙන්රි මාස්ටර්ගෙන් අපට ලොකු සහායක් ලැබිණ. ඇතැම් මධ්‍යම රාත්‍රියක මම චිත්‍රාගාරය පුරා නිෂ්පාදන කළමනාකරු නම්මුනි ද සොයිසා සමඟ ඇවිදිමින් සිංහල සිනමාවේ සිංහල ලකුණ සනිටුහන් කළ මියගිය සිරිසේන විමලවීර මාස්ටර් සිහි කරමින් ඇවිද්දෙමි. එදා ඒ චිත්‍රාගාරයේ කලා අධ්‍යක්ෂක සිටි දයා කරුණාරත්න අපමණ වෙහෙසක් දරා පසුතල නිර්මාණය කළ අයුරු මට මැවී පෙනේ. නවජීවනයේ අවසන් පසුතල නිර්මාණය කිරීම සතුටක් මෙන්ම කනගාටුවක් ද මගේ සිතට දැනිණ.
දිනක් ගුණරත්න මාමා හමුවීමට ඔහුගේ මිත්‍රයෙක් ආවේය. මාමා චිත්‍ර අඳින කාමරයේ පුටුවක වාඩි වී සිනමාව ගැන තොරතුරු කතා කරමින් සිට ඔහු මා එහි පැමිණි පසු කතාව නතර කොට මෙසේ ඇසීය. 'නිම්වළල්ලේ වැඩ හුඟක් ඉවරද?' 'තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා' ඔහු දිනපොත දිග හැර යමක් ලිවීමට පටන් ගත්තේය. 'මට රංජිත්ගේ පින්තූරයක් දෙන්න' 'මගේ . . .' 'ඔහු තමයි ලංකාවේ ළාබාලම පාසල් යන චිත්‍රපට කලා අධ්‍යක්ෂවරයා' කී ඔහු චිත්‍රපටයේ නළු නිළි පිරිස, කාර්මික පිරිස ගැන මගෙන් තොරතුරු අසා ලියා ගත්තේය. ඒ වන විට ගුණරත්න මාමා මගේ ඡායාරූපයක් දී තිබුණි. දක්ෂ ඡායාරූප ශිල්පියකු වූ ඔහු විවිධ අවස්ථාවල මගේ ඡායාරූප ගෙන තිබුණි. 'ඔයා දන්නවද රංජිත් කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයේ අවසාන කලා අධ්‍යක්ෂ ඔයා' මට සිනා ගියේය. මාව මුරුංගා අත්තට නග්ගන මොහු කවුද? ඔහු ගිය පසු තොරතුරු මාමාගෙන් ඇසුවෙමි. 'එයා කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඉංග්‍රිසි ගුරුවරයා. දැන් ලේක්හවුස් එකේ. 'සරසවිය' පත්තරේ වැඩ කරන්නේ' 'නම . . .' 'කුමාරදාස වාගීස්ට' 'සරසවිය' පුවත්පතේ හැම පිටුවක්ම කියවන මට කුමාරදාස වාගීස්ට ලියන 'තිිර තරු තොරතුරු' පිටු දෙක මඟ ඇරන්නේම නැත. ඊළඟ සතියේ 'සරසවිය' පත්‍රයේ 'තිිර තරු තොරතුරු' පිටුවේ මගේ ඡායාරූපයක් සමග ශීර්ෂ පාඨය වූයේ 'කවදා හරි සරසවිය සම්මානයක් ගන්නවා' ලංකාවේ ළාබාල කලා අධ්‍යක්ෂ කියයි. මම එවැනි ප්‍රකාශයක් නොකළෙමි. 'ඕක වාගියගේ අතේ රෝලක්' මාමා කීවේය. කෙසේ වෙතත් මට මේ ප්‍රවෘත්තියෙන් ආඩම්බරයක් ඇති නොවුණා නොවේ. 'ආ . . . ළාබාලම කලා අධ්‍යක්ෂ කියා ආනන්දේ මිතුරෝ මට වදේ දැම්මෝය. දහම් පාසගේ ගැහැනු ළමයි විශේෂයෙන් විස්තර අසා තම සමරු පොත්වල චිත්‍රයක් ඇඳ දෙන ලෙස ඉල්ලූහ. හැම සති අන්තයකම මට සමරු පොත් දහයක් පමණ ලැබේ. ඒ මදිවට නංගීගේ පන්තියේ යාළුවෝ ද මට සමරු පොත් එවූහ. මේ නිසා අලාභය සිදු වූයේ මාමාගේ පෝස්ටර් කලර් පෙට්ටියටය. 'වාගීස්ට' යන තේරුම කියන වචනය ඉටු කරන්නා. රංජිත් බලන්න ඔයාට සරසවි සම්මානයක් ලැබෙන්නේ නැද්ද කියලා. එදාට මම ජීවතුන් අතර නොඉන්න පුළුවන්' වාගීස්ට දිනක් ලේක්හවුසියේ සරසවියේදී කීවේය. දෛවයේ සරදම නම් ඔහුගේ 1968 දී කී අනාවැකිය සත්‍යයක් වෙමින් වසර 37 කට පසු 2006 වසරේ 'සිනමා සාහිත්‍ය උදෙසා පිරිනැමෙන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සරසවි සම්මානය' මට හිමි විය. ඒ වන විට වාගීස්ට ජීවිතයෙන් සමුගෙනය. එදා මා ඒ සම්මානය ලබා ගත්තේ ලේක්හවුස් වැඩ බලන සභාපති සරත් කෝන්ගහගේ අතිනි. ආනන්දයේ අපට පහළ පන්තියක ඉගෙනුම ලැබූ සරත් විවාද කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකි. ඔහුගේ කටහඬ ප්‍රවීණ නිවේදක එච්. එම්. ගුණසේකරගේ වගේය. ආනන්දයේ පැවති අමරදේව - නන්දා මාලිනී ඉදිරිපත් කළ 'ශ්‍රවණ රමණී' ප්‍රසංගය ඔහු මෙහෙය වු අයුරු මට දැනුදු සිහිපත් කළ හැකිය. ඒ හඬ එතරම්ම ප්‍රබලය. වචන තේරා ගැනීම විශිෂ්ටය. සරත්ගේ පුත්‍රරත්නය දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය රැගත් 'භවතරණ' ජාත්‍යන්තර සම්මානයක් දිනීම ද අපට සතුට ගෙන දෙන පුවතක් විය. 'නිම්වළල්ල' ආනන්දයේ රූගත කරනවා බැලීමට ආනන්දයේ පහළ පන්තිවල මල්ලිලා මෙන්ම සමකාලීන මිතුරෝ ද රොක් වූහ. සරත් කෝන්ගහගේ, මෛත්‍රී පනාගොඩ, ඉමිටියාස් බකීර් මාකර්, හර්ෂ නවරත්න, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ලකී ඩයස් මේ පිරිස අතර වූහ. නිම්වළල්ලේ ඡායාරූප රැගෙන මම පුවත්පත් ආයතන කිහිපයකටම ගියෙමි. ආදී ආනන්දීයන් වූ 'ඩේලි නිවුස්' පත්‍රයේ කලා පිටුව 'ART MAGAZINE' සංස්කාරක නිහාල් රත්නායක (විරංග) ද, ඉරිදා ඔබ්සර්වර් පත්‍රයේ විශේෂාංග කර්තෘ ඩී. සී. රණතුංග (රනත්) ලංකාදීප පත්‍රයේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ද අපට විශේෂයෙන් ප්‍රචාරය දුන්නේ මා ගෙනෙන පින්තූර පළ කර දෙමිනි. 'විසිතුර' පුවත්පතේ කර්තෘ ආතර් යූ. අමරසේන මුල් කවර කිහිපයක් නිර්ලෝභීව පළ කර දුන් අතර 'දවස' නිවසේ SUN පත්‍රයේ ඩී. බී. වර්ණසිරි අප හා මිත්‍ර වෙමින් තම ඉංග්‍රීසි පත්‍රයෙන් නොසෑහෙන්න උදව් කළේය. රංජිත් ලාල්ගේ හා මගේ පින්තූර ද සමඟ 'සිනමාවේ කෝඩුකාරයෝ' නමින් 'උදය' පත්‍රයේ පිටුවක් ලීවේ අර්නස්ට් වඩුගේය. ඒ සඳහා විශේෂාංග කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර අනුබල දුන්නේය. චිත්‍රපටයට ගීත එකක්වත් ඇතුළත් කරමු යැයි දිනක් අධ්‍යක්ෂ රංජිත් ලාල් අපට කීහ. 'අපි අලුත්ම ගීත රචකයන් දෙන්නෙක් හඳුන්වා දෙමු' මම යෝජනා කළෙමි. සී. ටී. ප්‍රනාන්දු සැණකෙළියක දී ගයන ගීතය රචනය සඳහා මගේ මතකයට ආවේ ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ අප සමඟ සිටින ළමා ගීත ලියන මහින්ද අල්ගමය. තේමා ගීතය ලිවීමට හොඳම කෙනා සුනිල් ආරියරත්න බව කල් තියාම තීන්දු කර තිබුණි. තේමා ගීත ගායනය සඳහා වික්ටර් රත්නායක මිස වෙන කවුරුන් තෝරා ගන්නද? සුනිල් රචනා කළ 'සකුරා මල් පිපිලා' ඒ වන විට ජනප්‍රියව තිබුණි. 'සුනිල් ඔයා නිම්වළල්ලේ තේමා ගීතය ලියන්නේ ඔයා?' දිනක් මම සුනිල් ආරියරත්නට කීවෙමි. 'එහෙමද? මගේ මුල්ම චිත්‍රපට ගීතය' රංජිත් ලාල් චිත්‍රපටයේ තේමාව, චරිත විකාශනය වන සැටි සුනිල්ට විස්තර කළේය. සුනිල් ගීතය ලිව්වේය. |