|
අවවාදයයි! අනාගතය ඔබේ අතේ
පසුගිය සති කිහිපය මුළුල්ලේ ප්‍රවෘත්ති වාර්තා කිහිපයකම රංගන ශිල්පීන් පිළිබඳ ලියවුණු ඒවා විය. එයින් එකක් අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වන 'ජනප්‍රිය නළුවකු' නැන්දනියට පිහියෙන් ඇන ගිය කතාවකි. තවත් එකක පළවූයේ ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙක් ලොව පැරණිම වෘත්තියේ නියැලීමට ගොස් බේරුවල ප්‍රදේශයේදී අත් අඩංගුවට පත් වූ ප්‍රවෘත්තියයි. මේ ප්‍රවෘත්ති පුවත්පත් විද්‍යුත් මාධ්‍ය මෙන්ම අන්තර් ජාල ඔස්සේ ද සැරිසරා ඇත්තේය. වසර මුලදීම මෙම ප්‍රවෘත්ති කේන්ද්‍ර කොට ගනිමින් 'එඩිටර්ස් කට්' ලිපි මාලාව ආරම්භ කරන්නට මා තීරණය කළේ කරුණු කාරණා කිහිපයක් හේතුවෙනි. එයින් වඩාත් වැදගත්ම කාරණාව අප 1916 වසර සමඟ ලාංකික කතානාද සිනමාවේ හත්වන දශකය නිමා කරන නිසාවෙන්ය. සිනමා රංගන ශිල්පීන් කලක් මෙරටදී පවා දේවත්වයෙන් ඇදහූයේය. ඉන්දියාවේදී නම් ඇතැම් සිනමා තරු වෙනුවෙන් දේවාල පවා ගොඩ නැඟුව ද ලංකාවේ එතරම් තදින් එය කිඳා බැස්සේ නැත. එහෙත් අපේ රසිකයන් මෙරට සිනමා තාරකාවන්ට මුළු හදවතින්ම ආදරය කළහ. මීගමුවට ගොසින් රුක්මණී දේවිය දැකගන්නට මෙන්ම රත්මලානේ සිරිමල් උයනට වී ගාමිණී ෆොන්සේකා එනතුරු වරු ගණන් රැකගෙන ඉන්නට එකල ප්‍රේක්ෂකයන් මැලි වූයේ නැත. විජය කුමාරණතුංග මෙන් කොණ්ඩය සකසන්නට ද අපි වලි කෑවෙමු. සිනමාවේ ස්වර්ණමය යුගය පුරා එබඳු තත්ත්වයන් බොහොමයකි. වතාවක් ගාමිණී ෆොන්සේකා රඟපෑ චිත්‍රපටයක කාන්තාවක් විසින් ඔහුට කම්මුල් පහරක් එල්ල කරන ජවනිකාවක් විය. එය එල්ල කරන ලද්දේ ද ජනප්‍රිය සිනමා තරුවකි. එහෙත් අනුරාධපුරයේ සිත්තම්පලම් සිනමාහලේ කළමනාකරු චිත්‍රපටය දින තුනක් ඇතුළත ගලවා දැමුවේය. 'අපේ හීරෝට ගහන්න දෙන්න බෑ ගෑනුන්ට' ඔහුගේ තීන්දුව විය. එය එක් යුගයක මෙරට සිනමා තරු පිළිබඳ ප්‍රේක්ෂකයාගේ පැවැති විශ්වාසයයි. ඒ යුගයේ පවා විවිධ අලකලංචිවලට ගොදුරුව සිය වෘත්තීය ජීවිතය අතරමඟ විනාශ කරගත් තරු නොසිටියා නෙවේ. එහෙත් එක් අතකින් අද මෙන් පඳුරකට පයින් ගැසූ පසු දෙතුන් සියයක් විසි වන ගණනකට සිනමා තරු සිටියේ නැත. සිටිය අතලොස්ස එහි වෘත්තීය ගරුත්වය බොහෝ දුරට රැක දුන්හ. පැරණි චිත්‍රපටයක මංගල දර්ශනයක් සඳහා සහභාගි වන සියලු සිනමා නළු නිළියන් අලංකාර ඇඳුමින්, පැළඳුමෙන් සැරසුණේ එහි අභිමානය රැකෙන අයුරිනි. මේ ගෞරවය අප රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල පවා සිනමා තාරකාවන් ගොඩ නඟා ගත්තේ එක් රැයකින් නොවේ. ලෝක සිනමාවේ වර්තමාන තාරකා සංකල්පය ඇතුළු සිනමා කර්මාන්තයේ විචිත්‍රකරණය ලොවට හඳුන්වා දී අකල් හි මරු වැළඳ ගත් සිනමාවේ පුදුම ඉලන්දාරියා ලෙස සැලකෙන අර්වින් තාල්බර්ග් 1920 ගණන්වලදී සිනමා කර්මාන්තයේ බලවතකු වග තුරුම කිසිම නළුවකුට හෝ නිළියකට ඔවුනගේ නමින් හැඳින්වීමේ අවසරයක් තිබුණේ නැත. ඔවුන් සමාගම්වල අණසකට යටත්ව හඳුන්වා දෙන ලද්දේ එම සමාගම්වල නමිනි. බයෝග්‍රාෆ් සමාගමේ චිත්‍රපටවල රඟපෑ මේරි ෆික්ෆෝඩ් හඳුන්වාදෙන ලද්දේ බයෝග්‍රාෆ් ලෙසය. ඒ උදාහරණයකි. එමෙන්ම බොහෝ නළු නිළියන් ජීවත් වූයේ ද දුෂ්කරතා මැදය. සිනමා රංගනයට පිවිසි බොහෝ කාන්තාවන් එයට එක් වූයේ වරප්‍රසාද ලත් පන්ති ඔස්සේ නොවේ. ඔවුන් වරප්‍රසාද ලබා ගත්තේ සිනමාවට පිවිසි පසුය. එහෙත් ඒ සඳහා කළ කැපවීම ඉමහත්ය. මුල්ම ඉන්දියානු චිත්‍රපටය නිර්මාණය කළ දාදා සහාබ් පාල්කේට රාජා හරිශ්චන්ද්‍ර නම් එම කුළුඳුල් චිත්‍රපටයේ රංගනයට නිළියක සොයා ගැනීමට බොම්බායේ ගණිකා මඩම් කරා ද යන්නට විය. එහෙත් ඒ සඳහා ඔවුන්ගෙන් හෝ එකියක කැමති කරවා ගැනීමට පාල්කේ අපොහොසත් වූ වග ඉන්දියානු සිනමා ඉතිහාසය කියවන්නෙකුට පමණක් නොව පාල්කේ ගේ ජීවිත අන්දරය වූ ද ඇසයිලන්ට් ෆිල්ම් ග්‍රන්ථයෙහි කියවන්නෙකුට ද සොයාගත හැකිය. මුල්ම ඉන්දීය සිනමා නිළිය වන කමලාබායි කමත් මෝහිනී බස්මසූර් චිත්‍රපටය සඳහා තෝරා ගන්නා විට ජීවිතයේ අනේකවිධ බැට කෑ කාන්තාවකි. එහෙත් දශකයක් ගත වන්නට මත්තෙන් ඉන්දීය සිනමාවේ සියලු හැඩතල වෙනස් වූයේය. මුල් යුගයේ ගණිකා මඩම් මාර්ගයෙන් හෝ ඇංග්ලෝ ඉන්දියානු යුවතියන් ලෙස ඉන්දියානු සිනමාවට අවතීර්ණ වූ සිනමා නිළියන් ඒ සඳහා විශාල කැපවීමක් කළහ. ඒ කැපවීමට ලැබුණු බලවත්ම වේතනය වූයේ රසිකයන්ගේ ආදරයයි. මුල්ම කේරළ චිත්‍රපටය වූ විගත කුමාරන් චිත්‍රපටයේ කුලීන යුවතියක ගේ චරිතය රඟපෑමේ වරදට එහි රඟපෑ රොසම්මා නම් නිළිය සිය ආත්මයෙන්ම වන්දි ගෙව්වාය. එහෙත් දශක ගණනාවකට පසු කේරළ යුවතියෝ සිනමා තාරකාවන් කරනු පිණිස බොහෝ මවුපියෝ වෙහෙස වෙති. ඉන්දියානු සිනමාවේ තුන්වන දශකයේදී සිනමාවට පිවිසෙන දුර්ගා කෝටේ සහ දේවිකා රාණි වැනි ඉහළ ප්‍රභූ පවුල්වල යුවතියන් එයට එක් වූයේ සමාජ මතිමතාන්තර සමඟ දැඩි අරගලයක යෙදෙමිනි. එය විශාල සමාජ පරිවර්තනයකට මඟ පෑදුවේය. අද ප්‍රධාන පෙළේ ඉන්දියානු නිළියක සමාජ තත්ත්වයෙන් මෙන්ම ධනයෙන් ද ඉහළ අගයක් ගනියි. ලංකාවේ පවා මේ තත්ත්වය වෙනස් වූයේ මඳ වශයෙනි. රුක්මණී දේවිය නම් අපේ මුල්ම නිළිය හා ගායිකාව පවා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ විවිධ සමාජ තහංචි බිඳගෙනය. සිනමාව හෝ කලා ක්ෂේත්‍රය යුවතියනට සුදුසු තැනක් නොවන වග සමාජ මතය විය. කෙතරම් කලාකරුවනට ආලය කළ ද තම එකෙකු එම ක්ෂේත්‍රයට ඇතුළු වනවාට බොහෝ වැඩිහිටියෝ අකමැති වූහ. මේ පිළිබඳ අපූරු කතාවක් වරක් නිළි රැජන මාලිනී ෆොන්සේකා කියා සිටියාය. මාලිනීට රංගනයට ඉඩදීමේ වරදට මුත්තනුවන් නැතහොත් මාලිනියගේ මවගේ පියා සිය දියණිය සමඟ මුළු ජීවිත කාලයටම කතා නොකර සිටි බවය. එහි පුදුමය නම් එම මුත්තනුවන් පැරැණි ටීටර් නාට්‍යකරුවකු වීමය. එය හරහා මා පෙන්වා දෙන්නේ වර්තමාන පරම්පරාව අද නළු නිළියන් ලෙස භුක්ති විඳිනුයේ මේ එයට පෙර පරම්පරාව ගෙන ගිය නිහඬ අරගලයට පිං සිද්ධ වන්නට බවය. අද රංගනය හැදෑරිය යුතු විෂයක් බව පෙන්වා දිය යුතු වන්නේ එහි ප්‍රතිඵලය හැටියටය. පසුගිය සරසවිය සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මාන ලද ධර්මප්‍රිය ඩයස් මෙන්ම නිළිය දුලානි අනුරාධා ද බිහි වනුයේ දෘශ්‍ය කලා විශ්ව විද්‍යාලය ඔස්සේ වීම එහි එක් ප්‍රතිඵලයකි. ගත වූ කාලය ඇතුළත ඇතැම් මාධ්‍ය හරහා අනාවරණය වන මෙම ලිපියේ මුලින් සඳහන් නළු නිළියන් නිසා මුළු ක්ෂේත්‍රයටම අයත් වනුයේ එක් කණගාටුදායක අපකීර්තියකි. මේ ප්‍රවෘත්තීන් පිළිබඳ අප සොයා බලද්දී අනාවරණය වනුයේ එයටත් වඩා කණගාටුදායක අවස්ථාවකි. මේ බහුතරය ටෙලි නාට්‍යයයන්ගේ පෙනී සිටින්නන් විනා වෘත්තීය නළු නිළියන් නොවන බවය. ප්‍රවෘත්ති ආකර්ෂණය යටතේ ඝාතනයට ලක් වුණ ඕනෑම අවලස්සන ගැහැනියක රූප සුන්දරියක වන්නේ යම් සේද මෙකී පෙනී සිටින නළු නිළියන් ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ජනප්‍රිය නළු නිළියන් බවට පත්ව ඇත. අතීතයේ ජනප්‍රිය සිනමා තාරකාවන්ගේ පෙම් පළහිලව් රසිකයන් වැළඳ ගත්තේ ආදරයෙනි. එය වර්තමානයේ සමාජ වෙබ් අඩවි හරහා සීමාවන් ඉක්මවා ජුගුප්සාජනක ඕපාදූප බවට පත්ව ඇත්තේය. කෙසේ වෙතත් මෑත භාගයේ බොහෝ ජනප්‍රිය තරු ලෙස හඳුන්වා දෙන ප්‍රවෘත්තිය මත නිසා සමස්ත රංගන වෘත්තියට යෙදෙනුයේ නිගාවකි. නම නොදන්නා පෙනී සිටින්නන් නළු නිළියන් ලෙස හැඳින්වීමේදී අදාළ ප්‍රදේශයේ ජීවත් වන වෘත්තීය කුසලතා පිරි නළු නිළියන්ගේ නම් සමඟ ආරෝපණය වෙමින් ප්‍රවෘත්තිය ගලා යන්නේ තවත් අත්තටු ලබා දෙමිනි. මෑත භාගයේ බොහෝ ටෙලි නාට්‍ය සඳහා පෙනී සිටීමට යොදා ගන්නා අතිරේක පෙනී සිටින්නන් ද නළු නිළියන් ලෙස හුවා දැක්වීම මෙහි බරපතල ඛේදවාචකයට හේතුවයි. මේ පිළිබඳ වෘත්තීය නළු නිළියන් කිසියම් ආකාරයක හඬක් නැඟීම අත්‍යාවශ්‍ය කරුණක් ලෙස පෙනෙන කරුණකි. කලකට ඉහත වෙබ් අඩවි කිහිපයක අපේ නිළියන් කිහිප දෙනෙකුගේ ඡායාරූප පළ වූ විට ඒ පිළිබඳ නැඟුණ හඬ ප්‍රබල විය. මෙරට වෘත්තීය නළු නිළියන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම වර්තමාන පරම්පරාවේ වගකීමකි. එය ඔවුනට ලබා දුන්නේ පැරැන්නන් කළ කැපවීම මතය. එමෙන්ම අනාගතය උදෙසා මෙකී රංගන වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීම ද වර්තමානිකයන්ගේ බලාපොරොත්තු විය යුතුය. එබැවින් එහි වගකීම මෙරට නළු නිළියන් ඉටු කරන්නේ යැයි අපි බලාපොරොත්තු වෙමු. |