වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ඉන්න විදිහ හරි නම් කොහෙත් එකයි

ඉන්න විදිහ හරි නම් කොහෙත් එකයි

රචිනි විරංගා

රචිනි විරංගා රංගනයට පිවිසෙන්නේ 2003 වසරේදී. එතකොට ඇයට වයස අවුරුදු පහක් විතර ඇති.

කොහොමද ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ?

මගේ තාත්තාගේ සමීප මිත්‍රයෙක් තමයි රොජර් සෙනෙවිරත්න අංකල්. ඔහු මට තාත්තා හරහා කතා කළා නාට්‍යකට. එතකොට වී. සිවදාසන් කියන මහත්මයා ඔහුගේ නාට්‍යකට ළමා නිළියක් හොයමිනුයි ඉඳලා තියෙන්නේ. ඒ ආරංචිය ඔස්සේ රොජර් අංකල් මට කතා කළේ. ඒ නාට්‍යයේ නම මව් දෙව් දූ. වර්ෂය කිව්වොත් ඔබ සඳහන් කළ පරිදි දෙදස් තුනේ. අදින් වසර දොළහකට පෙර.

මව් දෙව් දූ දර්ශන තලයේ ගත කළ පළමු දවස මතකද?

හොඳට මතකයි.

ඔබ එතනට ගිහින් කාත් එක්කවත් පොඩ්ඩකටත් හිනා වුණේ නැහැ කියන්නේ ඇත්තද?

ඔව්නෙ. එතකොට මගේ දත් ටික පණුවෝ කාලා තිබුණේ. හරිම කැතයි මං හිනාවෙද්දී. ඒක හින්දා කට තද කරගෙනම හිටියා.

හා හාපුරා කියලා ඔබට සිද්ධ වුණේ කැමරාව ඉස්සරහ බය වෙන්න?

මේකයි, වෙන අය නම් පළමු දවසේ බය වෙන්නේ මේක නුහුරු අත්දැකීමක් හින්දා. නමුත් මට වුණේ දර්ශනයට අනුව බය වෙන්න. මම නාට්‍යයේ රොජර් අංකලගේ දුව. ඔහු පිහියක් අරගෙන එනවා. මට තියෙන්නේ බයෙන් බිරන්ත වෙලා කෑගහගෙන දුවන්න. සිවදාසන් අංකල් ඒ සීන් එක රිහසල් එකක් විදිහට ගමු කිව්වා. මං හොඳට කළ හින්දා ඒ සීන් එක ඔහු රූගත කළා.

පසුකාලීනව ඔබ එකතු වන නිර්මාණයන් මොනවාද?

සුජාතා, හංස ගීතය, ජීවිතය ලස්සනයි, රාත්‍රිය මනරම්, නිසල විල්තෙර, සසර බැඳි බැමි, සියපත අරණ තමයි මම රඟපෑව ටෙලිවලට තියෙන්නේ. චිත්‍රපට වශයෙන් කිව්වොත් සිනාසුනා ආදරෙන්, දරුවනේ, නිම්නයක හුදකලා වී සහ තේජා.

ඒ අතරින් ඔබව වඩාත් ජනප්‍රිය කළේ?

ජීවිතය ලස්සනයි ටෙලි නාට්‍යයේ පැංචිගේ චරිතයෙන් මාව හුඟක්ම ජනප්‍රිය වුණා. මට අදටත් සමහරු කතා කරන්නේ පැංචි කියලා. ඒක ගොලු චරිතයත්. ඒ හින්දාම වෙන්න ඇති එය තදින් මිනිසුන් වැළඳ ගත්තේ. ඒ වගේම දරුවනේ චිත්‍රපටයේ චාරුණිගේ චරිතයත් මතක් කරන්නම ඕනෑ. එය තිරගතවන කාලේ මට පාසලේ යාළුවන් විහිළු කරනවා චාරුණි අච්චාරුණී කිය කියා.

ඔබ තවමත් පාසල් ශිෂ්‍යාවක්?

ඔව්. කැස්බෑව ආටිගල විද්‍යාලයේ තමයි මං ඉගෙන ගන්නේ. ඊළඟ අවුරුද්දේ ඒලෙවල් ලියනවා.

මොන අංශයෙන්ද?

කලා අංශයෙන්.

රචිනි අනාගතයේ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ? නිළියක්ද?

මෙහෙමයි, කලාකාරිණියක් විදිහට ජීවිත කාලයම ගත කරනවා. ඒ අතරතුරදී නර්ථන ගුරුවරියක වන්නටයි හිතාගෙන ඉන්නේ.

ඔබට ජනප්‍රිය වන්නට අවශ්‍ය නැතිද?

ජනප්‍රියත්වය තකා මං කලාවේ නියැනේනේ නැහැ. මට ඕනෑ දක්ෂයකු වන්න.

ඔබ මෙතුවක් නිරූපණය කලේ ළමා චරිත?

ඔව්.

වැඩිහිටි චරිතයකට පණ පොවන්න ප්‍රියතාවයක් නැහැ වගෙයි?

මට එවන් වූ චරිත කිහිපයකටම ඇරැයුම් ලැබුණා. ඒත් මං ගියේ නැහැ. මට හිතෙනවා තව ටිකක් කල් ඉඳලම වැඩිහිටි චරිත කරන්න.

රචිනි වඩාත් කැමැති සිනමාවටද ටෙලි නාට්‍යවලටද?

දෙකටම ආසයි. ඔය මාධ්‍ය දෙකෙන්ම හොඳ චරිතයක් ලැබුණොත් කරනවා.

මේ ක්ෂේත්‍රයට ගැහැනු ළමයි සුදුසු නැහැ කියලා ඇතැම් අයගේ මතයක් තියෙනවා?

ඇත්තටම ඒක ඉතාම වැරැදි මතයක්. මොන ක්ෂේත්‍රයේ වුණත් වැරැදි කරන අය ඉන්නවා. තමන් ඉන්න විදිහ හරි නම් කොහේ හිටියත් එකයි.

ඔබට අභියෝගයක් වූ නිළියක් එහෙම ඉන්නවාද?

මට මාවම තමයි අභියෝගයකට තියෙන්නේ. තව තවත් රංගනය ප්‍රගුණ කරමින් කලින් රඟපෑවට වැඩිය හොඳට ඊළඟ චරිතය කරනවා කියන මතයේ මං ඉන්නේ.

රචිනිට ගායන හැකියාවකුත් තියෙනවා?

ඔව්. මේ වන විට මං ගීත දහයක් නිර්මාණය කරලයි ඉන්නේ. විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය තමයි ඒවාට සංගීතය සැපයුවේ. මං එම ගීත ටික ඉදිරි දිනයකදී එළි දක්වන්න හිතාගෙන ඉන්නවා. ඉස්කෝලෙ මං වඩාත් ප්‍රසිද්ධ ගායිකාවක් හැටියට.

පාසලෙන් ඔබට මොන වගේ සහායක් ද ලැබෙන්නේ කලා කටයුතු වෙනුවෙන්?

පුදුමාකර සහායක් ලැබෙනවා. ඉස්කෝලේ විදුහල්පතිනි නීලා මලගල මහත්මිය ඇතුළු සියලු දෙනා මට ගොඩක් උදවු කරනවා. පාසලේ නම්බුවත් රැකගෙන තමයි මං කලා කටයුතුවල යෙදෙන්නේ.

රචිනිට ක්ෂේත්‍රයේ යාළුවෝ කවුද ඉන්නේ?

එක් කෙනෙක්වත් නැහැ. හැමෝම සුහදව ආශ්‍රය කරනවා.

හොඳම කියලා යාළුවෙක් නැද්ද?

නැහැ. ඉන්න එකම හොඳම යාළුවාව තමයි මගේ අම්මා.

රඟපාන්න ගිහින් වෙච්ච අමතකකම නෙවන අත්දැකීම මොකක්ද?

නිම්නයක හුදකලා වී චිත්‍රපටයේ රඟපාන්න ගිහින් වෙච්ච දේ මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. ත්‍රීවිල් තුනක් මමයි සෞම්‍ය ලියනගේගෙයි පසුපස පන්නනවා. අපිට තිබුණේ දුවන්න. මං දුවන්න ගිහින් කකුල පැටලිලා වැටිලා දැඩි ලෙස තුවාල වුණා. එදා ෂූටිං පවා මං හින්දා කැන්සල් වුණා. ඒ සිදුවීම මතක් වෙද්දිත් ඇඟහිරි වැටෙනවා.

රචිනගේ පවුලේ විස්තරත් කියමු?

මගේ අම්මා තනුජා. තාත්තා ජගත්, නංගි ශෂිනි. මේ අය තමයි සෙවනැල්ල වගේ පසුපස ඉන්නේ.

කාටද තුති පුදන්න තියෙන්නේ?

රොජර් අංකල්ටයි, සිවදාසන් අංකල්ටයි.

රචිනි මොන වගේ කෙනෙක්ද?

හරිම සැහැල්ලු කෙනෙක්.