වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




වැදි රජුගේ නයිට් ඩියුටිය

වැදි රජුගේ නයිට් ඩියුටිය

විජේරත්න වරකාගොඩ කියන්නෙ කවුද කියලා හඳුන්වා දෙන්න උත්සාහ ගන්න එක හරියට හම්බන්තොට පැත්තේ ජීවත්වෙන අයට ලුණු ගැන කියලා දෙන්න හදනවා වගේ, නැහැ. පණ්ඩිත් අමරදේවයන්ට ශාස්ත්‍රීය සංගීතය ගැන කියලා දෙන්න හදනවා වගේ තේරුමක් නැති වැඩක්. වරකාගොඩගේ සමාන වයසේ කලාකරුවන්ට ඔහු වරක්ස්. සමහරු විහිලුවට වගේ වරක් දෙවරක් කියලත් කියනවා. අනෙක් සගයෝ ඕනෑම කෙනෙකුට වරක්ස් අයියා. ඔහු එක වෙලාවක අපේ ගුවන් විදුලියේ Legand  එකක්. මුවන්පැලැස්සේ ආරච්චිල නොදන්න කෙනෙක් ඉන්න පුලුවන්ද අපේ රටේ? වරක්ස් වේදිකාවේ නොම්මර එකේ නළුවෙක්. මම මුලින්ම වරක්ස්ව දකින්නේ කැම්පස් එකේ හුනුවටය පෙන්නපු රාත්‍රියේ. පොතේ ගුරු හැටියට නාට්‍යයයේ ආරම්භක ගීත ගායනා කරන කොට ඊට එකතු වුණු ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීත නිර්මාණයත් සමඟ, තාරුණ්‍යයේ වැජඹුණු වරක්ස්ගේ රූපේ දැනුත් මැවිලා පේනව වගේ. මම වරක්ස්ව වැඩිපුරම දැකලා තියෙන්නේ හෙන්රි ජයසේනගේ නළු කැල නිෂ්පාදනවල. කුවේණි, අපට පුතේ, මනරංජන වැඩ වර්ජන, ජනේලය, දිරිය මව සහ ඇගේ දරුවෝ ඉන් කීපයක්.

 පසු කාලෙකදී වරක්ස් මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍යවලට සම්බන්ධවීමත් සමඟ අප අතරෙත් ළඟ ඇසුරක් ඇරඹෙනවා. මනමේ, සිංහබාහු, මහාසාර, පෙමතො ජායතී සොකෝ වගේ නාට්‍යවල ප්‍රධාන භූමිකා වරක්ස් රඟපානවා. මනමෙ නාට්‍යයේ රාජගුරු, වැදි රජු, සිංහබාහු යුව රජු, මහාසාර නාට්‍යයේ රජු වගේ භූමිකා. වේදිකාව වගේම චිත්‍රපට හා ටෙලි නාට්‍ය රංගනයටත් එක් වී සිටින වරක්ස් තමන් හොඳ නළුවෙක් කියලා ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගන්වලා තියෙනවා. හැබැයි ආනන්ද ජයරත්න අධ්‍යක්ෂණය කළ ආදරයයි කරුණාවයි චිත්‍රපටයේ හැරෙන්න. වේදිකාවේ වගේම චිත්‍රපට රංගනයටත් වරකාගොඩ ජනාධිපති සම්මාන වගේ ඉහළම සම්මානත් හිමි කරගෙන තියෙනවා. අජාසත්ත නාට්‍යයට, අරුණට පෙර චිත්‍රපටයට. නළුකමට අමතරව, වරක්ස් අයියා ඉතාම සුන්දර මිනිහෙක්.

විජේරත්න වරකාගොඩ මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ නාටකයට එකතු වෙන්නේ, ධම්ම ජාගොඩ එහි නිෂ්පාදනය බාරව හිටපු හැත්තෑවේ මැද භාගයේදී. ඒ දවස්වල වරක්ස් රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ පරිපාලන කළමනාකාර. ඊට පෙර ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙක්ව ඉඳලා ලංකා වානේ සංස්ථාවේ ආරක්ෂක කළමනාකාර තනතුරෙත් රාජකාරි කරලා තියෙනවා කලා ක්ෂේත්‍රයේ රඟපෑම්, ගුවන් විදුලි නළුකමට අමතරව. වරක්ස්ට ප්‍රථම වතාවට මහාචර්ය සරච්චන්ද්‍ර මුණ ගැහෙන්නෙත් පොලිස් පරීක්ෂකවරයෙක් විදියට ගාලුමුවදොර රථවාහන පාලන රාජ කාරියකදී. ධම්ම නිෂ්පාදනයට සම්බන්ධ වුණු මනමේ නිෂ්පාදනයේ මනමේ කුමාරයා විජය නන්දසිරි. කුමාරි, සන්ධ්‍යා සිරිමාන්න, පසු කලෙක කුමාරි පෙරේරා. වැදි රජුගේ භූමිකාව රඟපෑවේ ධම්ම ජාගොඩ. ඇතැම් දර්ශන සඳහා විජයරත්න වරකාගොඩත් වැදි රජු ගේ චරිතය රඟපානවා.

 වගේ දවස්වලදී රාජගුරු - මනමේ කුමරියගේ පිය රජුගේ චරිතයත් රඟපෑවේ වරකාගොඩමයි. ඔහු අපූරු කටහඬක්, ගායන ශෛලියක් ඇති නළුවෙක්. ‘ඉර පායනවා මල් පිබිදෙනවා’ වගේම ‘රඟහල දැන් ඇත අඩ අඳුරේ’ වගේ ජනප්‍රිය ගුවන් විදුලි ගීතවලින් අපට මතක් කර දෙන්නේ වරකාගොඩ කියන නළුවාගේ ගායන හැකියාව. පසු වේදිකාවේ කතාව සිද්ධ වෙන දවස්වල වරක්ස් පදිංචි වෙලා හිටියේ බොරුල්ල, ඇල්විටිගල මහල් නිවාසයක. රැකියාව කළේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ පරිපාලන කළමනාකරු විදියට. ඔහු යටතේ තමයි සංස්ථාවේ සියලුම පරිපාලන කටයුතු සිදු වුණේ. සේවක මණ්ඩලයේ සුබසාධන කටයුතු, සංස්ථාවේ ගොඩනැගිලි නඩත්තුව, කාර්යාලයේ එදිනෙදා අත්‍යවශ්‍ය සේවාවන්, තැපෑල, දුරකථන, විදුලිය, ජල සැපයුම, ආරක්ෂක සේවා වගේ පරිපාලනමය සියලුම කටයුතුවල ප්‍රධානියා තමයි වරක්ස්. හැත්තෑ ගණන්වල මැද භාගය වන කොට අද වගේ පෞද්ගලික ආරක්ෂක සේවාවන් තිබුණේ නෑ රාජ්‍ය ආයතන ආරක්ෂාවට. සංස්ථාවම පත් කළ ආරක්ෂක නිලධාරීන්, මුරකරුවන් තමයි ආරක්ෂාව භාරව හිටියේ. චිත්‍රපට සංස්ථාවේ මේ පිරිස් වාර්තා කරන්න ඕනෑ පරිපාලන කළමනාකාර වරකගොඩට.

එදා කොළඹ මනමේ දර්ශන තිබුණේ ජෝන් ද සිල්වා සමරු රඟහලේ. රාජගුරුගෙත්, වැදි රජුගෙත් චරිත රඟපෑම පැවරිලා තිබුණේ විජයරත්න වරකාගොඩට. හවස දර්ශනේ රාජගුරු චරිතය අවසන් වුණු ගමන් වරකගොඩට වැදි රජු හැටියට මේක්අප් කිරීම පටන් ගන්නවා. ශිෂ්‍යයො ටික වැදි සෙනඟ විදියට වෙස් ගැන්වෙනවා. මට මතක විදියට වරක්ස්ගේ වැදි රජු මේක්අප් එක භාරව හිටියේ මනමේ සිංහබාහු මුල් නිෂ්පාදනවල ප්‍රධාන අංග රචකයා වූ විමලධර්ම දියසේන. මනමේ ඒ තරම් දිග නාට්‍යයක් නොවන නිසා රෑ නවය, නවය හමාර වෙන කොට දර්ශන අවසන්. මේ අතරවාරයේ වරක්ස්ට මතක් වුණා සංස්ථාවේ ආරක්ෂක සේවයේ ඉන්න සමහර නිලධාරීන්ට විරුද්ධව ලැබිල තිබුණු පැමිණිලි කීපයක් ගැන. රාත්‍රී ඩියුටියේදී සමහරක් මත්පැන් පාවිච්චි කරනවා, තවත් අය කාඩ් සෙල්ලම් කරනවා, තවත් කෙනෙක් පොත අස්සන් කරලා නිදා ගන්නවා වගේ පැමිණිලි. වරක්ස්ට ඒ දවස්වල ලොකු මෝටර් බයිසිකලයක් තිබුණා. මනමේ වැදි රජු රඟපාලා නාට්‍යය අවසන් වූ ගමන් වරක්ස් ඇඳුම් මාරු කර ගත්තා. බයිසිකලයේ නැග්ගා. කෙළින්ම බෞද්ධාලෝක මාවතේ චිත්‍රපට සංස්ථා ප්‍රධාන කාර්යාල දොරටුව ළඟ.

ආරක්ෂක නිලධාරියෝ දෙන්නෙක් බයිසිකලේ ළඟට ආවා. එක පාරටම බය වෙලා සගයෙකුට කෑගැහුවා ඒයි මචං පියසිරි ඩිංගක් මෙහාට වරෙන් කියලා. වරක්ස්ට මේ කලබලය ගැන එක පාරටම වැටහීමක් නෑ. ඔහු මෝටර් බයිසිකලය නතර කරලා බිමට බැස්සා. ‘පියසිරි අද කවුද ඩියුටි ඉන්න ගාඩ්ස්ලා හතර දෙනා’ වරක්ස් අහනවා. ආරක්ෂක නිලධාරියත් භටයොත් අන්දුන් කුන්දුන් වෙලා, එක පැත්තකින් බයකුත්. මොහොතකදී ඔවුන්ට කාරණව වැටහුණා. ‘සර් අද ෂෝ එක කොහේද තිබුණේ සර්’. ‘ෂෝ එක, මොන ෂෝ එකක්ද ගන්නව ඔය ඕවර්ටයිම් රෙජිස්ටරේ මෙහාට’ වරකාගොඩ පරිපාලන කළමනාකරුගේ අණ. ‘සර් අද මනමෙද තිබුණෙ සර්’ ආරක්ෂක නියාමක පියසිරි අහනවා. ‘ඔව්, තමුසේ කොහොමද ඒක දන්නේ’. වරක්ස් සැරෙන් ප්‍රශ්න කරනවා. ‘සර්, සර්ගේ මූණෙ තාම වැදි රජ්ජුරුවන්ගේ මේක්අප් එක’ වරක්ස්ට තරු පෙනුණේ ඊට පස්සේ. සැබෑ නේන්නම්, කඩිමුඩියේ මුන්ගේ හොරකම් අල්ලන්න ඇවිත් තියෙන්නේ මේකප් රිමූව් කර ගන්නේවත් නැතුවනේ. වරක්ස් ඊළඟ මනමේ දර්ශනේදී මේ කතාව කියලා අපිව හිනා සාගරයක ගිල්වනවා.