වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




වීරප්පුලි හේනයා යනු ගුරු ගීතයේ දුයිෂෙන් සහ තුංමං හන්දියේ අබිලිංගේ එකතුවක්
තමන්ගේම කෘතියක් පිළිබඳ සාහිත්‍යවේදියකු දක්වන අදහස් ඇතුළත් ලිපි මාලාව

වීරප්පුලි හේනයා යනු ගුරු ගීතයේ දුයිෂෙන් සහ තුංමං හන්දියේ අබිලිංගේ එකතුවක්

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

“ළා දම් පැහැයෙන් යුක්ත වූ අලුත් දලු දෙකක් ඒ වන විට බෝ පැළයේ නැඟී තිබූ අතර, ඉන් පසු හරියටම දින තුනක් ගත වූ තැන හවස් වරුවේ හිරු බැසගෙන යන සමයේදී ගසේ පහළම තිබූ කහ පැහැති කොළය නැට්ටෙන් ගැලවී සිදු වැලි ඇතිරූ කුඩා බෝ මළුව මත පතිත වන්නට විය. එය වැටෙන තෙක් වැලි මළුව යාබද ගලක් මත වාඩි වී බලා උන් වීරප්පුලි හේනයා එය දෝතින්ම ගෙන ඒ දෙස ටික වේලාවක් බලාගෙන සිටියේත. ඔහුට මහත් වූ ආඩම්බරයක් – අභිමානයක් දැනෙන්නට විය. තමා දුරු කතර ගෙවාගෙන රැගෙන ආ ඒ අනර්ඝ වස්තුවේ දැන් ජීව ගුණයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. දිනෙන් දින නව දලු දමයි. පැසෙන කොළ ගහෙන් ඉවත් වී පොළවට වැඩම කරයි. කවරදා හෝ අනාගතයේ දිනෙක මේ බෝධිය මහා යෝධයෙකු සේ සුවිසල්ව වැඩ සිට, ගම සතර අත දේවතා එළි විහිදුවනු ඇතැයි ඔහුට සිතිණි”

වීරප්පුලි හේනයා ජීවත් වන්නේ යොවුන් ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල විසින් රචිත සමාජ, දේශපාලනික, සංස්කෘතිය සමඟින් සමාජ යථාර්ථය මුසු වූ සංවේදී කතා පුවතක් රැගෙන එන සෙංකොට්ටං කෘතියේය. සම්මානනීය නවකතාවක බවට පත් වූ මෙම කෘතිය ඔහු විසින් රචිත ප්‍රථම නවකතාවයි. ටෙලිනාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක් ලෙසින් කලා ක්ෂේත්‍රයට පිවිසි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කාව්‍ය රචනයේද දක්ෂයෙකි. ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘හිරුත් හිම පියල්ලක’ 2011 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙසින් සම්මානයෙන් පිදුම් ලැබුවේය. අද මං සලකුණු ඔස්සේ ඔහු කතා කරන්නේ සෙංකොට්ටං කෘතිය පිළිබඳවයි.

සෙංකොට්ටං කෘතියට මූලික වන්නේ සමාජයේ කතාබහට ලක් වූ කුල ක්‍රමයද?

මම මේ තුළින් කියන්න උත්සාහ කළේ එක්තරා කාලයත අපේ රටේ පැවැති කුල භේදය සම්බන්ධයෙන් වන කතාවක්. ඈත අතීතයට ගියොත් මම විශ්වාස කරන්නේ එය බුදු දහම සමඟින් ලංකාවට පැමිණි දෙයක්. ඊට පෙරත් ලංකාවේ විවිධ ජන කොට්ඨාස ඉන්න ඇති. නමුත් පූර්ණ වශයෙන් ඉතිහාසය ගවේෂණයක් කළත් නිශ්චිතව කියන්න අමාරුයි. මම පුංචි කාලයේ පටන් දැක්කේ මේ කුලය සමාජයකට අවශ්‍යද කියන එකයි. ඉන්දියාව වගේ රටක් ගත්තොත් මේ කුලභේදය ඉතාම දරුණ විදියට දකින්න පුළුවන්. අතීතයේ රජවරුන්ගේ මාලිගාවල විවිධ සේවාවන් අනුව මිනිසුන් විවිධ කුලවලට බෙදුවා. එවිට උස් පහත් කුල බෙදුනේ ඔවුන්ගේ වෘත්තිය අනුවයි. පසු කාලීනව ආක්‍රමණවලින් පසුව නිදහස ලබනවිටදීත් මේ කුලය කියන සාධකය නොනැසී පැවතුනා. මම මේ කෘතිය වෙනුවෙන් කුලය කියන සාධකය තිහේ දශකයේදී කෙලෙසද බලපෑවේ කියන කාරණය යි. මට කියන්න වුවමනා වුණේ කුල ක්‍රමය ජන සමාජයට අවශ්‍ය නැත කියන එකයි.

මේ වෙනුවෙන් ඔබ සමාජ පර්යේෂණයක නියැළෙන්න ඇති?

මගේ වයසත් එක්ක ගත්තොත් අසූව දශකයේ උපදින කෙනෙක් විදියට මට මේ කෘතියට පදනම් වූ තිහේ දශකයේ අත්දැකීම් නැහැ. එවිට ඒ දශකයේ තිබූ සමාජ, දේශපාලනික, වටපිටාව ගැන පූර්ණ අවබෝධයක් ලබා ගත යුතු වුණා. පැරණි ලිපි ඇසුරෙන් දේශපාලන වටපිටාව ගැන අවබෝධයක් ලබා ගන්න හැකි වුණා. භාෂාව සහ සමාජයේ තිබූ සංස්කෘතික වටපිටාව සොයා ගන්න උපකාරී වුණේ සබරගමුවේ ගොඩකවෙල මගේ ගම් පළාතේ සිටින වැඩිහිටියන් ගෙන්. මේ වෙනුවෙන් මට දීර්ඝ කාලයක් ගත වුණා. මෙයට අවුරුදු අටක නවයක විතර අතීතයක් තියෙනවා.

එය දීර්ඝ කාලයක්?

මේ වෙනුවෙන් දීර්ඝ කාලයක් ගත වෙන්න විශේෂ හේතුවක් තියෙනවා. මම මුලින්ම අදහස් කළේ මේ ඇසුරෙන් ටෙලි නිර්මාණයක් කරන්න. ඒ වෙනුවෙන් තිර පිටපතක් තමයි අදහස වුණේ. මොකද මගේ වෘත්තීය කලා ජීවිතය වුණේ ටෙලි නාට්‍ය ශිල්පය යි. ඒ කාලයේ මම දැක්කේ ඉතාම අවර ගණයේ බොළඳ ටෙලි නාට්‍ය. මට වුවමනා වුණේ ප්‍රබල කතා පුවතක් ගෙන එන හොඳ ටෙලි නිර්මාණයක් බිහි කිරීමට අවැසි තිරපිටපතක් රචනා කරන්නයි. සියලු තොරතුරු සොයා ගෙන තිර නාටකයේ සෑහෙන ප්‍රමාණයක් රචනා කළාට පසු මගේ කාර්යබහුලත්වය සේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තත්ත්වය පිළිබඳ ඇති වුණු කළකිරීම හේතුවෙන් මම එය රචනා කිරීම නවත්වන්න තීරණය කළා. ඔය අතරේදී තමයි මෙය පාදක කොට ගෙන සාහිත්‍ය කෘතියක් නිර්මාණය කිරීමේ අදහස පහළ වුණේ. නමුත් මෙහි මූලික ගොඩනැඟීම වුණේ ටෙලි නාට්‍ය තිරනාටකයක්.

ඔබ සමාජයේදී විඳි අත්දැකීම් මේ තුළින් විවරණය කරන්න ඉඩක් ලැබුණාද?

මගේ පුද්ගලික අත්දැකීම් වශයෙන් ගත්තොත් හරිම අඩුයි. නමුත් මම කුඩා වියේදී ඉගෙන ගන්නා විට පාසලේ පංති කාමරය තුළත් යම්කිසි මට්ටමකට මේ කුල බෙදීමේ ප්‍රශ්නය තිබුණා. නමුත් පසුකාලීනව කොළඹට පැමිණි පසු මම එය දුටුවේ නැහැ. නූගත් සමාජතුළ තවමත් මේ තත්ත්වය දකින්න තිබෙනවා. මේ කුල භේදය අතීතයේදී මොන තරම් දරුණු ලෙස සිදුවන්න ඇතිද ඒ මිනිසුන් මොන තරම් විඳමින් පීඩාවට ලක් වන්නට ඇතිද යන්න මට නිතරම සිතුණු දෙයක්. ඔවුන් වින්ඳා යැයි අනුමාන කරන මේ පීඩනය කෘතියක් තුළින් ගෙනහැර දැක්වීම තමයි මට අභියෝගයක් වුණේ. මම ජය ගන්න උත්සාහ කළේත් එම අභියෝගය යි.

වීරප්පුලි හේනයා විසින් තම මුණුබුරු බබා හේනයා පාසට ඇතුළත් කරන සිදුවීමේදි විඳින පීඩාවට මම අත්දැකීම කර ගත්තේ අපේ ගමට නුදුරින් වූ ගමක ජීවත් වූ සාගර පලන්සූරිය නම් කවියාගේ චරිතාපදානයේ සඳහන් වූ එතුමා අත්විඳි අත්දැකීමක්.

මේ තත්ත්වය ගමට විතරක් සීමා වෙලාද?

ඇත්තටම අද වෙනකොට මේ වගේ තත්ත්වයක් සාමාන්‍ය සමාජයේ දකින්න ලැබෙන්නේ නැහැ. මම මේ කතාව තුළින් කියන්න උත්සාහ කළ දේත් ඒකම තමයි. මේ තිබුණු දරුණු ප්‍රවණතාවය වෙනස් කරන්නේ මුදල්. මිහිඳු හිමියන්ගේ ලංකාගමනය තරම් දුරට ගිහින් මෑත දෙස බලනවිට මේ ප්‍රවණතාවය යමිකිසි වෙනසක් සිදුවෙන්නේ මුදල් මූලික වූ පසුවයි. මගේ හැඟිමේ හැටියට අපේ සමාජය විවෘත ආර්ථිකයෙන් පසුව මුදලට විවෘත වූ තත්ත්වයකට පත් වුණා. එහිදී මේ කුල කාරණ දෙවැනි තැනට පත්ව මුදලට මූලිකත්වය හිමිවෙනවා. මුදල හරහා එන බලයෙන් මේ කුලයට හිමි තැන නැති කර දමන බව මෙම පවුලෙන්ම බිහි වූ චරිතයක් ඇසුරෙන් මම පෙන්වා දුන්නා. නාගරික මට්ටමෙන් කුලය පසුපස දුවන තත්ත්වයක් නැතත් ඈත දුෂ්කර ගම්මානවල අදටත් මේ තත්ත්වය තිබෙන්න පුළුවන්. විවාහය වැනි කාරණාවක් ගත්තොත් කුලය මූලික කරමින් තීරණ ගන්නා සාම්ප්‍රදායික මිනිසුන් වර්තමානයේත් ජීවත් වෙනවා. නමුත් වර්තමාන යොවුන් පරපුර මේ පිළිබඳ තක්සේරුවකින් සිටින බව නම මම හිතන්නේ නැහැ. කිසිදු විද්‍යාත්මක පදනමක් නැති කුලය වැනි සංකල්පයකින් මිනිසුන් බෙදාවෙන් කරන්නත් බැහැ.

මේ වෙනුවෙන් නිර්මාණය කළ චරිත ගැනත් කතා කරමු?

චරිත නිර්මාණය මෙහිදී ගොඩක් විශේෂ වුණා. මම ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයේදී තිරනාටක රචකයෙක් ලෙසින් කටයුතු කිරීම මෙහිදි මට ලොකු වාසියක් වුණා. ටෙලි නිර්මාණයක් වෙනුවෙන් රචනා කළ නිසා චරිත නිර්මාණයේදී ඒ ඒ චරිතවලට අදාළ ලක්ෂණ පිළිඹිබු කිරීමට විශේෂ සැළකිල්ලක් දැක්වූවා. මම මේ චරිත නිර්මාණය කරන්න පෙළඹුනේ රූප නිර්මාණය අරමුණු කරගනිමින්. එහිදී බාහිර පෙනුමට වඩා චරිතවල යම් යම් ගුණාංග හදා ගන්න ඉවහල් වූ කරුණු කිහිපයක් තිබෙනවා. විශේෂයෙන් කතාවේ ප්‍රධාන චරිතය වන වීරප්පුලි හේනයාගේ චරිතය ගත්තොත් මම ඒ චරිතය නිර්මාණය කළේ ජීවිතය පිළිබඳ බොහොම උපේක්ෂා සහගත ලෙස හැමදෙයක්ම විඳ දරා ගන්නා කුඩා ළමයෙකු මෙන් සංවේදී ඉතාම පියවි සිහියෙන් කටයුතු කරන පුද්ගලයෙක් ලෙසින්. මේ චරිතය ගොඩනඟාගන්න සුවිශේෂ වූ කාරණා තියෙනවා.

අපි ඇසුරු කරන ඇතැම් නිර්මාණවල චරිත අපේ ජීවිතවල විශේෂ වෙනවා. ගුරු ගීතය කෘතියේ එන දුයිෂෙන් නම් චරිතයත් එවැනි චරිතයක්. ඔහු අනාගතය පිළිබඳ, දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ මෙන්ම තමාට සිදුවන දෙයට වඩා තමාගෙන් අනාගතයට සිදුවිය යුතු සේවය පිළිබඳ සළකන පුද්ගලයෙක්. ඔහු පරමාදර්ශි චරිතයක්. දුයිෂෙන්ගේ චරිතයේ තිබෙන යම් යම් ගුණාංග වීරප්පුලි හේනයාගේ චරිතය ගොඩනඟන්නට බලපෑවා. ඒ වගේම මහගම සේකරයන්ගේ ‘තුංමං හන්දිය’ නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ සිනමා පටයේ රංගධර ජෝ අබේවික්‍රමයන් රඟ පෑ අබිලිංගේ චරිතයේ තිබූ යම් යම් ලක්ෂණ වීරප්පුලි හේනයාගේ චරිතයේ අව්‍යාජත්වය මතු කරන්න එකතු කර ගත්තා.

ඒවගේම මගේ ආතා මගේ හිතේ බොහොම තදින් ඇඳිලා තියෙන චරිතයක්. බොහෝ වටිිනා මතක ගොන්නක් මට දීලා තමයි ඔහු මිය ගියේ. ඔහු ඉතාම සරළ මහපොළව, ගොවිතැන ගැන මහා ගැඹුරින් කල්පනා කරන උපේක්ෂා සහගත පුද්ගලයෙක්. මේ චරිතයෙනුත් මට ගැළවෙන්න හැකියාවක් තිබුණේ නැහැ. වීරප්පුලි හේනයාගේ චරිතය නිර්මාණය කරන්න මේ චරිත තුනේම සංකලනය බලපෑවා. අනෙකුත් චරිතත් මම ඇසුරු කළ පුද්ගලයන්, මම කියවූ කෘති, රසවිඳි සිනමා පට ආදී මේ හැමතැනකදීම මට හමුවූ විශේෂිත චරිත ලක්ෂණවල එකතුවක් ලෙසින් දකින්න පුළුවන්.

මෙම කෘතිය තුළ වූ ආගමික නැඹුරුව වගේම ක්‍රම ක්‍රමයෙන් වැඩෙන බෝ පැළයත් විශේෂයි?

මම එයින් සංකේතවක් කළේ කුලය කියන කාරණාව මුලින්ම ප්‍රතික්ෂේප කළේ අප දන්නා පරිදි බුදුන් වහන්සේ විසින්. මේ කුලය කියන දරුණු සමාජ ව්‍යසනය සමාජයට අනවශ්‍ය බව කියන්නේ බුදුන් වහන්සේ විසින්. වසළ සූත්‍රය එයට හොඳම උදාහණය යි. කුලය කියන සාධකය අපට ලැබෙන්නේ බුදු දහම සමඟ ඉන්දියවෙන්. බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කළ කුලය බුදුන් වහන්සේ විසින් වදාළ ධර්මය සමඟම අපට ලැබෙනවා. එතැනින් නතර නොවී කුලය නම් සාධකය නඩත්තු කරන්නට ආගම ඉවහල් වෙනවා. ඒක සරළ ලෙස කතා කළ නොහැකි ඉතා ගැඹුරු කාරණයක්. ආගම වගේම තවත් පැත්තකින් දේශපාලනයත් එක පැත්තකින් එයට දායක වෙනවා. ආගමික කටයුතුවලදී පවා කුලය ප්‍රධාන වෙන අවස්ථා පවතිනවා. බෝ පැළය සහ ආගමික සංකල්ප යොදා ගත්තේ එයට සියුම් උපහාසයක් එකතු කිරීමටයි.

ඔබට සුපුරුදු වූ ටෙලි නාට්‍ය වගේම කාව්‍ය නිර්මාණයත් සමඟින් නවකතා රචනය ඔබට දැනෙන්නේ කුමනාකාරයෙන්ද?

මම මගේ සාහිත්‍ය රචනය ආරම්භ කරන්නේ කවි රචකයෙක් ලෙසින්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සහාය අධ්‍යක්ෂවරයෙක් සහ තිර රචකයෙක් ලෙසින් කළ කී දේ පිළිබඳව මම තෘප්තිමත් වුණේ නැහැ. මන්ද ඒ වෘත්තීන්වල වෘත්තීය ගති ලක්ෂණ තිබුණේ නැති නිසා. අවුරුදු දහහතරක් පමණ කටයුතු කළත් ඒ හරහා මට ප්‍රකාශ කළ හැකි දේ ප්‍රකාශ කරන්න හැකි වුණේ නැහැ. මගේ පළමු කවි පොත සම්මානනීය වෙලා එය ජනතාව අතර අතිශයෙන් ජනප්‍රිය වුණා. පළමු නවකතාවත් සම්මානීය වෙලා ඉහළ පාඨක ප්‍රතිචාර හිමි කර ගත්තා. මේ තරම් ආදරයෙන් නවකතා කියවන පුද්ගලයන් පිරිසක් සිටින බව කවදාවත් විශ්වාස කළේ නැහැ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේදී මේ වගේ ගැඹුරු සංවාදයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඇති වුණේ නැහැ. නවකතාව ඊට වඩා බොහෝ ගැඹුරු කතාබහට ලක්වන ගැඹුරු රසවින්දනයට ලක්වන බව මා පිළිගන්නා දෙයක්. සෙංකොට්ටං කෘතිය අද වන විට මුද්‍රණවාර ගණනාවක් කරන්න සිදු වෙලා තියෙනවා. රචකයෙක් විදියට එය මා ලද විශාල ජයග්‍රහණයක්.

ජනතාව අමතන්න වඩාත් සුදුසු වන්නේ කවියද නැත්නම් නවකතාවද?

මම හිතන්නේ මේ අවස්ථාවේ වඩාත් උචිත වන්නේ නවකතාව කියලයි. විශාල ජනතාවක් ඉදිරියට යන ආකර්ශනීය ලක්ෂණ නවකතාවේ තිබෙනවා. නවකතාවක් නිර්මාණය කළාම පාඨකයන් රැසක් එය මිලදී ගැනීමේ ප්‍රවණතාවයක් ලංකාව වැනි රටක තියෙනවා. කවි පොත් මිලදී ගැනීමේ රසික රසිකාවක් අඩු බවත් රහසක් නොවෙයි. කවියෙන් කළ හැකි දේ ගැඹුරු වුණත් බොහෝ පිරිසක් අතරට යන්න අවකාශය අඩුයි. කවි කියවන සංස්කෘතියක් අපේ රටේ මේ වකවානුවේ නැති වීම එයට හේතු වෙලා. නමුත් ඒක අපේ රටේ තිබුණු දෙයක්. අපි දන්නවා අපේ පැරණි සමාජය සම්භාව්‍ය කෘති ඇසුරු කළා. ඒ කාලයේ ඕනෑම ගැමි ගෙදරක පෙට්ටගමේ යසෝදරාවක කෘතියක් තිබුණා.

ඊට පසු කොළඹ කවිය ගත්තත් මිනිසුන් ඒ සමඟ ප්‍රබල ලෙසින් බැඳී සිටියා. පනහ දශකයෙන් පමණ පසු කවිය මිනිසුන්ගෙන් ඇත් වෙනවා. ඒ දුරස් බව අදටත් පවතිනවා. කවියෙන් අපට කරන්න පුළුවන් සංවේදනාව කෙතරම් ප්‍රබල වුණත් එය එක්වරම සමාජගත කරන්න තියෙන හැකියාව අඩුයි. ඒ වෙනුවෙන් මම වගේම අනෙකුත් කවීන්, කිවිඳයන් කවිය ජනගත කිරීමේ වෑයමක යෙදී සිටිනවා. නවකතාව අදවන විට එක් පැත්තකින් වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙලා තිබෙනවා. තවත් පැත්තකින් පාඨකයන් ග්‍රහණය කර ගන්නා සාහිත්‍ය මාධ්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ අපි නිර්මාණයක් නවකතාවක් ලෙස ජනගත කිරීමේදී ඉතා ඉක්මනින් වැඩි පිරිසක් අතරට යන්න පුළුවන් බවයි.

නවකතාවල ලිංගිකත්වය හුවා දැක්වීම පිළිබඳ අද බොහෝ දෙනා කතා කරනවා. සෙංකොට්ටං කෘතිය තුළත් එය යම් පමණකට කතාබහට ගැනෙනවා.මේ පිළිබඳ ඔබේ අදහස?

ඇත්තෙන්ම මම ලිංගිකත්වයේ මහා අපූර්ව දෙයක් දකින්නේ නැහැ. ජීවිතයේ අනෙක් ක්‍රියාකාරකම් වගේම ලිංගිකත්වය කියන්නෙත් සාමාන්‍ය දෙයක්. අපේ සංස්කෘතිය තුළ එහි යම් සැඟවිමක් තිබෙනවා. ඒක අවශ්‍යයි. සමාජයේ පවතින ගැටළුව ලිංගිකත්වය අපි කෙතරම් රහසක් ලෙසින් තැබුවත් ඒ රහස ඇතුළේ සිදුවන්නේ බොහොම භයානක දේවල්. පසුගිය කාලයේ ඒ වෙනුවෙන් වූ උදාහරණ රාශියක් අපට අසන්න දකින්න ලැබුණා. එයින් පෙනෙන්නේ මේ ලිංගිකත්වය සමාජයට මහා අපුරු දෙයක් බවට පත් වී ඇති බවයි. ඇතැම් පුද්ගලයන් එය අනවශ්‍ය ලෙසින් අත්හදා බලන්නට යන්නේ ඒ නිසා. තවත් පුද්ගලයෙක් වෙනත් පරමාර්ථයෙන් කතාවට අදාළ නොවන ලෙස වාණිජ පරමාර්ථයකින් ලිංගිකත්වය හුවා දක්වන්නේ නම් එය වරදක්.

නමුත් ලිංගිකත්වය අවශ්‍ය වන කතා ප්‍රවෘත්ති තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණයෙන් යෙදීම මම වරදක් ලෙසින් දකින්නේ නැහැ. බටහිර කෘති ගත්තොත් ලිංගිකත්වය ඉතාම විවාතව කතා කළ කෘති තිබෙනවා. නමුත් අපේ යම් යම් මිනුම් දඬුවල සහ පාසල් පද්ධතිය තුළ විවෘත කතාබහට තියෙන තත්ත්වය අඩුයි. මගේ පළමු නවකතාව සෙංකොට්ටං මේ තරම් ජනතාව අතරට යයි කියා මා සිතුවේ නැහැ. මේ කෘතිය පාසල් දරුවන් අතරට යනවිට අපේ සංස්කෘතියට යම් යම් සීමා තිබෙන බැවින් පසුකාලිනව මේ කෘතියේ ඇතැම් අවස්ථා කිහිපයක් පමණක් නව සංස්කරණවල සංශෝධනය කළා.

නවකතාවක් රචනයට ඔබේ සූදානම කෙසේද?

නවකතාවක් රචනයට මගේ ලොකු සූදානමක් තිබෙනවා. මම ලියනදේට ලොකු කාලයක් ගන්නවා. මගේ අලුත්ම නවකාතවට මම වසර තුනහමාරක කාලයක් ගත්තා. ඒ වසර තුනහමාර තුළම නවකතාව පිළිබඳ පූර්ණ සැළසුමක් ඇති කර ගත්තා. ආරම්භ කරන්නේ කොහොමද? අන්තර්ගතය කුමක්ද? අවසන් කරන්නේ කෙළෙසින්ද, අදාළ කාරණය කියන්නේ කෙළෙසින්ද වගේම එය අත්‍යාවශ්‍ය ලෙසින් සකසා ගන්නේ කෙසේද යන්න පිළිබඳව විමසිලිවත් වෙනවා. අපේ ඇතැම් නවකතා අනවශ්‍ය ලෙසින් දීර්ඝ වෙලා තිබෙනවා. සංක්ෂිප්ත භාවය ඕනෑම කලා කෘතියකට අදාළ වෙනවා. සැළසුම් කරන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. අවසාන වශයෙන් පොතේ සාර්ථකත්වය තීරණය කරන්නේ පාඨකයා විසින්.

මෙම කෘතිය පුරාවට තිබෙන රූපමය ගති ලක්ෂණවලින් කියවෙන්නේ?

සෙංකොට්ටං කෘතිය රූපමාධ්‍යයට බොහෝ සෙයින් නෑකම් කියන කෘතියක්. මම රූප මාධ්‍ය සමඟින් සිටින පුද්ගලයෙක් වගේම කවියෙක් වීමත් චිත්ත රූප මැවීමට රුකුලක් වෙන්න ඇති. මෙහි ආරම්භය සිදු වූයේත් ටෙලි පිටපතක් ලෙසින් නිසා ඒ තත්ත්වය තවතවත් තීව්‍ර කෙරෙනවා. ඇත්තෙන්ම සෙංකොට්ටං ඉදිරියේදී සිනමා පටයක් ලෙසින් ඔබ හමුවට පැමිණේවි. මේ වනවිටත් ඒ වෙනුවෙන් මූලික සැළසුම් ක්‍රියාත්මක වෙනවා. තව නොබෝ දිනකින් සරසවිය පාඨක ඔබට ඒ පිළිබඳ තොරතුරු දැන ගන්න හැකි වේවි.