|
අංග රචකයාට ගීත රචනයක් බාර දීලා
මෙන්ක මේක අපේ අංග රචනා ශිල්පියකුට දන්න සිංහලෙන් කියනවා නම් මේකප් ආර්ටිස්ට් කෙනෙකුට වෙච්ච වැඩක්. මිනිහගේ උපන් දිනය අපේ සරසවිය පුවත්පතේ පළ වෙලා තිබුණා. එයාගේ නමට කලින් අංග රචනා ශිල්පී කියලත් සඳහන් වුණා. පත්තරේ දුරකථන අංකය ද පළ වූ නිසා මිනිහට ඇමතුම් එනවා එනවා ඉවරයක් නැහැ. ඔය කතා කරන අය අතරේ හිටියා ගායකයකු වන්නට පෙරුම් පුරන කෙනෙක්. එයා බොහොම වැදගත් විදිහටයි මේ අංග රචකයාට කතා කළේ. ඉතින් ඒ සුහදශීලිත්වයට අංග රචනා ශිල්පියාත් මේ වෙන්න ගායකයාගෙන් එන ඇමතුම්වලට තැනක් නොතැනක් නොබලා සම්බන්ධ වුණා. ඔන්න දිනක් අර වෙන්න ගායකයා අංග රචනා ශිල්පියාව හමුවන්න ඕනෑ කිව්වා. හේතුව ඇහැව්වාම කිව්වේ කලාවේ වැඩකට කියලා. අංග රචනා ශිල්පියා හිතුවා ෂුවර් එකට මේ මනුස්සයා එයාගේ මියුසික් වීඩියෝ එකක් ගැන කතා කර ගන්න වෙන්න ඇති කියලා. කියපු දිනයට දෙන්නා හමු වුණා. මෙන්න මෙහෙමයි දෙන්නගෙ කතාව ඉදිරියට ගියේ. ගායකයා - මං මේ මහත්තයව හමුවෙන්න ආවේ ගීතයක් රචනා කරගන්න. අංග රචනා ශිල්පියා - මොකක් . . . ගායකයා - ඔව්. මහත්තයෝ මට ලස්සන සින්දුවක් ලියලා ඕනෑ. අංග රචනා ශිල්පියා - මම සින්දු ලියන්නේ නැහැනෙ. ගායකයා - සින්දු ලියන්නේ නැහැ. බොරු කියන්න එපා. පත්තරේ දාලා තිබුණෙ ඔයාගේ නම කෙළින්. අංග රචනා ශිල්පියා - මොනවද පත්තරේ තිබුණේ. ගායකයා - අංග රචනා ශිල්පී කියලා. අංග රචනය කරනවා නම් ගීත රචනා කරන්න බැරිකමකුත් නැහැනෙ. අනේ මහත්තයෝ අගේ කරන්නේ නැතුව සින්දුවක් ලියලා දෙනවද. එදා ඉඳන් මේ අංග රචනා ශිල්පියා සිංහලෙන් තම රැකියාවේ තනතුර භාවිත කළේ නැහැලු.
|