|
ආත්ම දෙකක් දෝලනය වන කතාවක් දැන් හැදෙන ‘රිදී හුය’රිදී හුයේ නළු නිළි කණ්ඩායම චාන්දනී සෙනෙවිරත්න, දුලානි අනුරාධා, ජගත් බෙනරගම, අයෝධ්‍යා දක්ෂිකා, සරත් කරුණාරත්න, උද්දික ප්‍රේමරත්න, විනෝජා නිලන්ති, මුතු තරංගා, දිල්හානි වීරසිංහ, දිලිප් මනෝහර. නිෂ්පාදනය - මයිකල් පෙරේරා කැමරා අධ්‍යක්ෂණය - උපුල් ප්‍රියාත් නිෂ්පාදන කළමනාකරු - හැරල්ඩ් කරුණාරත්න සහාය අධ්‍යක්ෂණය - ලහිරු මධුෂාන් කලා අධ්යක්ෂ - සම්පත් වන්නිආරච්චි අංග රචනය - තාරක අධිකාරි ඇඳුම් නිර්මාණය - ප්‍රියාන් අනුර ශ්‍රී පිටපත - ලාල් වසන්ත කරුණාරත්න කතා සංකල්පය සහ ගීත රචනය - සමන් රත්නායක සංස්කරණය - කසුන් මාධව වන්නිආරච්චි සංගීතය - නවරත්න ගමගේ මාධ්‍ය සම්බන්ධීකරණය - මාලක නන්දන
පාපැදිය මත නැඟ සිට තරුණිය වඩාත් විමසිල්ලෙන් මා දෙසා බැලුවාය. වහා ඉන් බැස ගත් අය ඉදිරියට ඇදුණේ එය තල්ලු කරගෙනය. හාත්පසින් නැඟුණු හූ හඬ වාතලට නැඟුණේ ඇය මෙන්ම මා ද තිගස්සවමින්ය. එකනෙහිම කොල්ලො හතර පස් දෙනෙක් එකී තරුණියව වට කර ගත්තාහ.
මුතූට බෑ මුතූට බෑ ඒ ගීයට මට හිනා නොවී ඉන්නට බැරිය. මම මුතූ සමීපයට ගියෙමි. ඇත්තද මේ කියන්නේ. මං එනවා දැකලා ඒකද බයිසිකලයෙන් බැස්සෙ. ඇගෙන් මම විමසීමි. පිස්සු මෙයාලට . . . මට හොඳට බයිසිකල් පදින්න පුළුවන්. මෙන්න මෙයත් එක්කනෙ බැරි. ඇය මහත දෙහත නළු දිලිප් මනෝහරව පෙන්වීය. මෙයාව පිටිපස්සේ ලැගේජ් එකේ තියාගෙන තමයි මට බයිසිකලය පදින්න තියෙන්නේ. එසේ මෙසේ බරක්යැ කිලෝ සීයක් විතර තියෙනවනේ. මුතූ එක හුස්මට කියවාගෙන යයි. ඇගේ කතාව ඇත්තය. නමුත් අනූෂ සංජීව ජයවර්ධනගේ වුවමනාවට මුතූට එසේ යන්නට වී ඇත. ඒ මොකටද එහෙම වෙන්නේ යැයි නිසැකවම ඔබ මගෙන් විමසනු නොඅනුමානය. එයට පිළිතුර නම් අනූෂගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වන රිදී හුයේ මුතු ද අමුතු චරිතයක් කිරීමය. මුතු රඟන්නේ චාන්දනී සෙනෙවිරත්නගේ තරුණ කාලයටය. චාන්දනී මෙහි මහාචාර්යවරියකි. රිදී හුය ආත්ම දෙකක් අතර දෝලනය වන කතා පුවතක්ය. එහි මේ ආත්මයේ වෙසෙන චරිතයක් වූ මහාචාර්යවරිය පුනරුත්පත්තීන් පිළිබඳ හොයන තැනැත්තියක්ය. මා මේ සිටින රිදී හුය දර්ශන තලය පිහිටා ඇත්තේ කැස්බෑව බණඩාරගම පාරේ මැදගම හන්දියෙන් හැරුණු පසු ඇති බොල්ගොඩ ගඟ ආසන්නයේය. එතැන ඇත්තේ ගැමි සුන්දරත්වයකි. එහා අන්තයේ අනූෂ ඇතුළු පිරිස සිටිනු පෙනෙයි. හදිසියේම කෙනෙකු බුදු අම්මෝ මේක පෙරළෙයි යනුවෙන් කෑගසනු ඇසිණ. මම වහා ඒ හඬ ආ දෙසට දුව ගියෙමි. නව පරපුරේ නළු ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ට්‍රැක්ටරයක නැඟ හති යවමින් සිටියි. මොකද වුණේ? ට්රැක්ටරය එරුණනෙ. දන්න වැඩ ඔක්කොම දාලා ගොඩට ගත්තේ. ඉසුරු තවමත් ට්‍රැක්ටරයේ රියදුරු අසුනේ වාඩි වුණු ගමන්ය. ඔහු හදසියෙන්ම හිනාවෙන්නට පටන් ගත්තේ හති හැරීම පැත්තක තබමින්. ඒ හිනාවට කාරණ්ය කුමක්දැයි සෙවීමට වෙහෙසෙ විය. ට්රැක්ටරය පිටුපසින් සිටි සරත් කරුණාරත්නගේ ඇඟපුරා මඩ තලි තලිය. ඒවා ට්‍රැක්ටරයෙන් විසි වූ ඒවා බව නිතැතින්ම කිව හැකිය. ඔහු දුටු අප ද ඉසුරුගේ සිනහවට එකතු වුණේ ඉබේමය. ඇඟත් කසනවා. ඉක්මනට නාගන්න ඕනෑ. සරත් එතැනින් දුව ගියේ අපේ සිනහව තවත් වැඩි කරමිනි. අයෝධ්‍යා දක්ෂිකා පැමිණ සිටියි. ඇය ආ විගසම සහාය අධ්යක්ෂවරයා බංකුවක් ගෙනාවේ අපගේ කුතුªහලය වැඩි කරමිනි. මෙයා තමයි අපේ නළු නිළි ගැන්සියේ ඉන්න බට්ටි. ඒ කියන්නේ මිටිම කෙනා. ඉතින් උස නළු නිළියෝ එක්ක මෙයා රඟපාන කොට අපි බංකුවක් උඩ නග්ගනවා. එතකොට උස හරි. සහාය අධ්යක්ෂවරයා එසේ පවසද්දී අයෝධ්‍යා පැමිණ ඔහුට පහරවල් දෙකක් ගැසුවේ විහිළුවට මෙනි. කෙසේ නමුත් ඔහු පැවසූ කතාව ඇත්තය. අයෝධ්‍යා බංකුවක් මත නැඟී රඟපානු මම ද දුටුවෙමි. ඔන්න ඊළඟට අපි ගේන නළුවව බලන්නකෝ. ඕන විදිහට රඟපානවා. හැබැයි ඇඟපුරාම රෝම පිරිලා. අනූෂ කියූ නළුවා කවුදැයි විමසා බැලීමට මම උනන්දු වුණෙමි. කිව්වත් වගේ ඒ නළුවාගේ ඇඟපුරාම රෝමය. ඒ නළුවා පූසෙකි. අනූෂ රිදී හුය වෙනුවෙන්ම මේ පුස් නළුවාව හදා වඩා තිබේ. මේ නළුවා නිසා දිනකට වෙනමම මාළු කිලෝ දෙකක් ගෙන එන බව අපට දැනගන්නට ලැබිණ. අනූෂ මේ පූස් නළුවාව රඟපාන්නට දැම්මේ කලා අධ්යක්ෂවරයා ද සහාය ඇතිව වේ. එම නළුවාට විටින් විට මාළු ලබාදීමෙන් අනූෂට හොඳ රංගනයක් එම නළුවාගෙන් ලබා ගත හැකි විය. මේ අතරවාරයේ සහාය අධ්යක්ෂ ලහිරු වහා දුව ආවේ ඉහින් කනිං දාඩිය මුගුරු ලාගෙනය. මේ මොකෝ? සියල්ල විමසිලිමත් විය. මාර වැඩේනේ වුණේ. මං එහා පැත්තේ මේසය ළඟ සීන් වගයක් ෂෙඩුල් කර කර හිටියා. එක පාරටම ඔළුවට මොකක් දෝ උඩින් වැටුණා. මං එක පාරටම ගැසුවා. තඩි ලේ මාපිලෙක්. සාමාන්‍යයෙන් සර්පයින් බිමින් මිසක් ඉගිල්ලී එන වග අප නම් අසා නොමැත. ඒත් මේ සර්පයා උඩින් ලහිරුගේ හිසට පාත් වී ඇත. සියල්ල එය සිදු වූයේ කෙසේද යන්න සොයා බලන කළ එක් අයකු නිහඬය. ඒ නාට්‍යයේ ඡායාරූප ශිල්පී මුදිතය. ඔහු අවසන සර්පයා උඩින් ආ විදිහ කියාපෑවේය. මං දැක්කා ලේ මාපිලෙක් පාපිස්ස උඩ ඉන්නවා. මං ඒක අරං හයියෙන් ගැසුවා. මාපිලා කොහේට වැටුණ ද මන්දා කියලා මටවත් හොයා ගන්න බැරි වුණානේ . . . ඔහු කීවේ තවමත් සර්පයාව හොයන ගමන්ය. මෙසේ රසවත් සිදුවීම් රැසක් මැද ගෙවුණු රිදී හුය දර්ශන තලයෙන් මා නික්ම යද්දී ඇඳිරි වැටී තිබිණ. මම නම් ආයේ ෂූට් එකේදී තොප්පියක් දානවා. අධ්යක්ෂ අනූෂ අවසන මාත් සමඟ කිව්වේ හිස අතගාන ගමන්ය. රිදී හුයේ මෙගා නොවන නාට්‍යක් වග ද මෙහිදී සඳහන් කළ යුතුය.
|