වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - සීගිරි කාශ්‍යප, රන්මුතු දූව යන චිත්‍රපටවල රඟ පෑ ෂේන් ගුණරත්න පිළිබඳ විස්තරයක් පළ කරන්න.

ඊ. එම්. එස්. පද්මකාන්ති ද සිල්වා

සෙල්ලකන්ද, මීගමුව

අර්ජුන් - සන්දේශය, රන්මුතු දූව, සූර චෞරයා වැනි චිත්‍රපට කිහිපයක ඔහු රඟපෑවා. අවසන්වරට ඔහු රඟපෑවේ ‘දාමරිකයෝ’ චිත්‍රපටයේ. පිළිකා මාරයාට ගොදුරු වූ ඔහු එයින් පසු අකාලයේ මිය ගියා.

ප්‍රශ්නය - එකදු ගීතයක්වත් අඩංගු නොවුණ ප්‍රථම කථානාද සිංහල චිත්‍රපටය කුමක්ද?

උපාලි අමරසිංහ

මාවනැල්ල

අර්ජුන් - ගම්පෙරළිය

ප්‍රශ්නය - ඉතා දක්‍ෂ රුවැති නිළියක් වූ මිය ගිය සන්ධ්‍යා කුමාරිගේ මව සහ දියණියන් දෙදෙනාගේ තොරතුරු දැන ගැනීමට ආශාවෙන් සිටිමි.

ලීනා ද සිල්වා

තැන්න කුඹුර, මහනුවර

අර්ජුන් - අපිත් ඒ ගැන දැන ගන්න ආසයි. තොරතුරක් නෑ.

ප්‍රශ්නය - සිරිල් පී. අබේරත්න මහතාගේ ‘සුරංගනී’, ‘සුභද්‍රා’ සහ එස්. එම්. නායගම් මහතාගේ ‘සොහොයුරෝ’ යන චිත්‍රපටවල පිටපත් නැද්ද?

පී. ඒ. ජයන්ත

ගල්වලහේන පාර, උඩුමුල්ල, මුල්ලේරියාව.

අර්ජුන් - මේවායේ පිටපත් දන්නා තරමින් නැත.

ප්‍රශ්නය - ජනපි‍්‍රය ‘නයිට් රයිඩර්’ ටෙලි නාට්‍ය මාලාවේ රඟපෑ ඩේවිඩ් හසලොෆ් දැන් රඟපාන්නේ නැද්ද? නැත්නම් ජීවතුන් අතර සිටීද?

ප්‍රේමසිරි නාරසිංහ

වල්පල, මාතර

අර්ජුන් - තාමත් රඟපානවා. ඒ නිසා ජීවතුන් අතර සිටිනවා. මේ වසරේ තිරගත වූ ඊඡ්ච් චිත්‍රපටයෙත් රඟපෑවා.

ප්‍රශ්නය - හින්දි සිනමාවේ ප්‍රකට ගායන ශිල්පියකු වූ මුකේෂ් ප්‍රථම වරට ගීත ගායනා කළ චිත්‍රපටය කුමක්ද? ඔහු ගැන විස්තරයක් කරන්න.

එම්. ඉන්ද්‍රපාල

සංඝමිත්තා මාවත, මුංහේන

අර්ජුන් - මුකේෂ් ගේ මුල්ම චිත්‍රපට ගීතය ‘නිර්දෝෂ්’ චිත්‍රපටයට ඇතුළත් වුණා. එම ගීතයට පෙනී සිටියෙත් ඔහුමයි. ඒ 1941 වසරේ දී. මුකේෂ් වෙනත් නළුවකු වෙනුවෙන් ගායනයෙන් දායක වුණේ 1945 වසරේ දී ‘පෙහ්ලී නසාර්’ චිත්‍රපටයට. ඒ නළු මෝතිලාල් වෙනුවෙන්. මුකේෂ් ‘චාන් මතුර්’ නමැති ඉතාම මියුරු හඬක් සහිත ගායකයෙක්. සිනමාවට හඳුන්වා දෙනු ලැබුවේද මෝතිලාල් විසිනුයි. දිල්ලියේ උපත ලද ඔහු දරුවන් දස දෙනෙකුගේ පවුලේ හය වැන්නායි. ඔහුගේ පියා ඉංජිනේරුවෙක්. මුකේෂ් ගේ සොහොයුරියට සංගීතය ඉගැන්වීමට පැමිණි ගුරුවරයා විසින් මුකේෂ්ගේ හඬ මුලින්ම හඳුනා ගනු ලැබුවා. ඔහු පසු කාලයේ වඩාත් ජනපි‍්‍රය වුණේ රාජ් කපූර් වෙනුවෙන් පසුබිම් ගී ගායනා කරමින්. ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් දිනා ගත්තා. ඔහු විවාහ වී සිටියේ සරාල් ත්‍රිවේදි සමඟයි. ඔවුන්ට දරුවන් පස්දෙනෙක්. මෙයින් නිතින් පියාගේ අඩිපාරේ යමින් ගායකයකු වුණා. ඔහුගේ පුත් නීල් නව පරපුරේ ජනපි‍්‍රය නළුවකු හා ගායකයකු වෙනවා. මුකේෂ් 1976 අගෝස්තු 26 වැනිදා අමෙරිකාවේ ප්‍රසංගයකට සහභාගි වෙමින් සිටයදී හෘදයාබාධයකින් මිය ගියා. ඒ මොහොතේ ළඟ සිටියේ ලතා මංගේෂ්කාර්. ඒ වන විට ඔහු 53 හැවිරිදි වියේ පසුවූවා.

ප්‍රශ්නය - ඒ. පී. නාගරාජන් දෙමළ චිත්‍රපටවල රඟපා තිබේද? එසේනම් විස්තර ටිකක් කියන්න.

එච්. එස්. සැමුවෙල් සහ රොමේලා

පන්චිකාවත්ත, මරදාන

අර්ජුන් - නැහැ.

ඔබේ සිනමා පැන විසඳුම් අර්ජුන්ගෙන් පිළිතුරු. සරසවිය, ලේක්හවුස්, කොළඹ 10